2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

මරණ දඬුවමින් ගැලවුණු යහපත් සිටු කුමරා

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

සැවැත් නුවර බොහෝ සම්පත් ඇති උත්තර නම් යහපත් සිටුවරයෙක් හිටියා. කල්යත්ම එතුමාගේ සිටු දේවිය ලස්සන පුත් කුමරකු බිහි කළා. ඒ කුමරු වැඩිවියට පත් වුණා. සිප්සත හදාරා හොඳ තරුණයකු ද වුණා.

මේ අතර එනුවර කාර්තිකා උත්සවය ඇරැඹුණා. ඒ උත්සවයට සිටු කුමාරවරුන් ස්ත්‍රීන් සමඟ පැමිණ ප්‍රීති වෙනවා. ඒ කාලයට සිටුපායවල් උත්සව ශාලා වගෙයි.

මේ සිටු කුමරුත් ඒ නුවර සිටි ජනප්‍රිය වෙසඟනක් සිටුපායට කැඳවාගෙන ආවා. ඇය ස්වර්ණාභරණ පැළඳවා අලංකාර කළා. උත්සවය නිමා වනතුරු සිටුපායේ තබාගත්තා.

උත්සව සමය නිමා වුණා. වෙසඟනට තෑගි බෝග දී පිටත් කර හැරියා. ඇය අභරණ පැළඳ සුරූපියක් වගේ මඟ යනු ඇමැතියෙක් දුටුවා. ඇය ගැන ආශාවක් ඇති වුණා. කතාබහ කර බිසව කරගත්තා. මාලිගයට ගෙන ගියා.
මේ අතර උත්සවය නිමා වෙලා තාම දුව ගෙදර ආවේ නෑ කියා වෙසඟනගේ මව කලබල වුණා. සිටු කුමරු සොයා සිටුපායට ගියා. කුමරු හමුවුණා. “ඔබ මගේ දුව කැඳවාගෙන ආවා.. උත්සවය ඉවරයි. කෝ දුව?” කියලා ඇසුවා.

“ඔබේ දුවට මිල ගෙවා වැඩිපුර තෑගි බෝගත් දී පිටත් කළා.” කුමරු කිව්වා.

“එසේ නම් දුව ගෙදර එන්න එපායෑ. ආවේ නෑ..”

“ඒවා මම දන්නේ නෑ. ඇය සිටුපායෙන් යැව්වා.”

“ඔබ කියන්නේ මුසා.. මගේ දුව මට ඕනේ.”

“මැහැලිය! ඔබට කුමක්ද වෙලා තියෙන්නේ? නුඹේ දුව මෙහේ නෑ. පලයන් යන්න.”

“ඒක හරි කතාවක්නේ. ඔබ මගේ දුව කැන්දන් ආවා. දැන් නෑ කියනවා. 

“මෙහේ ඔබේ ඇති දුවක් නෑ කියලා මට වද නොදී පලයන්.”

“එහෙම යන්න පුළුවන්ද? ඔබ දුව අරන් ආවා වගේම ගිහින් ඇරලන්නත් ඕනේ.”

“මැහැලිය නුඹට තේරෙන බාසාවෙන් මම කිව්වේ. මෙහේ ඇති දුවක් නෑ. ඒකි ගියා.”

“ඔබ කියන්නේ මුසා. කවුරුන් හෝ මගේ දුවට අතුරු අන්තරාවක් කරලා.”

ඒ ඇසීමෙන් කුමරු කෝප වුණා. සේවකයන් ලවා මහලු ස්ත්‍රිය අකාරුණික ලෙස සිටුපායේ දොරටුවෙන් එළියට ඇද දැම්මවූවා.

ඒ මහලු මව අඬ අඬා රජ ගෙදරට ගියා. රජතුමා හමුවුණා.

“ඇයි මවුනි! මා සොයා ආවේ?” රජතුමා ඇසුවා.

ඒ ඈ සිටි තත්ත්තවය ගැන දුක හිතිලා.

“දේවයන්වහන්ස උත්තර සිටු කුමරු කාර්තිකා උත්සවයට මගේ දුව කැඳවාගෙන ආවා. ඒ උත්සවය නිමා වෙලා දින කීපයක් ගතවෙලත් දුව එව්වේ නෑ. ඒ නිසා මම දුව සොයා සිටුපායට ගියා. සිටුපායේ අය මා අල්ලා එළියට ඇද දැම්මා. අනේ දේවයන්වහන්ස ඔවුන් මගේ දුවට කුමක් හෝ අතුරු ආන්තරාවක් කරලා. පින් සිද්ධ වෙයි දේවයන්වහන්ස මගේ දුව මට ලබා දෙන්න.”

ඒ කාරුණික රජතුමා ඇය ගැන කම්පා වුණා. සිටු කුමරු වෙසඟනට මිල ගෙවන්න බැරිව ඇයට කුමක් හෝ කරදරයක් කර ඇතැයි එතුමා සිතුවා.

රජතුමා රාජ පුරුෂයන් කැඳෙව්වා. සිටු කුමාරයා කැඳවාගෙන එන්න අණ කළා.

ඔවුහු සිටු කුමරු කැඳවාගෙන ආවා.

“ඔබ මැගේ දුව සිටුපායට කැඳවාගෙන ආවාද?”

“එසේය දේවයන්වහන්ස!”

‘‘දැන් ඇය කෝ?”

“ආපසු පිටත් කළා.”

“තනියමද යැව්වේ?”

“එසේය.”

“ඇය ඔබ සොයා ආවෙත් තනියමද?”

“නෑ. මම කැඳවාගෙනයි ආවේ.”

“කැඳවාගෙන ආවා වගේම ඇයි ගිහින් නොඇරියේ?”

සිටු කුමරු නිහඬයි.

“ඔබ ඇයට මිල නොගෙවා අතුරු ආන්තරාවක් කළාද?”

“නෑ දේවයන්වහන්ස මම ඇය පිටත් කළා.”

“ඔබ කියන්නේ මුසා..”

“නෑ දේවයන් වහන්ස! සම්පූර්ණ සත්‍ය.”

නෑ. බොරු. ඔබ ඇගේ ජීවිතය විනාශ කළා. ඒ නිසා ඔබ ජීවිතයෙන් වන්දි ගෙවන්න ඕනෑ. කී රජතුමා ඒ සිටු කුමරැට මරණ දඬුවම නියම කළා.

රාජ පුරුෂයන් සිටු කුමරුගේ අත්පිටිතල බැන්දා. වද බෙර ගසමින් පෙරහරෙන් මඟ දිගේ ගෙන ගියා. එවිට කුමරු හිතුවා (මා මේ නිරපරාදේ මරණයට ගෙනයන්නේ. මින් මා යම් විදිහකින් ගැලවුණොත් බුදුන්වහන්සේ ළඟ පැවිදි වෙනවා) කියලා. ඒ අතර මඟ දෙපස ජනතාව රැස් වී අඬන්න වුණා. මේ කුමරු කොපමණ යහපත් කෙනෙක්ද? එහෙත් මරණයට නියම වුණානේ කියා.

මේ වදක පෙරහර වෙසඟන උන්න මාලිගය ළඟින් ගියා. ඇයට වද බෙර හඬ ඇසුණා. ඇය මගියකුගෙන් ඇසුවා කුමක් නිසාද වදක පෙරහර යන්නේ කියා. ඒ මගියා කිව්වා වෙසඟනක් මැරුවාට උත්තර සිටු කුමරැට මරණ දඬුවම දීලා කියා.
“කවුද වෙසඟන?” ඇය ඇසුවා.

එවිට මගියා සියලු විස්තර කිව්වා.

වෙසඟන කම්පා වුණා. මා මියගිහින් නෑ කිව්වා. පෙරහර ඉදිරියට දිව්වා. වදක පෙරහර බාර ඇමැතියාට කිව්වා ඕක නතර කරන්න. මම මැරුණේ නෑ. මේ සිටු කුමරු මට බොහෝ සංග්‍රහ කළා. එයා නිර්දෝෂියි කියා.
“ඔබ කවුද?” ඇමැතියා ඇසුවා.

“මම තමයි ඒ වෙසඟන.” ඇය කිව්වා.

එවිට සිටු කුමරු නිදහස් කළා. ඒ කුමරු ගොස් මවුපිය අවසර ගෙන පැවිදි වුණා. නොබෝ දිනකින් රහත් වුණා.

මේ තෙරණුන් ගැන දම් සභාවේ කතා වුණා. එවිට බුදුන්වහන්සේ මහණෙනි! නැණවත් සිල්වත් අයට නිරපරාදේ මරණ තැත ආවත් මරන්න බෑ. ගැලවෙනවා පවසමින් මෙසේ වදාළා.

යටගිය දවස බරණැස අසල කැලයේ වටු රංචුවක් හිටියා. උන් අතර යහපත් නැණවත් වටුවෙක් ද උන්නා. මේ වටුවන් අල්ලා විකුණන වැද්දෙක් ද හිටියා. ඒ වැද්දා වටුවන් අල්ලා කූඩුවලට දා හොඳට කන්න දීලා මහත් වුණාම විකුණනවා. මේ යහපත් වටුවත් වැද්දාගේ දැලට අහුවුණා. වැද්දා ඌ ගෙනගොස් කූඩු කළා. වටුවා හිතුවා මම නොකා නොබී කෙසඟ වෙන්න ඕනේ කියලා එසේ නොකා නොබී උන්නා. මේ වටුවා නොකන්නේ රෝගයක් කියා වැද්දා හිතුවා. ඌ කූඩුවෙන් එළියට ගෙන අත උඩ තියාගෙන බල බල උන්නා. වටුවා වැද්දාගේ පමාව එකින් එක ඉගිලී ගියා. ඒ වගේ තමයි යහපතුන් ගැලවෙන්නේ.

ඊට පසු භික්ෂූන් ඒ රහතන් වහන්සේ ගැන කතා කළේ නෑ.
(වට්ට ජාතිකය ඇසුරෙන්)