බරණැස් නුවර වඩුවෝ දහසක් උන්නා. ඔවුන් එනුවර වැසියන්ගෙන් නොයෙක් භාණ්ඩ හදා දෙන්නම් කියා මුදල් ණයට ගත්තා. එම මුදල් වියදම් කර ගත්තා. භාණ්ඩ හදා දුන්නේ නෑ. වැසියන් භාණ්ඩ ඉල්ලා ගෙන ආ විට හෙට හදාදෙන්නම් අනිද්දා හදාදෙන්නම් කියා බොරු කළා. එසේ කලක් ගියා භාණ්ඩ හදා දුන්නේ නෑ. වැසියන් කෝප වුණා. අපට බඩු හදාදෙන්න. නැත්නම් ඉල්ලා ගත් මුදල් දෙන්න කියා තර්ජන කළා.
වඩුවන්ට මුදල් ආපසු දෙන්න ක්‍රමයක් නැතිව ගියා. බඩු හදන්නත් විදිහක් නැතිව ගියා. වැසියන් තර්ජන කළ විලසට ඔවුන්ගෙන් බේරෙන්න බැරි බවත් දැන ගත්තා. අන්තිමේ වඩුවෝ අඹුදරුවන් සමඟ රහසේම එනුවරෙන් පිටවී ගියා. වනගත වුණා. වනයේ ඇවිද යන විට සාගරය හමුවුණා. ඔවුන් සාගර වැල්ලේ නැවතී සාගරයේ ඈත බැලුවා. සෑහෙන දුරකින් ලස්සන දූපතක් දුටුවා. වඩුවෝ කතා කරගත්තා. වැසියෝ අප සොයාගෙන එන්න පුළුවන්. ඉන් බේරෙන්න අර දූපතට ගියොත් හැකිවෙනවා කියා.
ඒ අදහසට ඔක්කොම කැමැති වුණා. ඔවුන් ගස් කපා විශාල පඩව්වක් (එකල තුබූ යාත්‍රාවගයක්) හදාගත්තා. අඹු දරුවන් සමඟ සියලු දෙනා ඒ යාත්‍රාවට නැග්ගා. යාත්‍රා කළා. දූපතට ළඟා වුණා. හරි අපූරෑ දූපතක්. එම දූපතේ කෙසෙල්, අඹ, කොස්, උක් දඬු, ස්වංජාත ඇල් වී වර්ග වැනි ආහාර ද්‍රව්‍ය පිරිලා. ඔවුන් වෙරළට බැස්සා. මේ දූපතේ මිනිස් වාසයක් ඇද්දැයි බලන්න. ඔවුන් අතරින් සවිමත් සත් දෙනෙක් තෝරා ගත්තා. දූපත තුළට යැව්වා.
මේ සත්දෙනා යන විට නිරුවත් පුරුෂයකු දුටුවා. ඔහුගේ කෙහෙ රැවුළ දිගට වැවිලා. අමනුෂ්‍යයකු වගේ පෙනුම තිබුණේ.
මේ වඩුවෝ හත්දෙනා දුනු හී මානගත්තා. තොප කවුද? මනුෂ්‍යයෙක් ද අමනුෂ්‍යයෙක් ද ඇසුවා.
මමත් මනුෂ්‍යයෙක්. කලකට පෙර පඩව්වක නැගලා ආවේ. මෙහි ආහාර පාන ඕනෑ තරම් තියෙනවා. ඒවා කා බී ජීවත් වෙනවා.
වෙනත් මනුෂ්‍යවාස මෙහි නැද්ද?
නෑ. මේක තමයි දේවතාවන්ගේ රම්‍ය දූපත. ඒ හින්දා කිසිම අමනුෂ්‍ය බියක් මෙහි නෑ. හැබැයි ඔබත් මේ රම්‍ය දූපතේ පදිංචි වෙනවානම් මළ මුත්‍ර කැලි කසළ තැන තැන දාන්න එපා. ඒවා වළක් හාරා දමන්න. එසේ කරනවා නම් මෙහි ඉඳ සැපසේ ජීවත් වෙන්න පුළුවන්. එසේ නොකර මේ රම්‍ය දූපත අපිරිසිදු කළොත් දේවතාවෝ කෝප වෙනවා. ඉන්පසු තොපට කුමක් වෙයිද කියන්න බෑ. ඒ මිනිසා කිව්වා. යන්න ගියා.
දූපත තුළට ගිය හත්දෙනා ආපසු වෙරළට ආවා. මිනිසා හමුවුණු හැටිත් ඔහු කී විස්තරත් කිව්වා. ඊට පස්සේ ඔවුන් දූපතේ පදිංචි වුණා. ගෙවල් පවා හදාගත්තා. ස්වයංජාත හාල් පළතුරු කා සතුටින් හිටියා.
මේ වඩුවන්ට නායකයෝ දෙදෙනෙක් උන්නා. ඒ දෙන්නා දාහක් සිටින පිරිසෙන් පන්සීය පන්සීය ලෙස වෙන්කරගෙන හිටියේ. ඒ නායකයන් දෙන්නාගෙන් එක්කෙනෙක් යහපත් කෙනෙක්. සාමාන්‍යයෙන් කා බී ජීවත් වුණා. අනෙක් නායකයා ඊට හාත්පසින්ම වෙනස්. ඔහු ඔහුගේ පිරිස සමඟ උක් පැණිවලින් මත්බීම හදාගෙන බිබී සතුන් මරාගෙන කෑවා. මළ මුත්‍ර පමණක් නොවේ මළ සතුන්ගේ ඉවතලන කොටස් පවා තැන තැන දැම්මා. ඉන් රම්‍ය දිවයින අපවිත්‍ර වුණා. ගඳ ගහන්න වුණා. දේවතාවෝ මේ ගැන උරණ වුණා. රැස්වුණා. රම්‍ය දූපත ගැන කතා කරන්න පටන් ගත්තා. මේ දූපතට ඇවිත් ඉන්න මිනිසුන් විනාශ කළ යුතුයි කිව්වා.
ඒ කෙසේද එක් දෙවියෙක් ඇසුවා.
සාගර දළරළ උදම් කර දූපතට යවමු ඉන් රම්‍ය දිවයින පවිත්‍ර වේ යැයි තවත් දෙවියෙක් කිව්වා.
ඒක හොඳ අදහසක් කවද්ද කළ යුත්තේ අනෙක් දේවතාවෝ ඇසුවා.
පසළොස්වක පුර පොහොයදාට චන්ද්‍රයා නැග එන වෙලාවට කිව්වා. සියල්ලෝම ඊට කැමැති වුණා. මේ දෙවිවරුන් අතර හිටියා බොහෝම යහපත් දෙවියෙක්. ඒ දෙවියාට මේ වඩුවන් ගැන අනුකම්පාවක් ඇති වුණා. මේ අය මේවා කරන්නේ අනුවණකමට කියා හිතුවා. ඒ දෙවියා රම්‍ය දූපතට ආවා. වඩුවන්ට පේන්න එහි උතුරු දිශාවෙන් පෙනී සිටියා. මෙසේ කිව්වා.
තොප මේ රම්‍ය දිවයින අපවිත්‍ර කරනවා. ඒ නිසා අප තීරණය කළා උදම් රළ නග්ගවා දූපත යටකර පවිත්‍ර කරන්න. එය සිදුවන්නේ පසළොස්වක පෝයදාටයි ඊට පෙර යාත්‍රවක් හදාගෙන දිවයිනෙන් පිටවී යව. එසේ කී දෙවියා නොපෙනී ගියා. වඩුවෝ එය අසා පුදුම වුණා. බිය වුණා. කුමක් කරන්නේද කියා කල්පනා කරමින් හිටියා.
ඒ සමඟම තවත් දෙවියෙක් දකුණු දෙසින් මතු වුණා. ඔහු නපුරු කෙනෙක්. අර දෙවියා තොපට කුමක් ද කිව්වේ ඇසුවා.
වඩුවෝ ඒ දෙවියා කී දේ කිව්වා.
එයා කිව්වේ බොරු තොප ඒවා ගණන් ගන්න එපා. කා බී විනෝදයෙන් හිටපල්ලා කිව්වා. යන්න ගියා. යහපත් නායකයා කල්පනා කරන්න වුණා. එක දෙවියෙක් යන්න කියනවා. තව දෙවියෙක් ඉන්න කියනවා. මෙහි කුමක් හෝ රහසක් තියෙනවා. ඔහුට හිතුණා. ඔහු තම පිරිස වෙත ගියා. එක්කෙනෙක් අනතුරු සහිතයි. අපට යන්න කියනවා. තව කෙනෙක් එහෙම දෙයක් නෑ කියනවා. කවුරු ඇත්ත කියනවාද කවුරු බොරු කියනවාද හොයාගන්න බෑ. කොහොම වුණත් අපි පඩව්වක් හදන්න ඕනෑ. මොකද කියන්නේ ඔහු ඇසුවා.
ඔබේ කැමැත්තට අපි එකඟයි. ඔවුන් කිව්වා.
ඒ පන්සිය දෙනා පඩව්ව හදන්න පටන් ගත්තා. ඒ දුටු අනෙක් අය. මේ අය තලියේ කිඹුල්ලු හොයනවා. කියා විහිළු කළා. පෙරලෙස කා බී විනෝද වුණා. යහපත් වඩුවා එය ගණන් ගත්තේ නෑ. සිය කාර්ය කරගෙන ගියා.
පහළොස්වක පෝය උදා වුණා. හඳ නැගී ආවා. සාගර ජලය උදම් වුණා. දූපතට ගැලුවා. ජලය ආවේ දණ හිසක් පමණ උසට. යහපත් වඩුවා පන්සිය දෙනා අඹුදරුවන් සමඟ පඩව්වට නැග්ගා. අනෙක් පිරිස මේ කොහෙද යන්නේ ඔච්චර තමයි ගලන්නේ නවතින්න කිව්වා. යහපත් වඩුවා එය නොපිළිගත්තා පඩව්ව යාත්‍රා කළා.
ටික වෙලාවක් ගෙවුණා. දෙවැනි රළ ආවා. ජලය ආවේ උකුලට පමණ. එය එකපාරටම කරවටක් වුණා. යළි එය තවත් උස් වුණා. රම්‍ය දූපත යට වුණා. අටවා තුබූ ගෙවල් දොරවල් ළමා ළපටි අඹුසැමියන් සියලු දෙනාම ගහගෙන ගියා. රම්‍ය දූපත පවිත්‍ර වුණා. ජීවිත බේරාගත්තේ පඩව්වේ ගිය අය පමණයි.
(සමුද්‍ර වාණිජ ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක