සැවැත්නුවර යහළුවෝ දෙන්නෙක් හිටියා. ඔවුන් දෙන්නා බොහෝම සමීපව උන්නා. කොටින්ම කෑවේ බීවේ එකට. එපමණක් නොවේ බුදුන් සරණ ගියේ එකට. දන්පින් කළේ එකට එකතු වෙලා.
කලක් යනකොට එක යහළුවකුට ගිහිගෙය ගැන කලකිරුණා. පැවිදි වුණා. පැවිදි වුණත් මිතුරුකම අතහැරියේ නෑ. යහළුවා බලන්න නිතර ගියා. ගිහි යහළුවන් මිතුරු හිමියන්ට හැමදාම දාන දුන්නා. ඔහුත් ආහාර ගත්තා. ඒ හිමියන් විහාරයට යනවිට පසුපසින් ගියා. රෑ බෝ වෙනකම් විහාරයට වී කතාබහ කර කර උන්නා. හැන්දෑවෙනකොට ඒ උපාසක තැන ගෙදර යන්න සූදානම් වී පිටත් වෙනවා. එවිට මේ හිමියොත් ඔහු පස්සෙන් නුවර වාසල් දොර දක්වා වඩිනවා. එතැනත් කතා කරකර සිට ආපසු වඩිනවා.
මේ දිනපතා සිදුවන සිද්ධිය. අනෙක් භික්ෂූන්වහන්සේලාට පුදුම දෙයක් වුණා. දම් සභාවේදී බුදුන් වඩින්න පෙර ඒ ගැන කතාබහ කරමින් උන්නා. බුදුන් වහන්සේ වැඩියා. ඒ හාමුදුරුවන් කතා කරමින් සිටි කතාව විමසා ඔය දෙන්නා මේ භවයේ පමණක් නොවේ පෙර භවයේ ද හොඳ මිතුරෝ යැයි පූර්වේ කතාව ගෙනහැර දක්වා මෙසේ වදාළා.
පෙරකල බඹදත් රජතුමාට නැණවත් පුරෝහිත බමුණෙක් උන්නා. පැන විසැඳීමට එතුමා සැබෑ දක්ෂයෙක්. ඒ වාගේම යහපත් ගුණගරුක අයෙක්.
මේ බඹදත් රජතුමාට බොහෝම අලංකාර මඟුල් ඇතෙක් උන්නා. ඒ ඇතා හරි සද්දන්තයෙක්. ඌට කන්න දුන්නේ මිහිරි හොදි පිණි සමඟ බත්. ඒ සමඟ බොන්න දුන්නේ මිදි යුෂ. අනෙක් ආහාර ද දුන්නා. ඇතා ප්‍රියකළේ බත් කන්න. ඔය අතර බල්ලෙක් ඇතා කන ඉතිරි බත් කන්න ආවා. මුල් දවස්වල ඒ බත් කෑවේ ඇතාට හොරෙන්. ඌ දැක්කම බල්ලා එලවා ගත්තා.
එසේ කලක් ගෙවුණා. ඇතා බල්ලා සමඟ මිතුරු වුණා. පසු කල ඇතා බත් කා බල්ලාට කොටසක් කන්න දුන්නා. තව ටික කලක් ගියාට පස්සේ මේ දෙන්නා සෙල්ලම් කරන්නත් වුණා. බල්ලත් කොහේවත් නොගිහින් ඇතා ළඟටම වෙලා උන්නා. එපමණක් නොවේ රාජකීය කෑම කාලා බල්ලා පොහොණි වුණා. ලස්සන වුණා.
පසල් දනව්වක මිනිසෙක් බරණැසට ආ විට මේ බල්ලා දැක්කා. ඌ ගැන ආශාවක් ඇති වුණා. ඌ අල්ලා ගන්න හැදුවා. බැරි වුණා. ඌ ඇතා ළඟට දිව ගියා. මේ මිනිසා ඇත්ගොව්වට කතා කළා. මේ බල්ලා කාගේද ඇසුවා.
අයිතිකාරයෙක් නෑ. ඉබේ මෙහි ආ එකෙක්.
මට අල්ලා දෙන්න බැරිද? ගාණක් දෙන්නම් කිව්වා.
ඇත්ගොව්වා බල්ලා අල්ලා ඒ මිනිසාට දුන්නා. මුදලුත් ගත්තා. බල්ලා කෑ ගසද්දී ඔහු අරන් ගියා.
ඇතා ඌ කෑ ගගහා යන දෙස දුකින් බලා උන්නා. එදා පටන් ඇතා කෑමක් බීමක් ගත්තෙ නෑ. බලාගත් අත බලාගෙනම හිටියා.
දවස් දෙක තුනක් ඇතා එසේ උන්නා. ඇත් ගොව්වා හිතුවා ඇතාට රෝගයක් හැදිලා කියා. ඒ බව රජතුමාට දැන්වූවා.
රජතුමා හස්තිවෛද්‍යවරු කැදෙව්වා. ඇතා පරීක්ෂා කෙරෙව්වා.
දේවයන්වහන්ස! මඟුල් ඇතාගේ කිසිම රෝගයක් අපට සොයාගන්න බෑ. ඔවුන් කිව්වා.
එහෙමනම් කන්නේ බොන්නේ නැත්තේ.
ඒක තමයි අපට තියෙන ප්‍රශ්නය. වෛද්‍යවරු පුදුමයෙන් වගේ කිව්වා.
රජතුමා ඔවුන්ට තෑගි බෝගදී යැව්වා.
ඇතා නොකානොබී කෙසඟ වුණා. ඇත් ගොව්වා යළිත් රජතුමාට ඇතාගේ තත්ත්වය කිව්වා.
රජතුමා ඇතාගේ වෙනස ගැන කම්පා වුණා. පුරෝහිත කැදෙව්වා. බලන්න පුරෝහිත මඟුල් ඇතාට වෙලා තියෙන දෙයක්.
කුමක්ද දේවයන්වහන්ස?
ඇතා කන්න බොන්නේ නෑ. දැන් හොඳටම කෙට්ටු වෙලා. මම ඒ ගැන කනගාටුවෙන් ඉන්නේ?
වෙදවරු කුමක්ද කිව්වේ.
ඒ අයට රෝගය සොයාගන්න බෑ. ඔබවත් මේ ගැන සොයා බලන්න. මේ වෙලාවේ මට පිහිට වෙන්න.
හරි මම සොයා බලන්නම්. ඔබතුමා කම්පානොවී ඉන්න. මේ දැන්ම මම යනවා.
හොඳයි ඔබ යන්න. අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න.
පුරෝහිත ඇත්ගාලට ගියා. මඟුල් ඇතා දෙස බලාහිටියා. අපූරැවට ලස්සනට උන් මඟුල් ඇතා වැහැරිලා. එතුමාටත් දුක හිතුණා.
මඟුල් ඇතුට වගට වගක් නෑ. කල්පනාවේ. තවදුරටත් පුරෝහිත බලාහිටියා. එතුමාට වැටහුණා ඇතා ඉන්නේ දොම්නසින් බව. ඇත්ගොව්වාට කතා කළා. මේ ඇතා ළඟින්ම ඇසුරු කළ කෙනෙක් හිටියද?
ස්වාමීනී මම තමයි ළඟින්ම ඉන්නේ.
ඔබ නොවෙයි. වෙනත් මිනිසෙක් හෝ සතෙක් හෝ
ඇත්ගොව්වා කල්පනා කළා. ඔහුට මතක් වුණා බල්ලා. ස්වාමීනී! බල්ලෙක් නම් ඇතා සමඟ සෙල්ලම් කරමින් උන්නා.
කෝ ඒ බල්ලා. මොකද වුණේ.
එක් මිනිසෙන් ඌ ගැන ආසා හිතිලා අල්ලාෙගන ගියා.
කෙහෙද ඒ මිනිහා ඉන්නේ දන්නේ නෑ.
පුරෝහිත රජතුමා හමුවට ගියා. දේවයන්වහන්ස ඇතාට තියෙන්නේ මිතුරකුගේ වෙන් වීම ගැන ශෝකයක්.
කවුද ඒ මිතුරා.
බල්ලෙක්.
ඌට මක් වෙලාද?
ඒ බල්ලා මිනිසෙක් අරන් ගිහින්. ඒ මිනිසා ඉන්න තැනක්වත් ඇත්ගොව්වා දන්නේ නෑ. ඒ නිසා අප මඟුල් ඇතා සමඟ සිටි බල්ලා කවුද ගෙනගොස් සඟවාගෙන ඇත. ඒ බල්ලා නැවත ඇත්හලට ගෙනත් නොදැමුවහොත් අල්ලා දැඩිදඬුවම් දෙනු ලැබේ යනුවෙන් ගම් පසල් දනව්වල අණබෙර ගස්වන්න.
රජතුමා එසේ කෙරෙව්වා.
බල්ලා ගෙනගිය මිනිසා බිය වුණා. බල්ලා අරන් ඇවිත් ඇත්හල ළඟ දැම්මා. ඌ එක පිම්මට ඇතා ළඟට දිව්වා. ඇතා සතුටට පත්වුණා. සොඬින් අරන් කුම්බස්තලයේ තබාගත්තා. ඊට පසු උන් දෙන්නා තබා තුබූ බත් එකට කෑවා. සෙල්ලම් කරන්න වුණා. මේ බව දැනගත් රජතුමා පුරෝහිතගේ නුවණ ගැන පසසා තෑගි බෝග දුන්නා.
(අභින්න ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක