මම දැක්කා මේ ළඟදී දවසක් කොල්ලෝ කෙල්ලෝ වගයක් එකතුවෙලා මේ රඹුක්කන පැත්තේ රේල් පාර සුද්ද කරනවා. ඒ සුද්ද කරන්නේ සංවිධානයක් හැටියට නෙමෙයි. තැන තැන අහුල ගත්ත මිනිස්සු එක්ක. දැක්ක හැටියට හැමෝම ඇවිත් හිටියේ කැමැත්තෙන්.
දැන් මේ වැඩේ තැනින් තැන යනවා. ඇත්තටම මේ අහඹු එකතුව තුළ වෙන්නේ පරිසරයට යහපතක්. ඒ යහපත ලේසි පහසු නෑ. ඒක මුදලට සීමා කරන්නත් බෑ.
දැන් බලන්න මේ පිරිස අරගෙන දැම්මේ කාගේ කුණුද අහසින් වැටිච්චද? නැත්තන් පොළවෙන් මතුවෙච්චද? නෑ. මේ අපේම මිනිස්සු ගිහින් දාපුවා. කෝච්චියේ යන ගමන් අත දිග ඇරලා එළියට විසික් කරපුවා. ලේසියට පහසුවට විසික් කරලා දැම්මා විතරයි. හිතුවේ නෑ නේද මේකෙන් වෙන හානිය මොකක්ද කියලා? නෑ හිතන්න පුළුවන්නම් මෙහෙම දෙයක් කරන්නේ නෑනේ.
එක තමයි මිනිහෙක් වුණාම මේ රටට, භූමියට, පරිසරයට ආදරේ කරන්න ඕනේ. ගහක් කපලා බිම දාන එක නෙමෙයි ශක්තිය කියන්නේ. කඳු පෙරලන එක නෙමෙයි ශක්තිය කියන්නේ. තියන පරිසරය දිවි හිමියෙන් රකින එක. ඒත් අපේ ම්නිස්සු කී දෙනෙක් ෂොපින් කවරේ, ප්ලාස්ටික් බෝතල් කැළේට විසි කරනවාද?
රටක සංවර්ධනයට පාරවල්, බිල්ඩින් හැදුවට වැඩක් නෑ. ඒ රටේ ජනතාව අපිරිසිදු නම් උන් මේ සියල්ල විනාශ කරනවා. උන් ඒ රට ලෝකයෙන් කොන් කරනවා. මම හිතන්නේ ස්භාවධර්මය ලස්සනටම තියෙන රට තමයි මේ ලංකාව. ලංකාව කොච්චර ලස්සනද කියනවා නම් තැනින් තැනට මේ පරිසරය වෙනස් වෙනවනේ. පුදුමේ කියන්නේ තැනින් තැනට පරිසරය වෙනස් වුණාට අපේ මිනිස්සු ඒ හැමතැනම එකම විදිහට හැසිරෙන්නේ. අරක්කු බීලා බෝතලේ අරගෙන යන්න බැරිනම් කමක් නෑ අයිනකින් තියලා යමල්ලා. ඒත් කරන්නේ අරක්කු බෝතලය කුඩු වෙන්න බිම ගහලා හැම තැනම දාලා යනවා. මොකක්ද මේ දේවල්වලින් බලාපොරොත්තු වෙන්නේ? සතුටක්. එහෙමත් නැති නම් වාසියක්. නෑ කිසි දෙයක් නෑ. වෙන්නෙ පාඩුවක් විතරමයි. ඔබ ඔය විනාශ කරන්නේ අතීතය මිනිස්සුන්ගේ රුධිරයයි අනාගත දරුවන්ගේ හුස්මයි. ඒක මහා පාපයක්.
අර එදා රඹුක්කන ඉඳලා පයින්ම රේල් පාර දිගේ ගිහින් කුණු අරගෙන ආවේ උන්ගේ කුණු නෙමෙයි. මේ කෝච්චියේ යන එන අපේ කුණු. ඒ හැමදෙයක්ම දෑතින් අපි විසිකරපුවා.
ඒ නිසා දැන්වත් තැන තැන කුණු හලන එක නවත්තලා විනයක් තියාගන්න. තමන් ගෙනාපු කුණු තමන්ගේම බෑග් එකේ දාගෙන ගෙදර අරගෙන යන්න. එහෙම බැරි නම් කුණු බැහැර කරන තැනකින් ඒක හලන්න. හැමතිස්සෙම හිතන්න මේ භූමිය අපිව රකින්නේ අපි එය රකිනවා නම් විතරයි. එහෙම නැත්තන් වෙන්නේ මේ භූමිය අපිට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් හදලා දෙන්නේ නැති එක.
►මම
බ්‍රෝ