2019 මැයි 04 වන සෙනසුරාදා

ලංකාව හරහා ලෝකෙටම තග දාන අයි.එස්. නායකයා

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 280

ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදියා වන 42 හැවිරිදි අබුබකර් බැග්ඩෑඩ් කළු ඇඳුමකින් සැරසී සිට පසුගිය සතියේ නිකුත් කළ ප්‍රකාශයකින් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයම කැළඹී ගියේය. ඔහු මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කළේ 2014 ජූලි මාසයේ ඉරාකයේ මෝසුල් නගරයේදී ලබාදුන් ප්‍රකාශයෙන් අනතුරුවය. අයි.එස්. නායක අබුබකර් පවසන්නේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ සිරියාවේදී සහ ඉරාකයේදී තම සංවිධානය පරාජයට පත් කිරීමට පලිගැනීමක් වශයෙන් බවයි. ඒ සමඟම, මියගොස් ඇති බවට ඇමෙරිකානු ඔත්තු සේවා අනුමාන කළ අයි.එස්. නායකයා යහතින් සිටින බවත්, ඔහු ගෝලීය ත්‍රස්තවාදය අවුලවමින් තම කුරිරු හැඟීම් ඉටුකර ගන්නා බවත් ලෝකයටම පැහැදිලි විය.

අබුබකර් සිරියාවේ කොහේ හෝ සැඟවී සිට එරට සිට කි.මී. 5100ක් දුරින් පිහිටි ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිරියාවේ වහබ්වාදයට කිසිදු සම්බන්ධයක් නැති කොච්චිකඩේ, කටුවපිටියේ සහ මඩකලපුවේත් කොළඹත් අහිංසක ජීවිත තුන්සීයකට අධිකව මරණයට බිලිවිය. ගෝලීය ත්‍රස්තවාදය කෙතරම් බිහිසුණුද යන්නට එම සිද්ධිය පමණක් ප්‍රමාණවත්ය.

අද මේ ම්ලේච්ඡත්වය නිසා සෑම ශ්‍රී ලාංකිකයකුටම බියෙන් දවසැරීමට සිදුව තිබේ. සිරියාවේ, ඉරාකයේ, ඇෆ්ඝනිස්ථානයේ මෙන්ම යුරෝපීය රටවලද බෝම්බ පිපිරෙනු රූපවාහිනියෙන් බලා “අපිට ඒ ප්‍රශ්න දැන් නෑ” කියා හෙළූ සැනසුම් සුසුම් අවසන්ව ගොසිණි.

ලොව බලවත්ව රාජ්‍යය වශයෙන් වහසි බස් දොඩවන අමෙරිකා එක්සත් ජනපදය කිහිප වරක්ම ගෝලීය ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්විය. 2001 වසරේ සැප්තැම්බර් 11දා එරට ලෝක වෙළෙද මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාව නිසා තුන්දහසකට අධික අහිංසක ජනතාවක් මියගියහ. 2013 වසරේ ක්‍රියාත්මක වූ බොස්ටන් ප්‍රහාරය එල්ල වූයේ ක්‍රීඩාලෝලීන්ටය.

ශ්‍රි ලංකාවේ ප්‍රහාරය ගැන ජනමාධ්‍යයට කරුණු දැක්වූ අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මේ ඛේදවාචකයේ බරපතළකම අමෙරිකාව හොඳින් වටහාගෙන සිටින බවත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවත්ය. මේ වනවිටත් ශ්‍රී ලංකාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන සෙවීමට අමෙරිකානු එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවා නියෝජිතයෝ මෙරටට පැමිණ සිටිති.

2001 ප්‍රහාරය අමෙරිකාවට එල්ල කළේ අල්කයිඩා අන්තවාදී ත්‍රස්ත සංවිධානය වන අතර එහි නායකයා ඔසාමා බින් ලාඩන්ය. ඊටපසු අල්කයිඩා ඇතුව ත්‍රස්ත සංවිධාන වනසා දැමීමට අමෙරිකාවේ මූලිකත්වයෙන් මිලිටරි ව්‍යාපාරයක් ඇරඹිණි. නේටෝ රටවල් මෙන්ම නෝටෝ නොවන රටවලද සහාය ඇතිව සිදුවූ එම යුද මෙහෙයුම ඇෆ්ගනිස්ථානයේ සහ මැදපෙරදිග අරාබි රටවල ක්‍රියාත්මක විය. රහසිගත මෙහෙයුමකින් අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරණයට පත්වන්නේ 2011දී පාකිස්ථානයේ සැඟවී සිටියදීය.

ඒ අතරම ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන තවත් ඒකාධිපති පාලනයක් ගෙනගිය ඉරාකයටද අමෙරිකානු හමුදාවෝ පිවිසෙති. අමෙරිකාවට බ්‍රිතාන්‍යය සහ තවත් යුරෝපා රටවල සහාය ද එහිදී හිමිවේ. අවසානයේ ඉරාකයේ පාලකයා වූ සදාම් හුසේන් අල්ලාගෙන අධිකරණ ක්‍රියාමාර්ගයකින් පසු එල්ල මරා දමන්නේ 2006 දීයි. සදාම් හුසේන් මරා දැම්ම ද ඉරාකය ත්‍රස්තවාදයෙන් තොර රටක් බවට පත් නොවේ. අල්කයිඩා මෙන්ම අයි.එස්. ද ඉරාකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

අද ලෝක ත්‍රස්තවාදයේ අවසනාවන්ත කොටසක් බවට ශ්‍රී ලංකාවද පත්වී තිබේ. අප රටේද අයි.එස්. සංවිධානයට වැඳුම් පිදුම් කරන ඔවුන්ගේ මඟ අනුගමනය කරන මුස්ලිම් අන්තවාදීන් පිරිසක් බිහිවීම සැබැවින්ම කනගාටුදායකය. අයි.එස්. අරමුණ රටක බලය අල්ලා ගැනීම පමණක් නොවේ. ලෝකයම “කලිෆාව” නම් ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීමය.

“මේ සටනෙන් පසු තවත් බොහෝ ප්‍රහාර එල්ල වේවි. තවත් බොහෝ දේ සිදුවේවි” යයි අයි.එස්. නායකයා පවසා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ වෙනත් කොහේ හෝ තැනක තවත් බෝම්බ පුපුරන්නට ඉඩ ඇති බව නිසැකය.

අයි.එස්. සංවිධානය නැගී සිටින්නේ 2011 දී ලිබියාවේ සිදුවූ නේටෝ ආක්‍රමණයේදී ගඩාපි මරණයට පත්වීමෙන් පසුවය. අද වනවිට ලිබියාවෙන් අයි.එස්. පරාජය කර තිබුණද එරට සිවිල් යුද්ධය තවමත් පවතී. අයි.එස්. සංවිධානය 2013 සිට සිරියාවේ ද 2014 සිට ඉරාකයේ ද විශාල ප්‍රදේශයක් පාලනය කිරීම අරඹයි. නමුත් පසුව අමෙරිකානු සහ නේටෝ ප්‍රහාර නිසා මෙම ත්‍රස්තයෝ ඉරාකයෙන් සිරියාවෙන් පසුබසිති. එහෙත් වරින්වර සැඟවී සිට එල්ල කරන ප්‍රහාර තවමත් සිදුවේ. මෑත කාලයේදී යුරෝපයේ රටවල් කිහිපයක පුපුරා ගිය මරාගෙන මැරෙන බෝම්බ නිසා මැදපෙරදිග ත්‍රස්තවාදය එම රටවල්ද බියපත් කර අවසානය.

අමෙරිකානු ජනාධිපතිව සිටි බැරැක් ඔබාමා 2014 දී ප්‍රකාශ කළේ ගෝලීය ත්‍රස්තවාදය මැඩලීමට ඇ.ඩො. බිලියන 5ක අරමුදලක් පිහිටුවන බවයි. එම මුදල් යොදා සෙසු රටවල ත්‍රස්ත ක්‍රියා සිදුකරන අන්තවාදීන් කොටුකර ගැනීමට අවස්ථාව හිමිවන බවද ඔහු ඒ කාලයේ කීවේය. නමුත් ත්‍රස්තවාදය නම් සියලු බාධක මැඩගෙන මිනිස් බෝම්බ වශයෙන් ලෝකය බියපත් කිරීම නැවතී නැත.

පොදු සමාජය සමඟ වෛර බැඳගෙන අන්තවාදී ක්‍රියාකරන සංවිධාන පුරාණයේ සිටම පැවතුණි. නමුත් මෙතරම් මහා විනාශයක් සුළු කාලයකදී කිරීමට තරම් දරුණු උපකරණ එකල නොතිබුණි. වර්තමානයේදී යක්ෂයා ආරූඪ වූ අන්තවාදියකුට මොහොතකදී ජීවිත සිය දහස් ගණනක් විනාශ කළ හැකිය. හමුදාවල බෝම්බ සොයාගැනීමේ නවීන උපකරණවලට හසු නොවන අන්දමේ ඉතා සියුම් හා කුඩා බෝම්බ වර්ග 80ක් අයි.එස්. ත්‍රස්තයන් විසින් නිර්මාණය කර තිබෙන බව හෙළිව තිබේ. කුඩා බෝම්බයක් නිපදවීමට ත්‍රස්තවාදියකුට වැයවන්නේ ඇ.ඩොලර් 30ක් වැනි සුළු මුදලක් වුවද ඒවායෙන් බේරීමට අවශ්‍ය නවීන උපකරණ නිපදවීමට අමෙරිකාවට වැය වූ මුදල ඩො. බිලියන 75කි.

ගෝලීය ත්‍රස්තවාදයෙන් වැළැක්වීමට තිබෙන හොඳම මාර්ගය වන්නේ රටේ ආරක්ෂාව තහවුරු කරන අතරම ජාත්‍යන්තරය සමඟ ඒකාබද්ධව වැඩ කිරීමය. බලවත් රටවලද තාක්ෂණික සහ බුද්ධි සහාය ලබාගෙන ත්‍රස්තවාදීන් ගැන සොයාබැලීමය. ඒ වෙනුවට එකිනෙක පාර්ශ්ව ඊළඟ මැතිවරණයේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට ලකුණු දමා ගැනීමට යාමෙන් නම් මේ අවස්ථාවේ සිදුවන ප්‍රගතියක් නැත.

► කුසුම්සිරි විජයවර්ධන