සමාජය බිහිවූ දා පටන් තමන්ට අවබෝධ කර ගැනීමට නොහැකි වූ තම විෂය පථයට හසුනොවූ බොහෝ දේවල් දෙවියන්ගේ හාස්කම් ලෙස සැලකීමට ජනතාව පුරුදු වූහ. ඒ මගින් ජන ආගම්, ජන ඇදහිලි හා ජන විශ්වාසයන් ගොඩනැගිණි. මෙරට බොහෝ දෙනා තමන්ට සිදුවන බොහෝ පීඩාවන්වලදී දෙවියන් ඇදහීමට සහ දෙවියන් වෙත කන්නලව් කිරීමට පිළිඹිබු වූයේ අප සමාජයේ ඒ ඒ ආගම්වල තිබෙන විශ්වාසය නිසාවෙනි.
අද වනවිට දුප්පත් පොහොසත් භේදයකින් තොරව බොහෝ දෙනෙකු දෙවියන් වෙත කන්නලව් කිරීම සඳහා පන්සල්, පල්ලි, කෝවිල් වෙත යන බව අප බොහෝදෙනා දන්නා කාරණාවකි. තමන්ගේ දුක් ගැනවිල්ලකින් නිදහස් වීමට එබදු දේව හාස්කම්වලින් ජනතාවට සිදු වූ සරණ සොයා ගිය ගමනකදී අපි කොළඹ කොච්චිකඩේ පිහිටි ශ්‍රී වීර මහා කාලිඅම්මාන් කෝවිල වෙත පිය නැගුවෙමු.
කොළඹ වරාය ආසන්නයෙන් වැටී ඇති වෙරළ මාර්ගය සැමවිටම කාර්යබහුල මාර්ගයකි. එහෙත් තමන් යන ගමන් බිමන් මඳකට නවතා කොච්චිකඩේ පල්ලිය අසල ඇති ශ්‍රී වීර මහා කාලිඅම්මාන් කෝවිල වෙත ගොස් බොහෝ දෙනෙකු දේව ආශීර්වාදය ලබාගෙන පිටව යන අයුරු එහි ගිය අපට දක්නට ලැබිණි. කෝවිලට ඇතුළුවීමට පෙර මෙම කෝවිල දීර්ඝ ඉතිහාසයක් ඇති කෝවිලක් බවත් එහි අනුහස් රුසක් ඇති බවත් කෝවිල අසල සිටි කිහිපදෙනෙක් පැවසූහ.
අප පැමිණි කාරණය කෝවිලේ ආවතේවකරුවකුට පැවසූ වහාම ඔහු කෙළින්ම අප කොවිලෙහි භාරකරු වෙත යොමු කරවීය. ඔහු කෝවිලේ ඉතිහාසය සහ කෝවිල පිළිබඳ බොහෝ තොරතුරු අපට පැවසුවේය.
කෝවිලෙහි ප්‍රධාන භාරකරු වන ඔහු පොන්නම්බලම් දොරේසිංගම්ය.
මේ කෝවිල ඕලන්ද කාලයේ පටන් පැවත එන කෝවිලක්. කාලි මෑණියන් වෙනුවෙන් තමයි මෙහිදී පුද පූජා පවත්වනු ලබන්නේ. ජාති භේදයකින් තොරව විශාල පිරිසක් උදේ හවා මෙම කෝවිලට පැමිණෙනවා. හැමදාම උදේ 6.15 වනවිට කෝවිල විවෘත කරනවා. ඉන්පසු උදේ 7.00 වනවිට අපි අපගේ උදෑසන පූජා කටයුතු සිදුකරනවා. ඉන්පසු දහවල් 12ටත් රාත්‍රී 8ටත් අපි අපගේ පූජා කටයුතු සිදුකරනවා. විවාහ කටයුතු, විභාගවලින් ජය ලැබෙන්න, ව්‍යාපාර කටයුතු ඇතුළු තමන්ට ඉටුකර ගන්න තිබෙන සියලු කටයුතුවලට භාරහාර වන්න ජනතාව මෙතනට පැමිණෙනවා. සෑම වසරකම ජනවාරි මාසයේ අපි කෝවිලේ ප්‍රධාන උත්සවය පවත්වනවා. ඒ වගේම මැයි මාසයේ, අගෝස්තු මාසයේ සහ නොවැම්බර් මාසයෙත් අපි කෝවිල වෙනුවෙන් විවිධ උත්සව පවත්වනවා සිංහල, දෙමළ කියලා නැහැ හැමදෙනාම මෙතනට එනවා භාරවෙන්න භාර ඔප්පුකරන්න.
ප්‍රධාන භාරකාරවරයාගෙන් සමුගත් අපි කෝවිලට පැමිණෙන බැතිමතුන් කිහිපදෙනෙකු සමඟ සුහද කථාබහක නියැලුනෙමු.
එහිදී කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ උදය කුමාර් කෝවිල වෙත පැමිණෙන කාරණය පිළිබඳව අපත් සමඟ මෙලෙස අදහස් පළ කළේය.
මම දැන් වසර ගණනක් කෝවිලට එනවා යනවා. මම මුලින්ම මෙහි පැමිණියේ අධ්‍යාපන කටයුතු සඳහා දෙවියන්ගෙන් පිහිට පතලා. මට ඒ පැමිණි කාරණය ඉෂ්ඨ වෙලා තිබෙනවා. ඒ නිසා මම නිරතුරුවම උදේට කෝවිලට ඇවිත් තමයි කොහේ ගියත් යන්නේ. ඇත්තටම මෙම කෝවිලේ හාස්කම් තිබෙනවා. නැත්තම් අපි ප්‍රාර්ථනා කරන දෙයක් ඉටුවෙන්නේ නැහැනේ. කෝවිලේ සියලු උත්සව සඳහාත් මම සහභාගි වෙනවා.
ලසන්ති - කැලණිය
මම දැන් මෙතැනට වසර 10ක් විතර එනවා යනවා. මගේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් තමයි මම මෙතනට පළමුවෙන්ම ආවේ. ඒ කටයුත්ත ඉටු වුණාට පස්සේ මම දැන් සතියකට එක දවසක් මට මොන වැඩ තිබුණත් මෙතනට එනවා. මේක අනුහස් තිබෙන කෝවිලක්. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා. ඒ වගේම මෙතනට වෙන භාර සියල්ලම ඒ විදියටම ඔප්පුකරලා තියනවා. ඇත්තටම දේව ආශීර්වාදය මෙහිදී ලැබෙනවා කියන එක මට විශ්වාසයි.
ලසන්ති සමඟ කළ කථාබහෙන් අනතුරුව තවත් කෝවිල වෙත පැමිණි බැතිමතෙකු සමග අප පිළිසඳරෙහි යෙදීමට මඳක් බලා සිටින්නට වූයේ ඔහු කෝවිලෙහි පුද සත්කාර පවත්වා අවසන් වනතුරුය.
වත්තල ප්‍රදේශයේ පදිංචි ඔහු නමින් සෞම්යමූර්තිය.
මම පිටකොටුවේ රෙදි බිස්නස් තමයි කරන්නේ මම ව්‍යාපාරය පටන් අරගෙන දැන් අවුරුදු 15ක් විතර වෙනවා. මගේ බිස්නස් එක පටන්ගත්ත ගමන්ම වගේ මගේ ව්‍යාපාරය කඩන් වැටුණා. මම අන්ත අසරණ වුණා. ඊට පස්සේ තමයි මම මේ කෝවිල වෙත ආවේ. කෝවිලට ඇවිත් බාරවුණාට පස්සේ මට මාසයක් දෙකක් යනකොට මම වැටිලා හිටිය තත්ත්වයෙන් ටිකක් ගොඩඑන්න පුළුවන් වුණා. අද වනවිට මම සාමාන්‍යයෙන් මගේ ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යනවා ඒ නිසා දැන් අවුවුදු 15ක් විතර මම මේ ශ්‍රී වීර මහා කාලිඅම්මාන් කෝවිල වෙත එනවා. හැමදාම උදේට කෝවිලට ඇවිත් ගිහින් තමයි මම ව්‍යාපාර කටයුතු කරන්.නේ මේ කෝවිලෙහි තිබෙන සියලුම උත්සවවලට ඕනෑම කටයුත්තකට මම සහභාගී වෙනවා.
එස් නාගරාජා - මට්ටක්කුලිය
ශ්‍රී වීර මහා කාලිඅම්මාන් කෝවිලට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මම දැන් අවුරුදු 10,12 ක් ම මේ කෝවිලට එනවා යනවා. කෝවිලේ දේවාශීර්වාදය තිබෙනවා. මගේ පවුලේ අයත් මෙතනට එනවා. සතියකට දෙපාරක් විතර මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මම මගේ දරුවන් සමඟ ඇවිත් මෙතනට භාරවෙලා තිබෙනවා. ඒ සියල්ලම ඉටුවෙලා තිබෙනවා. ඒ නිසා මගේ පවුලේ උදවියත් මෙතැනට එනවා. මමත් උදේට වගේම හවසටත් කෝවිලට ඇවිත් දේව ආශීර්වාදය අරගෙන තමයි මගේ වැඩ කටයුතු පටන් ගන්නෙත් අවසන් කරන්නෙත්.
හසිත් අංජන
සේයාරූ - සුමුදු හේවාපතිරණ