2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

මුහුදෙන් කුඩුබාන අලුත් පන්නය

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

කඩා වැටී ඇති බවට පෙන්වන කුඩු පාතාලයේ අලුත් මෝරු ගැන අපි පසුගිය සතියේ ලිපිය හරහා ඔබට පෙන්නුවෙමු. මෙවර අප පෙන්වන්නේ ඔවුන් මෙරටට කුඩු ගෙන්වන ආකාරය ගැනය. නැතහොත් ගෙන්වන්නට උත්සාහ ගන්නා ආකාරය ගැනය.

මේ වනවිට මහා පරිමාණ කුඩු ජාවාරමේ මහ ගෙදර ලෙස සලකන පාකිස්ථානය සමඟ මෙරට කුඩු ජාලයේ සබඳතා ගිලිහී ගොස් ඇති බව දැනගන්නට ඇත. ඒ පාකිස්ථාන කුඩු ජාලය හා සෘජුව සම්බන්ධ වී කටයුතු කළ වෙලේ සුදා සහ මාකඳුරේ මධූෂ් ආරක්ෂක අංශයේ බාරයේ ඉන්නා නිසාය. වෙලේ සුදා වැලිකඩ බන්ධනාගාරයේ සිටින තෙක් පාකිස්ථානය හරහා සෘජුව සම්බන්ධ වී හෙරොයින් මෙරටට ගෙනාවේය. ඒ සඳහා ඔහු බන්ධනාගාරය තුළ දුරකථන කිහිපයක් භාවිතා කර ඇත. එහෙත් හදිසියේ වෙලේ සුදා බූස්ස බන්ධනාගාරයට මාරුකිරීම නිසාත් එම බන්ධනාගාරයේ එක් කාමරයක කොටුවීම නිසාත් සුදාට පාකිස්ථානය හා සෘජුව සබඳතා ගොඩනැගීමට නොහැකි වී ඇත. මේ නිසා පාකිස්ථානයේ කුඩු ජාවාරම්කරැවන්ට විශ්වාසම සගයා වූ සුදා දැනටමත් අහිමිව ගොස් ඇත.

එහෙත් පාකිස්ථානයේ ජීවත් වූ මහර බන්ධනාගාරයේ සිටින මහා පරිමාණ කුඩු ජාවරම්කරුවකු වූ මොහොමඩ් සිද්ධික් මේ වනවිට පාකිස්ථානය සමඟ සෘජුව කටයුතු කිරීමට පටන් ගෙන ඇත. ඒ සුදාට සම්බන්ධ වීමට නොහැකි වීම නිසාය. මේ නිසා ඉතාම සුළු ප්‍රමාණයෙන් මෙරටට හෙරොයින් ගෙන ඒම සඳහා සිද්ධික් සහ ඔහුගේ ගෝලයන් පිඹුරුපත් සකසමින් තිබෙන බව පාතාලයෙන්ම දැනගන්නට ඇත. ඒ සඳහා ඔහු මෙරට වෙනම ජාලයක් අලුතෙන් පිහිටුවන්නටද සූදානම් වන බව දැනගන්නට ඇත.

අනෙක් ප්‍රධානියා වූ මාකඳුරේ මධූෂ් තවමත් රහස් පොලිස් බාරයේ සිටින නිසා ඔහුටද සිය ජාවාරම කරගෙන යාමට නොහැකි වී ඇත. කෙසේ වෙතත් මධූෂ් ඩුබායි පොලීසියට කොටුවන්නේ වෙලේ සුදාගේ පාවාදීම නිසාය. මේ සඳහා ඩුබායිහි සිටින අන්නාසි මොරිල් මැදිහත් වන අතර මොරිල්ගේ ඔත්තුව මත මධූෂ් කොටුවෙයි. එහෙත් මධූෂ් පොලීසියට කොටුවුවත් මධූෂ්ගේ කුඩු ජාවාරම කරගෙන යාමට තවමත් කිසිවකුට හැකි වී නැත. රටින් පැන සිටින අංගොඩ ලොක්කා කිහිප වතාවක් පාකිස්ථානය සමඟ සම්බන්ධ වී ජාවාරම සිදුකරගෙන යාමට උත්සාහ ගත්තත් එය සාර්ථක වී නැත. එහෙත් ලොක්කා වෙනත් වෙනත් තැන් හරහා ජාවාරම සුළු ප්‍රමාණයෙන් සිදුකරගෙන යන බව දැනගන්නට ඇත. එහෙත් ලොක්කාගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ තමන්ටත් මධූෂ්ටත් එරෙහිව කටයුතු කළ පිරිසට එරෙහිව තුවක්කු කට දිගු කිරීමටය. ඒ නිසා ලොක්කා සිය ගෝලයන් ලවා ඝාතනය කිරීම්, කප්පම් ගැනීම් සිදුකරගෙන යයි. ඒ රටෙන් පිට සැඟව ගොස්ය.

කෙසේ වෙතත් මධූෂ්ගේ පරම හතුරා වූ අන්නාසි මොරිල් හෙවත් ඩුබායි මොරිල් විසින් ජාවාරම මෙහෙයවමින් සිටින අතර මොරිල් පාකිස්ථානය සමඟ සෘජුව සබඳතා ගොඩනගා ගෙන ඇත. මේ නිසා අද හෙටම මොරිල් සිය මෙහෙයුම බෝට්ටු හරහා මැතිවරණ කලබලය තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම්ව ඇත.

මේ අතර රත්ගම විදුර සහ කොස්ගොඩ සුජී යන දෙදෙනා දකුණු පළාත තුළ ජාවාරම මෙහෙයවන අතර ඔවුන් පාකිස්ථානයේ සිට ගෙනැවිත් මුහුදු මාර්ගයේ ජාවාරමේ යෙදෙන අතරමැදියන් සමඟ සම්බන්ධ වී රට තුළට කුඩු ගෙන එමින් ඇත. විශේෂයෙන් ඇෆ්ගනිස්තානය වැනි රටවල ජාවාරම්කරුවන් මුහුදු මාර්ගයෙන් මගට කුඩු රැගෙන එන අතර දකුණේ ජාවාරම්කරැවෝ මුහුද මැදට ගොස් එම කුඩු මිලදී ගනිති. ඇතැම් විට ඒවා මාළු තුළ හෝ ගෑස් ටැංකි තුළ බහා ගොඩබිමට එන අතර කිසිවකුට ඒ සම්බන්ධයෙන් සැකයක් ඇතිවන්නේ නැත.

අලුත් ක්‍රමයට කුඩු ගේන්න සූදානම්

කෙසේ වෙතත් ජාත්‍යන්තර ජාවාරම්කරැවන් සියලුදෙනා පැරණි ක්‍රමයට කුඩු ගෙන ඒම දැන් දැන් ප්‍රතික්ෂේප කරමින් සිටිති. එයට හේතුව බොහෝවිට මුහුදු මාර්ග ඔස්සේ එන බෝට්ටු මෙරට ආරක්ෂක අංශ විසින් විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමය. එක් බෝට්ටුවක් ඇතුළට ගැනීම සඳහා තවත් බෝට්ටුවක් ආරක්ෂක අංශයේ ඇමට දැමීමට බොහෝ වෙලාවට ජාවාරම්කරුවන්ට සිදුවේ. මේ නිසා බොහෝ දෙනෙකුට විශාල මුදල් කන්දරාවක් යට කිරීමට සිදුවී ඇත.

ඒ නිසා ඔවුන් දැන් දැන් නැවතත් විවිධ භාණ්ඩ තුළ සඟවා නැව් මාර්ගයෙන් මෙරටට කුඩු ගෙන ඒම සඳහා පිඹුරැපත් සකසමින් සිටිනා බවට දැන ගන්නට ඇත. ඒ පැරණි ක්‍රමය හරහාය. ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම අත්හදා බලන බවද දැනගන්නට ඇත. ඒ නිසා ඉදිරියේදි මෙරට රේගුවට විශාල අවධානයක සිටින්නට සිදුවනු ඇත. කෙසේ වෙතත් ඔවුන් කුමන බාධක තිබුණත් ඉදිරියේදි කුඩු නැවතත් ගෙන්වනු ඇත.

කුඩු වෙනුවට වෙන කුඩක්

හෙරෝයින් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවෙමින් පවතින නිසා වෙනම කුඩු වර්ගයක් ජාවාරම්කරුවන් විසින් හඳුන්වා දී ඇත. එයද කුඩුවලට සමානම අතර පසුගිය කාලයේ කුඩු සමඟ මිශ්‍ර කළ පැරසිටමෝල් කුඩු වෙනුවට මෙම කුඩු වර්ගය යෙදීමට තීරණය වී ඇත. එයට හේතුව පැරසිටමෝල් කුඩු දෙකට එකක් අනුපාතය යටතේ යෙදීමත් මේ කුඩු වර්ගය තුනට දෙක අනුපාතය යටතේ මිශ්‍ර කිරීමටත් හැකියාව උදාවී ඇත. මේ නිසා ජාවාරම්කරැවන් විශාල ආදායමක් මේ හරහා සොයාගන්නා බව දැනගන්නට ඇත.

කෙමිකල් යන නමින් හඳුන්වන මෙම කුඩද ඊයම් කොළයේ දමා රත් කළ පසු දුමක් සමඟින් දියවී යන බව සඳහන් වේ. මේ නිසා එම කුඩු ප්‍රමාණකට හෙරොයින් ස්වල්පයක් මිශ්‍ර කළහොත් විශාල ආදායමක් ලබාගැනීම ජාවාරම්කරුවන්ගේ අරමුණ වී ඇත. වෙළඳ පොළේ මේ වනවිට ඇත්තේ එම කුඩු මිශ්‍ර හෙරොයින් බව බොහෝදෙනා නොදන්නා කරුණකි. එක කෑල්ලක් (මිලිග්‍රෑම් ස්වල්ප ප්‍රමාණයක් අඩංගු පැකට් එකක්) රුපියල් 1500කට අලෙවි වන්නේ මේ කෙමිකල් සමඟය.

පාකිස්ථානය යටකර ඉන්දියාව සටනට

පාකිස්ථාන හෙරොයින් ලොව වැඩිම වටිනාකමක් සහිත හෙරොයින්ය. මේ නිසා ලෝකයේ වැඩිම ඉල්ලුම තිබෙන්නේ පාකිස්ථාන හෙරොයින් වලටය. එයට හේතුව පාකිස්ථාන හෙරොයින්වල හෙරොයින් සාන්ද්‍රණය ඉහළ අගයක් ගන්නා නිසාය. එහෙත් මෙරටට හෙරොයින් පාකිස්ථානයේ සිට මෙරටට ගෙන ඒම අසීරැ නිසා එම හිස්තැනට ඉන්දියානු ජාවාරම්කරුවන් ඇතුළු වීමට උත්සාහ ගෙන ඇත. එයට හේතු වී ඇත්තේ ඉන්දියාවේ සිට මෙරටට ප්‍රවාහනය කිරීම ඉතා පහසු වීම හේතුවෙනි. මුහුදු මාර්ගය ඔස්සේ මන්නාරමට, යාපනය හරහා ඇතුළු කිරීම හෝ මඩකලපුව ප්‍රදේශයෙන් ඇතුළු කිරීම ජාවාරම්කරැවන්ගේ මෙහෙයුම වී ඇත. එහෙත් ඒ සඳහා ඉල්ලුම තවම ඇත්තේ පහළ මට්ටමකය. ඉන්දියානු හෙරොයින් චරස් යනුවෙන් හඳුන්වන අතර චරස් යනු කල් පැනගිය හෙරෝයින්ය. මේ හේතුවෙන් ඉන්දියානු හෙරොයින් සඳහා ඉල්ලුම පහළ මට්ටමක ඇත. එහෙත් රට අභ්‍යන්තරයේ ඉල්ලුම ඉහළ නිසා ඉදිරියේ චරස් හෝ මෙරටට ගෙන්වීම ජාවාරම්කරැවන්ගේ අරමුණ වී ඇත. ඒ සඳහා බන්ධනාගාරයේ සිටින කොළඹ පාතාලයේ පිරිසක් සූදානම් වන බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ඉදිරියේ ඡන්ද උණුසුමත් සමඟ පාතාලය මත්කුඩු ජාවාරම හිතේ හැටියට දඟලනු ඇත. ඇති තරම් මුදල් වියපැහැදම් කරනු ඇත. විදෙස් ගත වුවන් ලංකාවට පැමිණෙනු ඇත. ඒ ඔවුන්ගේ අනාගතය ගැන තීරණ ගැනීම සඳහාය. එතෙක් අප මේ සියල්ල බලා සිටිමු.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04