2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

ගුරුතුමාට වෛර බැන්ද ගෝලයෙක්

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 285

බුදුන් දවස එක් හාමුදුරුනමක් සුළු දේකටත් කෝප වුණා. ඒ ගැන අනෙක් හාමුදුරුවරු, “ඔබ බුද්ධ ශාසනයේ මහණ වූ කෙනෙක්. එබැවින් එසේ කෝපවන්න එපා” යැයි අවවාද කළා. ඒ වෙලාවට වරද පිළිගත්තා. එහෙත් පුරුද්ද අතහැරියේ නෑ. පෙර සේම කෝප වුණා. පසුව ඒ හාමුදුරුවරුන් බුදුරජාණන් වහන්සේ වෙත ගොස් මේ හාමුදුරුවන්ගේ කෝපවීම ගැන පැමිණිලි කළා. එවිට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට එන්න යැයි වදාළා.

උන්වහන්සේ පැමිණියා.

මහණ! ඔබ ඉක්මනින් කෝපවෙනවා නේදැයි විචාළා.

එසේය ස්වාමීනී! එය මගහරවාගන්න කොපමණ වෑයම් කළත් හරියන්නේ නෑ. ඒ හිමියන් ප්‍රකාශ කළා.

හොඳයි. ඔබ වඩින්න. වදාළා. අනෙක් පැමිණිලි කළ හාමුදුරුවරුන් කැඳවා මහණෙනි! දැන් මතු නොව ඔය භික්ෂුව පෙරත් ඉක්මනින් කෝප වුණා යැයි පවසා අතීත කතාව වදාළා.

යටගිය දවස බරණැස එක් බඹදත් රජ කෙනකුට පුත් කුමරෙක් උන්නා. ඒ කුමරුත් බඹදත් නමින් හැඳින්වූවා. මේ කුමරු වැඩිවියට පත්වුණා. ශිල්ප හැදෑරීමට තක්සලාවට යවන්න ඕනෑ වුණා. මසුරන් දහසකුත් තෑගිබෝගත් දී තක්සලාවට යැව්වා.

කුමරු පියරජතුමාට වැඳ පිටත් වුණා. තක්සලාවට ගියා. ඒ වනවිට දිසාපාමොක් ඇදුරැතුමා මිදුලේ සක්මන් කරමින් උන්නා.

කුමරු එතුමා ළඟට ගියා.

ඇයි තොප කුමට ආවේදැයි ඇදුරිඳු ඇසුවා.

ශිල්ප හැදෑරීමට. කුමරු කිව්වා.

ඔබ කුලියට ශිල්ප ඉගෙනීමටද ආවේ. ඇසුවා.

කුමරු මසුරන් සහ ගෙන ගිය තෑගිබෝග ඇදුරු දෙපා ළඟ තබා වැන්දා.

රජකුමරුන්ට කල් යවා ශිල්ප ඉගැන්වීමට බැරිය. ඇදුරුතුමා කිව්වා. නැකතක් බැලුවා. ඔබට දැන් සිටම ශිල්ප උගන්වනවා කිව්වා. ඉගැන්වීම පටන් ගත්තා. මේ කුමරු තමයි එවකට ගෝලයන් අතර සිටි කුඩාම කෙනා. ශිල්ප උගන්වන අතර ඇදුරුතුමා ගෝලයන් සමඟ දිය නෑමට නාන තොටට ගියා. ඒ යන්නේ ඇදුරුතුමා පළමුකොට ඊට වැඩිහිටි පිළිවෙලට ගෝලයන් පස්සෙන්.

එක් දිනක් මේ පිරිස දිය නෑමට යනවිට අතරමග මහළු ස්ත්‍රියක් අව්වේ තල වේලමින් හිටියා. ඈ මේ අයට පිටුපා සිටියේ.
පිරිසේ අන්තිමට ගිය බඹදත් කුමරුට මාගලේ වේලෙන්න දමා තිබූ තල දැක ටිකක් කන්න ආශාවක් ඇතිවුණා. පිටුපා හිටිය මහළු කතට නොපෙනෙන්න තල අහුරක් ගත්තා. කටේ දමාගත්තා.

කුමරු හිතුවට මහළු කත නොදැක්කා කියා ඈ එය දැක්කා. කුඩා එකාට බඩගිනි වෙන්න ඇති කියා ඇය හිතුවා. කිසිවක් කීවේ නෑ. පිරිස ගියා.

දෙවැනි දවසේත් දිය නෑමට යන්න පිරිස ආවා. එදත් මහළු කත තල වේලනවා. කුමරු පෙර ලෙසට තල මිටක් ගෙන කටේ දාගත්තා. 

මැහැලි ස්ත්‍රිය එය දුටුවා. මේ කොල්ලා මෙසේ හැමදාකම තල අහුරක් ගැනීම පුරුද්දක් කරගත්තොත් මගේ තලවලින් ගොඩක් නැතිවෙයි. විශාල පාඩුවක් මට සිදුවෙයි කියා සිතුණා. තරහ ආවා. පළමුවෙන් යන දිසාපාමොක් ඇදුරුතුමා වෙත ගියා.

ඇදුරුතුමනි! ඔබේ ගෝලයන් එනවිට මගේ තල කනවා. එය දිළිඳු මට කොපමණ පාඩුවක්ද? කියා කෑගැසුවා.

මෑණියනි! කවුද තල ගත්තේ? ඇදුරිඳු ඇසුවා.

අර පස්සෙන් එන කොලුවා. ඊයෙත් තල අරන් කෑවා. මම නිහඬව උන්නා. අදත් ගත්තා. එසේ දිනපතා ගත්තොත් මගේ තල ඉවරවෙනවා නේද? ඈ හඬ නගා ඇසුවා.

හරි. ඔබ කෑගසන්න එපා. ඒ තලවලට මිල මම ගෙවනවා. කීයද මිල?

කෑ තලවලට මිල මට එපා. මීට පස්සේ මගේ තල නොකන්න අවවාද කරන්න.

එවිට දිසාපාමොක් ඇදුරුතුමා වැඩිහිටි කුමරු දෙදෙනකුට කුමරුගේ අත්දෙකෙන් අල්ලගන්න කිව්වා. ඔවුන් කුමරු අල්ලාගත්තා. ළඟ තිබූ උණ පතුරක් ගෙන පාරවල් කීපයක් කුමරුගේ පිටට ගැසුවා.

ඉන් කුමරුට දැඩි වේදනාවක් දැනුණා. දිසාපාමොක් ඇදුරු දෙස කෝපයෙන් බලා උන්නා.

ඇදුරුතුමා දැනගත්තා කුමරු තමාට වෛර බැන්ද බව. එහෙත් වෙනසක් කළේ නෑ. සියලු ශිල්ප හොඳින් ඉගැන්නුවා. ආදරයෙන් සැලකුවා.

කාලය එසේ ගෙවී ගියා. ශිල්ප කාලය නිමාවුණා. ශිල්පායතනයෙන් නික්ම යන දින එළැඹුණා.

බඹදත් කුමරු දිසාපාමොක් ඇදුරිඳුගේ දෙපා වැන්දා. පිටත්වෙන්න අවසර ගත්තා.

ගුරු දේවයාණෙනි! මම යම් දිනක රාජ්‍ය ලබාගත් විට නුඹවහන්සේ මගේ රාජ්‍යයට කැඳවනවා. එවිට එනු මැනවි කිව්වා. පිටත්ව ගියා.

බඹදත් කුමරු බරණැසට ආවා. පියරජතුමාට ශිල්ප පෙන්නුවා.

පියරජතුමා කුමරුගේ දස්කම් දැක ප්‍රීතියට පත්වුණා. මගේ ඇස් පනාපිටම පුතා රාජ්‍ය මෙහෙයවනවා දකින්න ඕනෑ යැයි සිතුවා. රජකම පැවැරුවා.

කුමරු රජකම බාරගත් විගසම දිසාපාමොක් ඇදුරුතුමාට, ගුරු දේවයාණෙනි! මා කෙරේ සැකයක් නොසිතන්න. වහාම එන්න යැයි හසුන් පතක් යැව්වා.

ඒ හසුන්පත කියැවූ දිසාපාමොක් ඇදුරුතුමා “කුමරැ මා කැඳවන්නේ සෙනෙහසින් නොවේ. එදා මම ඔහුට ගැසූ පාරවල්වලට නිග්‍රාකර දඬුවම් කරන්නයි” හිතුණා. අනෙක කුමරු තාම බාලයෝය. එසේ හෙයින් කුමරු මම දෙන ඔවා අහන්නේ නෑ. ඒ නිසා තව ටික කලක් ගිය පසු යනවා යැයි එතුමා තීරණය කළා. නොගිහින් හිටියා.

සෑහෙන කාලයක් ගතවුණා. බඹදත් කුමරු දැන් මුහුකුරා ගිහින්. රාජ්‍ය පාලනය ගැන මනා දැනුමක් ඇතැයි ඇදුරුතුමාට හිතුණා. බරණැසට ගියා. රජවාසලට ගොස් දිසාපාමොක් ඇදුරු ඇවිදින් යැයි රජතුමාට දන්වා යැව්වා.

ඇතුළට එන්න යැයි රජතුමා දන්වා එව්වා.

ඇදුරුතුමා රජගෙය තුළට ගියා. රජතුමා එතුමා දෙස කෝපයෙන් බලා උන්නා. ඔබ මරණය නළලේ තබාගෙනද ආවේ? රජතුමා ඇසුවා.

ඇයි දේවයන් වහන්ස එසේ කියන්නේ?

එදවස මම මැහැලියගේ තල කෑවාට දුන් උණපත් පහර මතක්වෙනකොට පිට තාම රිදෙනවා. ඇමැතිවරුනි! මේ ඇදුරුට දැන් මරණ දඬුවම දෙන්න ඕනෑ.

දේවයන් වහන්ස! මරණයට මම බය නෑ. ඊට කවදා හෝ මුහුණදෙන්න ඕනෑ. මම එදා ඔබට ඒ කුඩා සොරකමට පහර නුදුන්නා නම් ඔබ මෙලහකටත් ලොකු හොරෙක් වෙලා අසුවී මරාදාලා. එසේ වූවා නම් ඔය ලබන රාජශ්‍රීය ලැබෙයිද? එම නිසා ඔබ සොරකමෙන් ගලවාගන්න මම දුන් පාඩමකි, ඒ. උත්තමයෝ ඒවාට වෛර බඳින්නේ නෑ. ඇදුරිඳු කිව්වා.
රජතුමා කල්පනා කරන්න වුණා.

දේවයන් වහන්ස! දිසාපාමොක් ඇදුරිඳු කර ඇත්තේ ඔබතුමාට යහපතක්. ඔබවහන්සේට රාජශ්‍රීය ලබන්න හොඳ මගපෙන්වීමක්. ඇමැතිවරු කිව්වා.

රජතුමා කරුණු අවබෝධ කරගත්තා. ඇදුරුතුමාගෙන් සමාව ගත්තා. මේ රාජ්‍ය බාරගන්න කිව්වා. දේවයන් වහන්ස! මට එපා. මම රජවරු තනන්නෙක් මිසක් රජකම් කරන්න කැමැති අයෙක් නොවේ යැයි කිව්වා.

රජතුමා බොහෝ තෑගිබෝග එතුමාට දුන්නා. එතුමා ඒවා අරන් තක්සලාවට ගියා.

නිලමුට්ඨ ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00