බරණැස් නුවර චුල්ල නමින් සිටුවරයෙක් උන්නා. එතුමා ගුණගරුක කෙනෙක්. නැණවතෙක්. එසේම නැකත් ශාස්ත්‍රය ද උගතෙක්. මේ සිටුතුමා දිනක් රාජ්‍ය සේවයට යනකොට පාරේ මැරී උන් මීයකු දැක්කා. ඒ මීකුණ දෙස බලාසිටියා. ඒ කුණෙන් වෙනසක් දුටුවා. පේනයක් බැලුවා. මෙසේ කිව්වා නුවණ තියෙන කෙනකුට මේ මී කුණෙන් අඹුදරුවන් රැක පොහොසතෙක් වෙන්න පුළුවන් වෙනවා.
මේ කියමන සිටුතුමා පිටුපසින් පැමිණි දිළිඳු තරුණයකුට ඇසුණා. ඔහු සිටුතුමා ගියාට පස්සේ මීකුණ අරගත්තා. මේ සිටුතුමා ලෙහෙසි පහසු කෙනෙක් නොවේ. පේන ගැන කියනකෙනකු හැටියට ප්‍රසිද්ධයි. බලමුකෝ මේ පේනේ සත්‍යතාවය යැයි සිත සිතා ඔහු ගියා. යනකොට සල්පිලක් ළඟ මිනිසෙක් පාර දෙස බලාහිටියා. ඒ මිනිසා සුරතලයට හදන බළලාට කන්න දෙයක් දෙන්න නැතිව.
ඔහු දැක්කා තරුණයා අතේ තියෙන මීකුණ. ඔය මීකුණ කුමටද අරන්යන්නේ. ඔහු තරුණයාගෙන් ඇසුවා.
මම මේක ගෙනියන්නේ විකුණන්න.
විකුණන්නේ කීයටද?
ඔබ ගාන්නා ගණන කීයද?
රන් දෙවියටක් දෙන්නද?
හා... කී තරුණයා මීකුණ ඔහුට දුන්නා. ඒ මුදලින් ඔහු උක්හකුරු ගත්තා. කළයකට පැන් පුරවා ගත්තා. නැවැත ගමන් ඇරඹුවා. අතරමඟදී මාලකාරියක් හමුවුණා. ඇය පිපාසිතව උන්නේ මේ මිනිසාගේ වතුර කළය දුටුවා.
මට වතුර ටිකක් දෙනවාද?
දෙන්නම්... හැබැයි මට මල් ටිකක් ඕනෑ.
හා... මල් දෙන්නම් ඉස්සරවෙලා වතුර බොන්න දෙන්න ඈ කිව්වා.
මේ මිනිසා උක්හකුරු සමඟ වතුර ඇයට දුන්නා.
ඒ මාලකස්ත්‍රිය ඔහුට මල් ටිකක් දුන්නා. මේ මිනිසා ඒ මල් වික්කා. ඒ මුදලින් හකුරු වැඩිපුර ගත්තා. පැන් කළයකට පුරවා ගත්තා. මල් උයනකට ගියා. එහි මල් නෙළමින් බොහෝ දෙනෙක් උන්නා. ඔවුන් නිතර පිපාසයෙන් සිටියේ. ඔහු පැන් කළය ගෙන ඔවුන් වෙත ගියා. ඔබට වතුර ඕනෑද? ඔහු ඇසුවා.
කොච්චර එකක්ද දෙන්නකෝ ඔවුහු ඉල්ලා සිටියා.
වතුර දෙන්නම්. මට ඒ වෙනුවට මල් ඕනෑ.
මේ නෙළාගත්ත මල් දෙන්න බෑ. ඔබට මල් කඩාගන්න ගස්වල ඉතිරි කරන්නම්.
හා කමක් නෑ. මේ හකුරු කා වතුර බොන්න කියා ඔහු හකුරු සහ වතුර ඔවුන්ට දුන්නා.
ඒ මල් නෙළන්නෝ සතුටට පත් වුණා. හකුරු කා වතුර බී පිපාසය සිංසිඳවා ගත්තා. ඔවුන් ගස්වල මල් ඉතිරි කර නෙළාගත් මල් අරන් යන්න ගියා.
මේ තරුණයා ගස්වල ඉතිරි මල් නෙළා ගත්තා. ඒවා මිටි බැඳ ගත්තා. සල්පිල වෙත ආවා. මල් මිටි ටික විකුණා ගත්තා. ඉන් කහවණු අටක් උපයා ගත්තා.
මේ අතර බරණැස දරුණු සුළඟක් හැමුවා. ඉන් රජතුමාගේ මඟුල් උයනේ වියළි අතු රාශියක් කඩා වැටුණා. උයන් පල්ලාට තනිවම අස්කර ගන්න බැරි තරම් අතු තිබුණා. ඔහු කුමක් ද කරන්නේ කියා කල්පනා කර කර හිටියා.
මේ තරුණයා මඟුල් උයන ළඟන් යන්න ආවා. මඟුල් උයනේ වැටී තිබුණ වියළි අතු දැක්කා. ඔහු හෙමිහිට උයන්පල්ලා ළඟට ගියා. මොකද? කල්පනා කරන්නේ.
බලන්න. මේ හුළඟක් නිසා වෙච්ච දෙයක්.
ඇයි කුමක්ද?
අර බලන්න උයන පුරා අතු වැටිලා. ඕවා මම තනියම සුද්ද කරන්න එපායෑ.
ඔය අතු මම සුද්ද කර දෙන්නම්. හැබැයි අතු ඔක්කොම මට ඕනෑ කැමතිද?
මොනවද මේ කියන්නේ. උයන සුද්ද වෙනවානම් අතු ඔක්කොම අරන් යන්න උයන් පල්ලා කිව්වා.
ඔහු උක් හකුරු අරගත්තා. ළමයින් සෙල්ලම් කරන තැනට ගියා. ඔවුන්ට හකුරු බෙදුවා. ඒ ළමයි ආශාවෙන් ඒවා කෑවා. දැන් ඔබ සියල්ලෝම මට උදව්වක් කරන්න ඕනෑ.
ඒ කුමක්ද? ළමයි ඇසුවා.
මාත් එක්ක යන්න එන්න කිව්වා. ඔවුන් ආවා. මඟුල් උයනට ඇතුළු වුණා. මෙන්න මේ අතු ටික මට උයනේ දොරටුව ළඟට ගෙනත් දෙන්න කිව්වා. ළමයි සෙල්ලම් කරමින් වගේ අතු ටික දොරටුව ළඟට ගෙනත් දුන්නා. ඔහු තවත් හකුරු ළමයින්ට දුන්නා. ඔවුන් හකුරු කකා යන්න ගියා.
පසුව මේ මිනිසා අතු කඩා මිටි බැන්දා දොරටුව ළඟ තබාගෙන උන්නා. රජගෙදරට වළං සපයන්නා වළං පුළුස්සන්න දර නැතිව දර සොයායමින් උන්නා. මේ දරගොඩ දැක්කා. විකුණනවාද ඇසුවා.
ඔහු ඒවා විකුණන බව කිව්වා. ඒ දර විකුණා ඔහු කහවනු දහසක් සහ වළං පන්සියයක් ගත්තා. වළං ටිකත් විකුණා කහවනු විසිහතරක් සොයාගත්තා. ඊට පස්සේ හකුරු සහ පැන් කළයක් අරන් නුවර දොරටුව ළඟ හිටියා. ඒ අතර තණසොයා ගිය පන්සියයක් පමණ දෙනා තණ මිටි බැඳගෙන ආවා. ඔවුන් හිටියේ පිපාසයෙන්. නුවරදොර ළඟ පැන් තියාගෙන ඉන්න ඔහු මේ අය දැක්කා. ළඟට ආවා පැන් බොන්න ඉල්ලුවා. ඔහු කිසි පැකිලීමක් නැතිව පැන් දුන්නා. මිතුර ඔබ අපට කළේ ලොකු උදව්වක් අප කුමක්ද ඔබට කළ යුත්තේ. දැන් මට කිසි උදව්වක් එපා. අවැසි විට කියන්නම් කිව්වා. ඔවුන් යන්න ගියා.
ඒ අතර මේ තරුණයා ගොඩ වෙළෙන්දන් සහ මුහුදු වෙළෙන්දන් සමඟ මිතුරු වුණා. ඉන් එක වෙළෙන්දෙක් ඔහුට කිව්වා හෙට අශ්ව වෙළෙන්දෝ මෙනුවරට එනවා. ඒ පන්සීයයක් පමණ තණ හොයාගතහොත් හොඳ මිලකට විකුණන්න පුළුවන්.
ඔහු වහා තණ සොයා මිතුරන් හමු වුණා. ඕන් දැන් මට උදව්වක් ඕනෑ.
හරි කුමක් ද උදව්ව?
මට ඔබ පන්සිය දෙනාගෙන්ම එක තණ මිටිය ගානේ ඕනෑ. හරි කිව්වා. තණ මිටි දුන්නා. ඒවා අරන් ආවා අශ්ව වෙළෙන්දන් වෙත ගියා. කහවනු දහසකට තණමිටි වික්කා. ඔහු තොටුපළට ගියා. එහි බඩු නැවක් ඇවිත් තිබුණා. ඒ බඩුවලට නායක වෙළෙන්දාට අත්තිකාරම් මුදලක් දුන්නා. මේ බඩු කාටවත් දෙන්න එපා මටම දෙන්න කිව්වා. ඒ නායක වෙළෙන්දා ඊට කැමති වුණා. ඔහු චරපුරුෂයන් තොටුපළ අවට තැබුවා. ඔවුන්ට කිව්වා බඩු ගෙනයන්න වෙළෙන්දෝ එයි ඒ අයට කියන්න නැවේ බඩු ගන්න ඕනෑ නම් මා හමුවන්න කියන්න. වෙළෙන්දෝ ආවා චරපුරුෂයෝ ඔවුන් ඔහු වෙත කැඳවා ගෙන ගියා.
ඒ මිනිසා ලාභයක් තියාගෙන නැවේ බඩු ඔක්කොම වික්කා. ඉන් කහවනු දෙලක්ෂයක් සොයා ගත්තා. බරණැසට ආවා. තෑගි බෝගගෙන චුල්ල සිටාණන් හමුවට ගියා.
දරුවා ඔබ මෙතරම් වස්තුව සොයා ගත්තේ කෙසේද? සිටුතුමා ඇසුවා.
එවිට ඔහු මීකුණේ සිට සියලු විස්තර කිව්වා. සිටුතුමා සතුටට පත්වුණා. ඔබ වැනි අය ශ්‍රේෂ්ඨයි කිව්වා. තොරතුරු විමසා කුල ගොත් දැනගෙන දුව ඔහුට සරණ පාවා දුන්නා.
චුල්ල සෙට්ඨි ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක