2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

අකීකරුකම නිසා ජීවිතයෙන් වන්දි ගෙවයි

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 126

වේළුවනාරාමයේ අකීකරු හිමිනමක් උන්නා. මේ හිමිනම ගැන අනෙක් හාමුදුරුවරුන් නිතර සාකච්ඡා කරන්න වුණා. සමහර හිමිවරු උන්නාන්සේට අකීකරුකම අතහැර ගන්න යැයි නිතර අවවාද දුන්නා. එවේලෙට විතරක් ඒ අවවාද පිළිගත්තා. පසුව අමතක කළා. මහ රහතන්වහන්සේලාටත් මේ හිමිනම අකීකරු වුණා. මේ හිමි ගැන බුදුන් වහන්සේත් දැනගෙන ඒ හිමි කැඳවා ඔබ ඇයි තාම අකීකරුයැයි විමසුවා.

ස්වාමීනි! මා කොපමණ උත්සාහ ගත්තත් මට ඒ වැරැද්ද අමතක වී යනවා. එහිමියෝ ප්‍රකාශ කළා.

බුදුන් වහන්සේ ඒ හිමියන්ගේ පූර්වේ භව ගැන බලමින් මහණ දැන් මතු නොවේ පූර්වයේදීත් ඔබ අකීකරු වුණා. ඒ නිසා සර්පයකුගෙන් ජීවිතය නැතිකර ගත්තා යැයි වදළා. ඒ සිද්ධියද ගෙනහැර පෑවා.

යටගිය දවස බරණැස බොහෝ සම්පත් ඇති කුල ගෙදරක පින්වත් කුමාරයෙක් උපන්නා. මේ කුමරු ඇල්මෙන් සිප් සත හැදෑරුවා. තරුණ වියට පත්වුණා. මිනිසුන් පංචකාමය ගැන විඳින දහදුක පෙනී ගිහිගෙය එපා වුණා. මවුපියන්ගෙන් අවසර ගෙන තපස් රකින්න හිමාල අඩවියට ගියා. එහි අසපුවක් තනාගෙන තවුස් දම් පිරුවා. ඒ අතර එසේ ගිහි සැප එපා වී තවත් පිරිස් මේ අඩවියට ආවා. අසපු තනාගෙන තවුස් දම් පුරන්න වුණා. කලක් යනකොට ඒ තවුසන්ට නායක තවුසා ලෙස බරණැසින් පැමිණි තවුසා තෝරාගත්තා. ඒ තවුසා නායක තනතුර යහපත්ව නැණවත් කරගෙන ගියා. එබැවින් එතකොට උන් පන්සියයක් පමණ වූ තවුසෝ නායක තවුසාට ගෞරව දැක්වූවා. එයාගේ වචනයෙන් පිට කිසිවක් කළේ නෑ.

කලක් එසේ ගෙවී ගියා. ඒ අඩවිය තවුස් පිරිස ගැවැසෙන පුණ්‍ය භූමියක් වුණා. ගහවැලට සතාසීපාවාට මෛත්‍රිය වඩන මේ තවුසන්ට වනයේ සියලු සතුන් ගරුකළා. හීලෑ වුණා.

මේ අතර ඈත වනයේ සිට ගොදුරු සොයා ආ නාගයෙක් මේ අසපු බිමට ආවා. ඌ යන එනමඟ අමතක වී අතරමං වුණා. තවුසෝ මේ නාගයා දැක්කා ඌට උගේ පාඩුවේ ඉන්න ඉඩහැරියා. ඒ අය සුපුරුදු ලෙසට තාපස ව්‍රත රකිමින් කාලය ගත කළා.

එදින සවස් වෙනවිට නාගයා ඌට නතර වී ඉන්න සුදුසු ස්ථානයක් සෙව්වා. හම්බවුණේ නෑ. පසුව ළඟ තුබූ අසපුවකට රිංගුවා. මුල්ලකට වී උන්නා.

අසපුවේ තවුසා සෑහෙන වෙලාවකට පසුව මේ සර්පයා දුටුවා. ඔහු කල්පනා කරන්න වුණා. මූ අහිංසක සතෙක්. මට බියේ මුල්ලකට වෙලා ඉන්නේ. ඉතින් කෙසේද එළවා දමන්නේ. එහෙත් මේ සතා තියා ගැනීමෙන් මට කරදරයක් වෙයිද? කමක් නෑ. මම මූට සර්පයා වුණත් මෛත්‍රී කරනවායැයි තීරණය කළා. ඌට ඉන්න තැනක් පිළියෙළ කළා. කන්න බොන්න දුන්නා. පුත්‍ර සෙනහයෙන් පුතා කියා ඇමතුවා.

ටික දිනක් ගෙවුණා. සර්පයා තවුසාට කීකරු වුණා. ගොදුරු සොයා පිටත ගියේ නෑ. ඒ තවුසා දරුවකුට වගේ ඌට සලකන නිසා.

කෙසේ හෝ මේ සර්පයා ගැන අනෙක් තවුසෝ දැනගත්තා. ඔවුන් ඌ බලන්න ආවා. සර්පයා දරුණු එකෙක් බව දැනගත්තා.

තාපසතුමනි! මේ සර්පයා දරුණු එකෙක්. ඔය මෛත්‍රිය අත් හරින්න. ඌ වනය තුළට යවන්න. ඒ අය කිව්වා.
ඒ තවුසා කිසිවක් කිව්වේ නෑ. මුනිවත රැක්කා. එහෙත් සර්පයා අසපුවෙන් පිට කෙළේ නෑ.

අනෙක් තවුසෝ නායක තවුසාට මේ සර්පයා ගැන කිව්වා. එතුමත් ඒ තවුසාගේ අසපුවට ආවා. සර්පයා දැක්කා. මේ සර්පයා අසපුවේ ඉන්නේ ඇයි? ඔබ ඌ ඇති කරනවාද? ඇසුවා.

ආචාරීන්වහන්ස ඌ මගේ අසපුවට ආවා. මම ඌට මෛත්‍රී කළා. දැන් ඌ මට කීකරැයි. මම ඌට පුතකුට වගේ සලකන්නේ.

ඒ පුත්‍රකම් අතහරින්න. ඌ මහා නපුරු එකෙක්. වහාම වනය තුළට ගිහින් දමන්න. කොටින්ම සර්පයාගෙන් වෙන්වී සිටින්න.

ආචාරීන්වහන්ස! දැන් මේ සර්පයා මගේ දරුවෙක්වගෙයි. කොහොමද මම ඈතකට ගිහින් දමන්නේ. 

ඔබ අකීකරුවන්න එපා. කල්පනා කර තීරණයක් ගන්න. නායක තාපසයා කිව්වා. යන්න ගියා.

මේ තවුසා ඒ ඔවදනුත් පිළිපැද්දේ නෑ. පෙර පරිදි තවුසා සර්පයාට කන්න බොන්න දී හිටියා.

මෙසේ කිහිප දිනක් ගියාට පසු මේ තවුසන්ට අවශ්‍ය දේවල් සිඟා නගරයට යන්න සිදුවුණා. ඒ සඳහා අනෙක් තවුසෝ ලක ළැහැස්ති වුණා. මේ තවුසත් යන්න කටයුතු සකස් කර ගත්තා.

එහෙත් ඔහුට සර්පයාට කුමක්ද කරන්නේ කියා පැනයක් මතුවුණා. කල්පනා කළා. උණ පුරුකක් ගෙනාවා. ඒ තුළට සර්පයා දැමුවා. පුරුකේ දෙපැත්ත වැසුවා. අසපුවේ එය තබා නුවරට ගියා. හිතා හිටියාට වඩා දින ගණනක් එනුවර අවැසි දේවල් රැස්කරගන්න ඉන්න සිදුවුණා. පසුව ආපසු අසපු බලා ආවා. ආ හැටියේම තවුසා කළේ සර්පයා උන් උණ පුරුක ගෙන පැත්තක මුව විවර කර පුතා මම නැතිව කුසගින්නේ නේද? මම ඔබට කෑම ගෙනාවා කියා සර්පයාගේ හිස අතගාන්න උත්සාහ කළා.

දින ගණනක් නිරාහාරව සිටි නිසා සර්පයා උන්නේ කෝපයෙන්. ඒ නිසා තවුසා හිස අතගානවාත් සමඟම කීප සැරයක්ම තවුසාගේ අත දෂ්ඨ කළා. තවුසා කෑ ගසාගෙන බිම වැටුණා. ඒ හඬ ඇසී අනෙක් තවුසෝ දුව ආවා. ඒ වනවිටත් සර්පයාගේ අසීමිත විස ශරීරගත වී තවුසා මියගිහින්.

එදා ඒ තවුසා තමයි මේ හිමියන් බුදුන් වදාළා.

(වේළුක ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක