බරණැස එක් බඹදත් රජ කෙනෙක් විසූ කලදී කවුඩෝ අසූදාහක් පමණ එනුවර උන්නා. ඒ කවුඩන්ට රජකෙනෙක්ද උන්නා. ඒ කවුඩු රජා සුපත්ත නමින් හැඳින්වූවා. ඒ රජුගේ සෙනවියා සුමුක. රජුගේ බිසව සුපස්සා. මේ තිදෙනා නිලය කුමක් වුවත් හොඳ මිතුරෝ. එසේම යහපත් කල්ක්‍රියාවෙන් කල්ගත කළා.
මේ කවුඩු රජතුමා සහ බිසව දවසක් බඹදත් රජතුමාගේ මුළුතැන්ගෙය උඩින් පියාසර කළා. ඒවේලේ අරක්කැමියා රාජභෝජන හදා බඳුන්වලට දමනවා. ඒ බොජුන් සුවඳ දසත පැතුරුණා. ඒ සුවඳ පුස්සා බිසවට දැනුණා. දොළක් උපන්නා. ඒ ගැන හිත හිතා උන්නා.
කවුඩු රජතුමා පසුදා බිසවට කථා කළා ගොදුරු සොයා යන්න.
ඈ නිහඬව උන්නා. මුහුණ පුම්බාගෙන.
ඇයි ඔබට කුමක්වෙලාද? කෑම සොයායන්නේ නැද්ද?
ස්වාමිනි! මට දොළදුකක් ඇතිවෙලා ඉන්නේ. එම නිසා ඔබතුමා යන්න මම මෙහි ඉන්නවා.
ප්‍රිය බිසව ඔබට වැළඳී ඇත්තේ කුමන දොළදුකක්ද?
රජගෙදර රජතුමාට හදන බොජුන් කන්න.
කවුඩු රජතුමා විස්මයට පත්වුණා.
ස්වාමීනි! එය අපහසු කාර්යයක් බවත් මම දන්නවා. එහෙත් එය නොලැබුණොත් මම මිය යාවී.
කවුඩු රජතුමාට. ඒ බොජුන් කෙසේ ලබාගන්නද? කෙසේවත් බැරිය කියා ඒ රජු දුක් වුණා. කල්පනා කරමින් හිටියා.
මේ අතර සුමුක සෙනෙවියා රජු වෙත ආවා. වෙනදා වගේ නොවේ රජු වෙනස් වෙලා කතාබහක් නෑ. රජතුමනි ප්‍රශ්නයක්ද? කල්පනා කර කර ඉන්නේ ඇයි?
ඔව් සෙනෙවිතුමනි! ඉතාම බැරෑරුම් ප්‍රශ්නයක්.
බලන්න මටත් කියන්න ඔය ප්‍රශ්නය. පුළුවන් නම් උත්තරය සොයා දෙන්නම්.
ඒක හිතන තරම් ලෙහෙසි පහසු නෑ.
කමක් නෑ. බලන්න කියන්නකෝ.
එවිට කවුඩු රජතුමා සියලු විස්තර කිව්වා.
දේවයන්වහන්ස! ඔපමණ කල්පනා කරලා දුක් වෙන්න එපා. මම රාජභෝජන කෙසේ හෝ ගෙන එනවා. දැන් ඔබ දෙදෙනා ගොදුරු සොයායන්න කිව් සුමුක සෙනෙවියා ඉගිල ගියා. එනුවර උන් කවුඩන් රැස් කළා. උන්ගෙන් ශක්තිමත් වූ නිර්භීත වූ අට දෙනෙක් තෝරා ගත්තා. ඉන්පසු ඉගිල ගිහින් රජගෙදර මුළුතැන්ගෙයි පරාලයක වැසුවා. කවුඩන් අටදෙනාට මෙසේ කිව්වා. මේ රජතුමාගේ භෝජන වේලාව අරක්කැමියා රාජභෝජන බඳුන් වසාගෙන එනවා. මම ගිහින් ඒ වැස්ම අරිනවා. ඔබ හැමදෙනාම එසැණින් ඉගිල විත් පුළුවන් තරම් භෝජන අරගන්න. එවිට ඔවුන් මා අල්ලා ගනී. මට ඉන්පසු ගැලවීමක් නෑ. ඔබ ඒ ගැන හිතන්න බලන්න එපා. හැකි ඉක්මනින් ඉගිල යන්න. ගිහින් අපේ රජතුමාටයි බිසවටයි රාජභෝජන දෙන්න. ඒ දෙන්නා මා ගැන අසයි. භෝජන ගන්න පස්සෙ කියන්නම් කියන්න. බලකර ඇසුවොත් බොජුන් කා නිම වූ පසු විස්තර කියන්න.
එසේ කී සුමුක සෙනෙවියා විමසිල්ලෙන් උන්නා.
මේ වනවිට භෝජන වේලාව නිසා බඹදත් රජතුමා මාළිගයේ සිට අරක්කැමියා එනතුරැ මඟ බල බල උන්නා.
අරක්කැමියා භෝජන බඳුන් වසාගෙන ආවා.
කවුඩු සෙනෙවියා සැණින් ඉගිලුණා. අරක්කැමියාගේ ළැමැදේ වැසුවා.
අරක්කැමියා කලබල වුණා.
එසැණින් කවුඩු සෙනෙවියා අරක්කැමියාගේ නහයට නැග්ගා. පියාපත් දෙකෙන් ඔහුගේ ඇස් දෙක වැසුවා. භෝජන බඳුන්වල වැස්ම ඇරියා.
කවුඩෝ අටදෙනා ඉගිල ආවා. භෝජන ඇතිතරම් ගත්තා ඉගිල ගියා.
රජතුමා එය දැක්කා. වහා කවුඩා අල්ලන්න නියෝග කළා.
ඔවුන් කවුඩු සෙනෙවි අල්ලා ගත්තා.
මේ අතර කවුඩෝ අටදෙනා ඔවුන්ගේ රජතුමාට සහ බිසවට රාජභෝජන ගෙනගොස් දුන්නා. ඒ අය ඒවා බඩපිරෙන්න කෑවා.
රාජපුරුෂයෝ අල්ලාගත් කවුඩු සෙනෙවියා රාජතුමා ළඟට ගෙනගියා.
ඇයි ඔබ ජීවිතය ගැන නොතකා රටේ රජතුමාට ගෙන ආ බොජුන්වල වැස්ම ඇරියේ අරක්කැමියාගේ දෑස වැසුවේ. රජතුමා ඇසුවා.
දේවයන්වහන්ස! ඔබවහන්සේගේ මෙනුවරම අපේ අය අසූදාහක් ඉන්නවා. ඉතින් අපටත් රජතුමෙක් ඉන්නවා. එතුමාගේ බිසව සුපස්සා. එතුමියට ඔබතුමාගේ බොජුන් කන්න දොළක් ඇතිවෙලා. ඒගැන හිත හිතා අපේ රජතුමා කම්පාවෙනවා. ඒ ගැන මගේ හිත වාවන්නේ නැතිව ගියා. එබැවින් මගේ ජීවිතය පුදා හරි බිසවගේ දොළදුක සංසිඳවන්න හිතුවා. ඒ නිසා ඔබතුමාට වරදක් කළා. තවද දේවයන්වහන්ස යම්කෙනෙක් තම දෙමව්පියන්ගේ ද තමන්ගේ ස්වාමියාගේ ද යම් ආශාවක් ඉටුකිරීමට සමත් වුණොත් ඔහුට මෙලොවත් පරලොවත් නපුරක් සිදුනොවේ.
දේවයන්වහන්ස. මම ඔබතුමාගේ භෝජන බඳුන්වල වැස්ම ඇරියා. ඉන් ද්‍රෝහිකමක් ඔබවහන්සේට වුණා. දැන් ඔබවහන්දේ දෙන කුමන ආඥාවක් හෝ මම පිළිගන්න කැමතියි.
බඹදත් රජතුමා කවුඩු සෙනෙවියා ගැන පැහැදුණා. මිතුර ඔබ අගනා සේවකයෙක්. බලන්න මගෙන් බොහෝ පුද සත්කාර ලබන ඇමැතිවරුන් වගේ අය ඉන්නවා. එහෙත් ඔබ වගේ ජීවිතය පුදා පක්ෂපාතකම් කරන්න ඉදිරිපත් වන කෙනෙක් නෑ. ඔබ කළ ඒ පක්ෂපාතකම ඒ කවුඩු රජතුමාට පමණක් කළ දෙයක් නොවේ. මටත් කළ පක්ෂපාතකමක්. එසේ හෙයින් ඔබට ආඥාවක් කරන්නේ නෑ. ඔබට මගේ රාජ්‍ය පූජා කරනවා. රජතුමා කිව්වා.
දේවයන්වහන්ස! අපි තිරිසන්නු. අපට රාජ්‍යවලින් ප්‍රයෝජන නෑ. කියමින් කවුඩු රජතුමාගේ ගුණවර්ණනා කළා.
හොඳයි ඔබගේ රජතුමයි බිසවයි මට දැකගන්න ආසයි. ඔවුන් කැඳවාගෙන එන්න.
කවුඩු සෙනෙවියා ඉගිල ගියා. රජතුමයි බිසවයි කැඳවාගෙන ආවා. බඹදත් රජතුමා ඒ අයට රාජභෝජන සංග්‍රහයක් කළා. පසුව පිළිසඳරේ යෙදුණා. සතුටින් විසර ගියා.
(සුපන්න ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක