2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

යමක් ගැන ඇලී සිටීම දුකට හේතුව වෙයි

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

සැවැත් නුවර බොහෝ සම්පත් ඇති සිටුගෙදරක් තිබුණා. ඒ ගෙදර සියල්ලෝම සතුටින් ජීවත් වුණා. දුගී මගී යාචකයන්ටද පිහිට වුණා.

කලක් ගෙවුණා. මේ සිටුපායට නරක කල දසාවක් උදා වුණා. නිවැසියන්ට අභිවාත නම් රෝගයක් ඇතිවුණා. ඒ රෝගය හැදුණාම ගෙදර වසන කුකුළන් බල්ලන් බළලුන් වැනි සතුන් පවා දුක් විඳ මියයනවා.

පුත, මේ රෝගය වැළඳී ඇති අප සියල්ලෝම මියයනවා. එයින් ගැලවෙන්න ක්‍රමයක් ඇත්තේම නෑ. ඔබට තාම රෝගය හැදී නෑ. එබැවින් මේ සිටුගෙදර බිත්තියක් කඩාගෙන ගියොත් ඔබට රෝගයෙන් බේරෙන්න පුළුවන්. එම නිසා යන්න. වනගත වන්න. අපි ඔක්කෝම මියගියාට පස්සේ එන්න. ඔබ වෙනුවෙන් මම අසවල්තැන ඔබට සම්පත් සඟවා තියෙනවා. පසු කල ඒවා රැගෙන බිරිඳක් ගෙනැවිත් සතුටින් ජීවත් වී පරපුර ගෙනියන්න. කිව්වා.

ඒ සිටු පුතා මට ඔබ දමා යන්න බෑ කිව්වා. අඬා වැළපුණා.

පුතා අනුවණ වන්න එපා. ඔබ ඉක්මනට මේ සිටුපායෙන් පිටවී යන්න. නැත්නම් ඔබටත් අපත් සමඟ මැරෙන්න වෙන්නේ. යන්න පුතා යන්න. සිටුතුමා බල කළා.

සිටු පුතා පියාගේ ඉල්ලීමට අවනත වුණා. සිටුගෙදර බිත්තිය කඩාගෙන අඬ අඬා ගියා. අතරමඟදී බුදුරජාණන් වහන්සේ හමුවුණා. බුදුන් වහන්සේ ළඟ සිටු පුතා වැඳ වැටුණා.

ඇයි ඔබ අඬන්නේ? බුදුන් විචාළා.

ස්වාමීනී! අපේ සිටුපායට අභිවාත රෝගය හැදිලා මගේ පියා ඇතුළු ඔක්කෝම ඉන් දුක් විඳිනවා. මට පියා කිව්වා, ඒ අය අතහැර දා ගෙදරින් පිටවී යන්න. මම කැමති වුණේ නෑ. පියා බලකර සිටියා ගෙදරින් පිටවී ගිහින් ජීවත්වෙන්න කියා. ඉතින් ස්වාමීනී! ම‍ගේ මව පියා ඇතුළු අය, මා හැදුණු වැඩුණු තැන දමා යන්න දුක නැද්ද? ඒකයි මම අඬන්නේ. මේ යන්නේත් හිතකින් යන ගමනක්ද නොවේ.

දරුව! ඔබ සිටුපායට පෙර කළ පවක් තමයි පලදී තියෙන්නේ. ඒ විපාක ඒ අය විඳින්නම ඕනෑ. ඔබ ඒ පවට සම්බන්ධ නැති නිසයි එම රෝගයෙන් බේරණේ. ඒ ගැන දුක්වෙලා පලක් නෑයැයි පවසා සිටු පුතාගේ සිත සන්සුන් කරන අදිටනින් මේ කතාව වදාළා.

යටගිය දවස බරණැස් නුවර වළං හදන මිනිසෙක් උන්නා. ඔහු යහපත් ගුණවත් කෙනෙක්. වළං හදා විකුණා දරුපවුල රැකගත්තා.

එකල මේ කුඹලා සිටි පෙදෙසේ ගඟක් තිබුණා. ඒ ගඟ සමීපයේ විලක්ද තිබුණා. වැසි කලට ගඟ උතුරනවා. විල ගඟයි. වතුර පිරිලා එක වගේ වෙනවා. එහි උන් මාළු දන්නවා මේ ගංවතුර හැමදාම නැති වග. ඒ නිසා වතුර බැස යනවාත් සමඟම උන් ගඟට යනවා. ඒත් සමඟම නියං කාලය උදාවෙනවා. විල සිඳී යනවා.

එක ගංවතුර කාලයක් ආ විට සියලුම මාළු වතුර බැස යනවාත් සමඟම ගඟට යන්න ලෑස්ති වුණා. ඉබ්බෙක් පමණක් වගට වගක් නැතිව උන්නා. 

ඔබ ගඟට යන්නේ නැද්ද? මාළුවෝ ඉබ්බාගෙන් ඇසුවා.

නෑ.

ඒ ඇයි?

නෑ. මම ඉපදුණු හැදුණු මේ විල දමා යන්නේ නෑ.

ඒක පුදුම කතාවක්නේ.

පුදුමයක් නොවෙයි, යන්නේ නෑ. මේ විලේම ඉන්නවා.

එතකොට නියඟෙ ඇවිත් දිය ඉඳුණාම ඔබ අසරණ වෙනවා. විකාර නැතිව එන්න යන්න.

මට බෑ. ඔය අය යන්න. ඉබ්බා කිව්වා. අනෙක් මාළුවන් ගියා. ඉබ්බා නතර වුණා.

වැඩි දිනක් ගියේ නෑ. නියං සමය උදා වුණා. විලේ වතුර සිඳුණා. මඩ පමණක් ඉතිරි වුණා. ඉබ්බා දුකින් මඩට වී උන්නා.

මේ අතර කුඹලා වළං හදන්න පස් ගන්න විලට ආවා. මඩ නැති හරියෙන් වළක් කපන්න වුණා. ඒ වළේ යන්තම් වතුර මතුවුණා. තවත් පස් ගන්න වළ හෑරිය යුතුයි. ඒ නිසා කුඹලා ටිකක් විවේක ගත්තා. මේ අතර ඉබ්බා කැපූ වළේ වතුරට පැන්නා.

ඒ ගැන නොදත් කුඹලා යළිත් උදැල්ලෙන් වතුර වළට කෙටුවා. ඔහු හිතුවේ ඉබ්බත් පස් පිඩැල්ලක් කියා. වැර යොදා පස් පිඩැල්ලට කෙටුවා. ඉබ්බාගේ කටුව පැලී තුවාල වුණා. එය නොදත් කුඹලා එය ගොඩට දැමුවා. එවිටයි ඔහු දුටුවේ ඉබ්බා. මේ යහපත් මිනිසා නොදැන වූ වරදට දැඩි සේ දුක් වුණා. සංවේගයෙන් යුතුව ඉබ්බා උස්සාගත්තා. සමාව ගත්තා.

මම උපන් තැන කියා ඔය විලේම උන්නා. අනෙක් මගේ නෑ මිතුරෝ විල අතහැර ගඟට ගියා. මට වැරදුණා. යම් දේකට ඇලීම දෝෂයක්. දැන් තේරෙනවා. කියා ඉබ්බා කෙඳිරිගෑවා. ටික වෙලාවකින් කුඹලා අතේම ඌ මියගියා.

කුඹලා ඉතා දුකින් උස්සාගත් ඉබ්බා අරන් මිනිසුන් අතරට ආවා.

ඔබ මොකද මැරුණු ඉබ්බෙක් උස්සාගෙන? මිනිසුන් ඇසුවා.

මිතුරනි! මේ ඉබ්බා මට පාඩමක් කියා දුන්නා.

ඒ කුමක්ද?

මේ මගේ දරුවෝ, මේ මගේ බිරිඳ, මේ මගේ ගේදොර, මගේ ධනය කියා ආශාව ඇතිකරගන්න එපා. කියන එක. ඒ වෙනුවෙන් ඇලී ගැලී ඉන්න එපා කියන එක. ඒ නිසා සිටු පුතා ඔබත් මව්පිය ධනය ගැන ඕනෑවට වඩා දුක්වෙන්න එපායැයි බුදුන් වහන්සේ වදාළා.

කච්ඡප ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00