කෝසල මහරජතුමාට තිසරණ සරණ ගිය අවංකව සේවය කරන ඇමැතිවරයෙක් උන්නා. මේ ඇමැතිතුමා ගැන වංක ඇමැතිවරු වෛර බැන්දා. ඔවුන් එකතු වී ඇමැතිවරයත් රජතුමාත් භේදභින්න කරන්න සාකච්ඡා කළා. රජතුමා හමු වුණා.
දේවයන්වහන්ස මේ ඇමැතිතුමා රට වැසියන්ගේ හොඳ හිත දිනාගන්න දැන් කටයුතු කරනවා. ඒ ඔබතුමාට තිබෙන ලෙන්ගතුකමට නොවේ. එයාගේ මතු බලාපොරොත්තුවක් ඇතිව.
කුමක්ද? ඒ බලාපොරොත්තුව.
ජනතාවත් එක්ක කැරැල්ලක් ගසා ඔබතුමා රාජ්‍යයෙන් පහකොට රජ වෙන්න.
කෝසල රජතුමා ඒ ඇමැතිවරුන්ගේ මුසා බස් පිළිගත්තා. අර යහපත් ගුණගරුක ඇමැතිතුමා අල්ලා හිරගෙට දැම්මා.
ඒ නැණවත් ඇමැතිතුමා හිත කලබල කරගත්තේ නෑ. හිරගෙට වෙලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් භාවනා කළා. එසේ ටික දිනක් ගියා. ඒ ඇමැතිතුමා සෝවාන් ඵලයට පත්වුණා. තවත් කලක් ගත වුණා. රජතුමාට වැටැහුණා. මේ ඇමැතිතුමා නිදොස් කෙනෙක් බවත් අනික් ගතු කිවූ ඇමැතිවරු දුර්ජනයන් බවත්. ඔවුන් කියා ඇත්තේ මුසා බස් බවත්. එතුමා වහාම ඇමැතිතුමා නිදහස් කළා. තතු හරියට නොදැන වරදක් වුණේ කියා ඔහුට කිව්වා. බොහෝ සම්පත් දුන්නා. පෙර සිටි තනතුරටම පත් කළා.
මේ ඇමැතිතුමා නිදහස ලැබූ පසු ගියා බුදුන් වහන්සේ බැහැ දකින්න.
උපාසක ඔබට දුකක් පැමිණියා නේද? බුදුන් රජාණන්වහන්සේ විචාලා.
එසේය. ස්වාමීනි! මම ඒ දුක මැද උතුම් ඵලයක් ලබාගත්තා.
ඒ කුමක්ද?
බුද්ධාලම්බන ප්‍රීතියෙන් සෝවාහන් ඵලය ලබාගැනීම.
උපාසක උත්තමයෝ එසේ තමයි. විඳින දුක සැපතකට හරවා ගන්නවා. මින්මතු නොව පෙරද එසේමයි පවසමින් මේ අතීත කථාව වදාළා.
පෙර කල බරණැස් නුවර දශරාජධර්මයෙන් රාජ්‍ය කළ බඹදත් රජකෙනෙක් උන්නා. එතුමා දිනපතා පන්සිල් ගත්තා. සතර පොහොයට අට සිල් සමාදම් වුණා. එසේ දැහැමිව රජ කරන මේ රජතුමාට නොහොබිනා ඇමැතිවරයෙක් ද උන්නා. මේ ඇමැතිවරයා රජතුමාගේ අන්තඃපුරයේ බිසවක් සමඟ රහසේ සම්බන්ධතා ගෙන ගියා. ඔහු රාත්‍රියේ රැකවලුන්ට හොරෙන් ඇතොවුරට රිංගුවා. කෙසේ හෝ මේ රහස රජතුමා දැනගත්තා. ඔහු කැඳවා ඒ ගැන විමසුවා.
දේවයන්වහන්ස! එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. කියා ඔහු දිව්රන්න වුණා.
රජතුමා දැනගත්තා ඔහු දිව්රන්නේ බොරුවට බව. කමක් නෑ. මම අල්ලගන්නම් කියා සිතුවා. ඔහුට යන්න කිව්වා.
බඹදත් රජතුමා වෙස්වළා ගත්තා. රාත්‍රියේ ඇමැතිවරයා ඇතොවුරට රිංගන වෙලාවට මඟ රැකලා උන්නා.
එය නොදන්න ඇමැතිවරයා පුරුදු ලෙස ආවා. හොර කපොල්ලකින් රිංගන්න හදනකොට අල්ලාගත්තා. ඔබ කොහෙද යන්නේ රජතුමා ඇසුවා?
ඇමැතිවරයාට කට උත්තර නැතිව ගියා. බියේ වෙව්ලන්න වුණා.
දැහැමි බඹදත් රජතුමාට කෝපයක් ඇති වුණේ නෑ. කලකිරීමක් ඇති වුණා. කල්පනා කළා. ඔහු කර ඇත්තේ රාජ්‍ය විරෝධී වැඩක්. ඒ නිසා ඇමැතිවරයාට කිව්වා තොප රාජ්‍ය ද්‍රෝහියෙක් එබැවින් මෙරපු අතහැර වෙනත් පුරයකට යව. නැත්නම් දඬුවම් කරනවා කියා.
ඇමැතිවරයා වෙනත් දේශයකට ගියා. ඔහු සිතා උන්නේ බඹදත් රජතුමාගේ දැහැමිකම නිවටකමක් ලෙස. ඒ නිසා එම දේශයේ රජතුමා හමුවුණා.
දේවයන්වහන්ස සේනාව යැව්වොත් බරණැස් රාජ්‍ය අල්ලගන්න පුළුවන්.
ඔබ දන්නේ කොහොමද?
දේවයන්වහන්ස! මම එපුර වැසියෙක්. බඹදත් රජතුමා හරි නිවටයි. මම එය හොඳට දන්නවා.
ඒ රජතුමා කල්පනා කළා. බරණැස අල්ලා ගතහොත් කොපමණ හොඳදැයි සිතුවා. ඔහු රාජ සේවයට බඳවා ගත්තා. මිනිසුන් යවා බරණැස ගමක් කොල්ල කෑවෙව්වා. ගමේ මිනිස්සු ඔවුන් අල්ලා ගත්තා. බඹදත් රජතුමා වෙත ගෙන ගියා.
තොප ඇයි මගේ රාජ්‍ය කොල්ල කෑවේ රජතුමා ඇසුවා.
දේවයන් වහසන්ස සම්පත් නැති නිසා ඔවුන් කිව්වා.
තොප මා හමුවී සම්පත් ඉල්ලුවා නම් දෙනවානේ. රජතුමා කිව්වා. ඔවුන්ට සම්පත් දී පිටත් කළා. ඒ මිනිස්සු උන්ගේ දේශයට ගියා. ඒ රජතුමාට සිදුවූ විස්තර කිව්වා. ඒ රජතුමා හිතුවා අර මිනිසා කිව්දේ සත්‍ය තමයි. රජතුමා නිවටයි කියා. බලසේනා ගෙන බරණැසට ගියා.
බරණැස රාජකීය හමුදාව සතුරු සේනා එන බව දැනගත්තා. බඹදත් රජතුමාගෙන් අවසර ඉල්ලුවා ඔවුන් සමඟ සටනට යන්න.
එපා ජීවිත විනාශයට මම කැමති නෑ. වාසල් දොරටු ඇරදමන්න කිව්වා. රජගෙදර මතු මහළට වී රජතුමා බිසවත් සමඟ සිටියා.
සතුරු රජතුමා නුවරට ඇතුළු වුණා. කිසිම අවහිරයක් නෑ. රජගෙදරට ගියා. මතු මහලට නැග්ගා. රජතුමයි බිසවයි අල්ල ගත්තා. හිරගෙට දැම්මා. ඒ රජතුමා එහි සිට බරණැස පාලනය කරන්න වුණා.
සිරගෙයි වැටුණු බඹදත් රජතුමා මෛත්‍රී භාවනාව කළා. ධ්‍යාන උපදවා ගත්තා. ඒ සමඟ සතුරු රජතුමාට සිරුරින් දහඩිය වැගිරෙන්න වුණා. ඉන්න හිටින්න බැරිව ගියා. වෙදවරු වෙදකම් කළා. පළක් වුණේ නෑ. බැරිම තැන පේන ඇසුවා. ඔවුන් කිව්වා දැහැමි රජතුමාට කළ වරදට දෙවියෝ කෝපවෙලා ඔය දෙන දඬුවම කියා. ඒ රජ බිය වුණා. බඹදත් රජතුමා නිදහස් කළා. රාජ්‍ය පැවැරුවා. වුණු වරදට සමාව ඉල්ලුවා. ඒ රජතුමාගේ දේශය බලා ගියා.
(සෙය්‍ය ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක