2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

මධූෂ්ගෙන් ගැලවුණු කුඩු රජ කිරුළ නවතින තැන!

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 450

මාකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් මේ වනවිට රසකතා, ගුණ වැයුම්, චෝදනා, බැණවැදීම්, කටකතා බොහෝමය. ඒවාට උත්තර දෙන්න එක පැත්තකින් මධූෂ් නැත. ඒ නිසා ඒ සියලු කතාවල ඇත්ත නැත්ත හරියටම තහවුරු කරගත නොහැක. දන්නා අයද නොකියති. එක පැත්තකින් මධූෂ්ලට බය නිසාය. තවත් පැත්තකින් පොලීසියට බය නිසාය. ඒ නිසා මධූෂ් ගැන පොලීසිය කියන දේත් ගමේ අය කනින් කොනින් කියනදේත් හැර මිනිස්සුන්ට එතනින් එහා කතා දන්නේ නැත.
මධූෂ් ගැන අබමල් රේණුවක් හෝ දන්නේ මධූෂ් ළඟ හිටිය අයමය. ඒ අයද කතා කරන්නේ නැත. එහෙත් මධූෂ්ගේ බිරිඳ වශයෙන් අවසාන කාලයේ ඔහුත් සමඟ සිටි තිලිණි මධූෂ්ගේ ඩුබායි ජීවිතේ සම්බන්ධයෙන් තොරතුරු දන්න තැනැත්තිය වුවත් ඇය පසුගියදා යූ ටියුබ් නාළිකාවකට ප්‍රකාශ ලබාදෙමින් කීවේ තමන් කිසි දෙයක් නොදන්නා බවය.

ඇය කියන පරිදි ඩුබායි රටේ පොලීසිය කියන තරම් මධූෂ්ට මුදල් නැත. එහෙත් දරුවාගේ පළමු උපන්දින සාදයට (මධූෂ් කොටුවූ සාදය) ලංකාවේ අය ගෙන්වා ගත්තෙත්, ගායකයන්ට, නළුවන්ට අනුග්‍රහය දැක්වූවෙත් තමන් බව කියයි. ඔවුන්ට එන යන ගුවන් ටිකට් පත්, හෝටල්වල නවාතැන් පහසුකම් සපයා ඇත්තේ ඔවුන්ය. එපමණක් නොව පිරිස අත්අඩංගුවට පත්වී පොලීසියේ සිටින විට ඔවුන් එක එක්කෙනාට නිදහස ලැබී ලංකාවට පිටුවහල් කරනවිට ඔවුන්ට පිටත් වීමට අවශ්‍ය මුදල් වියදම් කළේද ඔවුන් බව කියති. එසේ නම් එවැනි මුදලක් වියදම් කරමින් සල්ලි නෑ කීම එක් පැත්තකින් ඇයට සිදුවූ අමතක වීමකි. නැත්නම් ඇය හිතාමතා අමතක වීමේ ලෙඩේ ප්‍රගුණ කරමින් සිටියි. කෙසේ වෙතත් මුව හමට තඩිබාන්නා සේ අප ඇයට තඩි බෑමෙන් වැළකී සිටින්නේ තවදුරටත් මධූෂ් නීතියෙන් වැරදිකාරයෙක් නොවුණු මොහොතක මධූෂ්ගේ චෝදනා ඇයගේ කරපිට දමා ඇරියස් ඇල්ලීමේ පහත් ක්‍රමය අප බැහැර කරන නිසාය. එහෙත් ඇයට අමතක වූ සිද්ධින් කිහිපයක් අප මතක් කරදෙන්නේ ඇය එම සාකච්ඡාවේ කියන පරිදි මධූෂ්ගේ දේවල් නොදැන සිටි නිසාය.

ඩුබායි යනු ලෝක කුඩු ජාවාරමුන්ගේ පාරාදීසයි. එදා කළු සල්ලි සුදු කරගන්නට මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්, ත්‍රස්ත කල්ලි සාමාජිකයන් සිංගප්පූරුව යොදාගත්තත් අද තෝරාගන්නේ ඩුබායි රාජ්‍යයයි. ඇමරිකාවට සහ යුරෝපයට කුඩු අපනයනය කරන කුඩු ජාවාරම්කරුවන් ජීවත් වන්නේද ඩුබායි රාජ්‍යයේ බව කීවොත් ඔබ පුදුම වනු ඇත. එය ඇත්තය. එයට හේතුව නම් හෙරොයින් ජාවාරම්වල මව්බිම වන පාකිස්ථානය සමඟ ගනුදෙනු කළ හැකි එකම ආරක්ෂිත ස්ථානය මෙන්ම එම ජාවාරමේ මුදල් ආයෝජනය කළ හැකි, තැන්පත් කළ හැකි එකම ආරක්ෂිත රට වන්නේද ඩුබායි රාජ්‍ය වීම හේතුවෙනි. ඒ නිසා ඩුබායි රාජ්‍යය තුළ ජීවත් වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් සමඟ සසඳන විට මධූෂ් අබ ඇටයකි. එහෙත් ලෝක සිතියමේ පුංචි තිතක් වූ රටකට මහා පරිමාණ කුඩු ජාවාරමේ අබ ඇටයකට වුවද කළ හැකි දේ සුළු පටු නොවේ.

• මධූෂ්ට වැරදුණු තැන

මධූෂ්ට ඩුබායි කුඩු ජාලයේ පාර කියාදෙන්නේ අන්නාසි මොරිල්ය. එසේත් නැතිනම් ඩුබායි මොරිල්ය. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටකට ඩුබායි සිටිමින් කුඩු යවන විට ශරීර ඇපයක් තබා ගනු ඇත. ලංකාවේ ලොකුම ශරීර ඇපකරුව සිටියේ වෙලේ සුදාය. ඒ ශරීර ඇපයේ විශ්වාසය මත්කුඩු ලබාදෙන අතර කාලයක විශ්වාසයත් සමඟ සෘජුව ගනුදෙනු කිරීමේ හැකියාව එළඹෙනු ඇත. මොරිල්, සමින්ජාන්, සිද්ධික්, වෙලේ සුදා යන අය ඩුබායි රාජ්‍යයේ සිටි ශරීර ඇපකරුවන්ය. මධූෂ් මොරිල්ගේ ශරීර ඇපයෙන් කුඩු ගත්තත් කාලයත් සමඟ මධූෂ් සම්බන්ධයෙන් ගොඩනැගුණු විශ්වාසය මත තනිවම ගනුදෙනු කරන තැනට පත්විය. මේ නිසා මධූෂ් මොරිල්ට පවා කොකා පෙන්නුවේය. එපමණක් නොව කටමැත දොඩවන්නට විය. සරලවම කිව්වොත් මොරිල්ලාගේ කණ්ඩායම මධූෂ් හැඳින්වූයේ පණ්ඩිතයා යන නමිනි. එයට හේතුව වූයේ මධූෂ් මොරිල්ලාට පල නොකියා පලා බෙදීම නිසාය.

• යහපාලන ආණ්ඩුව මධූෂ් අත්අඩංගුවට ගැනීමේ බොරුව

මොරිල්ලා සමඟ ඇති කරගත් ගැටුමේ අවුල වුණේ මොරිල් විසින් මධූෂ්ගේ දරුවාගේ සාදයේ අභ්‍යන්තර තොරතුරු ගෙන ඩුබායි පොලීසියට ඔත්තු ලබාදීමය. ඒ මත්කුඩු භාවිත කරන බවට ලබාදුන් ඔත්තුවකි. එසේ නොමැතිව කිසිදු ජාත්‍යන්තර පොලීසියක හෝ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගනුදෙනුවකින් හෝ මධූෂ් ඇල්ලුවේ නැත. මධූෂ් ගැන ඔත්තුව දුන්නේ වෙලේ සුදා සමඟ එක්ව අන්නාසි මොරිල්ය. මේ ඔත්තුව නිසා එම ස්ථානය වැටලුවේය. ඒ බර් ඩුබායි (bur dubai) පොලීසිය විසින්ය. එහිදී මධූෂ් ඇතුළු පිරිස කොටුවුණේ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ භාවිත කිරීමේ චෝදනා මතය. මධූෂ්ගේ බිරිඳ මධූෂ් මත්ද්‍රව්‍ය භාවිත නොකරන බව කීවත් මධූෂ්ට ඩුබායිහිදී එල්ලවන චෝදනාව වන්නේ කොකේන් පානය කර ඇති බවය. එය තහවුරු වුණේ ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සිදුකරන ඉහළම පරික්ෂණ ක්‍රමවේදයක් වන හිසකෙස්වල සාම්පල ලබාගනිමිනි. එම පරීක්ෂණය Hair Follicle Drug Test නමින් හඳුන්වනු ලබයි. එහිදී මධූෂ් මත්ද්‍රව්‍ය ගෙන ඇති බව තහවුරු විය. ඒ කොකේන් ගත් බවට පොසිටිව් කරමිනි.

• පොලීසියට කොටු වූයේ 31මද?

ඩුබායි රාජ්‍යයේ මත්ද්‍රව්‍ය සමඟ කොටුවීමලෙහෙසි පහසු දෙයක් වන්නේ නැත. පළමුවර කොටුවූ අයෙක් නම් යම් සහනයක් හිමිවනු ඇත. වාසනාවට මධූෂ් සමඟ කොටුවූ සියලු දෙනාම පළමුවර ඩුබායි පොලීසියට කොටුවූ අයය. ඒ නිසා යම් සහනයක් ලැබුණේය. කෙසේ වෙතත් මෙරට මාධ්‍ය සඳහන් කළේ මධූෂ් සමඟ 31ක් කොටුවූ බවය. එය අමූලික බොරුවකි. මධූෂ් සමඟ 31 කට වඩා පිරිස කොටුවූහ. එහෙත් පොලීසිය විසින් මත්ද්‍රව්‍ය පානය සම්බන්ධයෙන් පොසිටිව් වූ පුද්ගලයන් සියල්ල බර්ඩුබායිහි රඳවා ගත් අතර අනෙක් සියල්ල නිදහස් කර යැව්වේය. මෙරට මාධ්‍ය සඳහන් කළේ රඳවාගත් පිරිස පමණි.

• මධූෂ්ගේ නීතිඥ මෙහෙයුම

මධූෂ් එරට පොලීසියට කොටුවූ දවසේ සිටම හිතුවේ එළියට යාම ලෙහෙසි බවය. ඒ නිසා මධූෂ් තමන්ට පමණක් නොව අත්අඩංගුවේ සිටි සියල්ලටම ඩුබායි නීතීඥ සහාය ලබාගත්තේය. මධූෂ්ට හැමදේටම වඩා අවශ්‍ය වී තිබුණේ තමන් නිසා අමාරුවේ වැටුණු අමල් සහ ඔහුගේ පුත් නදීමාල් කාටත් කලියෙන් නිදහස් කරගන්නටය. එතැනිනුත් නදීමාල් වැනි තරුණයකුගේ ජීවිතයට තමන් නිසා සිදුවන හානිය සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කම්පනයට පත්වී සිටි බව දැනගන්නට ඇත.
ඒ නිසා මධූෂ් 31 දෙනාටම නඩුව වෙනුවෙන් නීතිඥ සහාය ලබාගත් අතර ඒ වෙනුවෙන් වැයකළ මුදල ඩුබායි මුදලින් ඩිරාම් කෝටියකි. ඉන් පළමු අත්තිකාරම ලෙස ඩිරාම් ලක්ෂ 50ක් ලබාදී තිබුණේය. මේ නිසාම මධූෂ් සිතුවේම කාටත් කලින් ගෙදර යාමට හැකිවනු ඇති බවය.

• කංජිපානිට වැරදුණු තැන

මේ අතර ඩුබායි රාජ්‍යයේ අත් අඩංගුවට ගත් අය එකින් එක පිටුවහල් කිරීමට එරට රජය තීරණය ගත්තේය. එය ඔවුන්ගේ පළමු වැරුද්ද නිසා පිටුවහල් කිරීම පමණක් සිදුකරනු ලැබීය. කෙසේ වෙතත් එවකට රජය පැවසුවේ එය රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් බවය. එහෙත් ඇත්‍තටම එවැනි මෙහෙයුමක් නොව එය ඩුබායි රජයේ ක්‍රමය විය.

මේ අතර එකවරක කංජිපානි ඉම්රාන් ඇතුළු තිදනෙක් මෙරටට එවනු ලැබූහ. ඔවුන් සූදානම් වූයේ කටුනායකින් මාලදිවයිනට ගුවන් ටිකට්පත් ගෙන පැන යාමටය. එදා පැමිණියේ තිදෙනෙක් බව කීවත් ඇත්තටම එදා සිව්දෙනෙක් පැමිණි බවත් එසේ පැමිණි එක් අයකු මාලදිවයිනට පැනගිය බවත් අතිශය විස්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එය කුඩු පාතාලයෙත් ප්‍රසිද්ධ රහසකි. තවත් අයකු මාලදිවයින බලා පිටත්වීමට තිබු ගුවන් යානයේ සිටියදී බිමට බස්වා අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් රටකින් පිටුවහල් කිරීමේදී අදාළ ගුවන් ගමන් බලපත්‍ර ලබාදෙන්නේ ගුවන් නියමුවාටය. පසුව එම බලපත්‍ර රුගෙනවිත් ආගමන විගමන නිලධාරීන්ට ලබාදිය යුතුය. එහෙත් එදා කංජිපානි ඇතුළු පිරිස තම ගුවන් බලපත්‍රද රුගෙන මාලදිවයිනට යාමට සූදානම්ව සිටියහ. ඒ ගුවන් බලපත්‍ර කංජිපානිලාගේ අතට ගියේ කෙසේද යන්න ප්‍රශ්නයකි. සැකයකි. එසේ පැමිණි කංජිපානි ආගමන විගමන පැත්තට යායුතු වුවත් ඔහු අත් වැරදීමෙන් පැමිණියේ රේගුව පැත්තටය. ඒ නිසා අවසානයේ රේගුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඔහු කංජිපානි බව දැනගත් අතර ඒ නිසා එදා ඔහු කොටුවිය. එසේ නොවුණා නම් අද කංජිපානි මාලදිවයිනේය. එහෙත් රටේ වාසනාවට කංජිපානි කොටුවුණේය. එසේ කොටු නොවුණා නම් මධූෂ්ද අද මාලදිවයිනේ සිටිනු ඇත.

• මධූෂ් කොටු කිරීමේ මෙහෙයුම

ඉහත කී පරිදි මධූෂ් කොටුවුණේ කුඩු ජාලයේ ඇති වු අවුලක් නිසා මිස ජාත්‍යන්තර පොලිසියේ මෙහෙයුමකින්වත්, මෙරට ආරක්ෂක අංශයේ මෙහෙයුමකින්වත් නොවේ. ඒ නිසා මධූෂ් ලංකාවට එවන දවසක් පිළිබඳ තොරතුරු ආරම්භයේදී ලංකාවේ කිසිදු ආයතනයක් දැනන් හිටියේ නැත. ඔවුන් සිතුවේම මධූෂ් නිදහස් වෙයි කියාය.

කෙසේ වෙතත් කංජිපානි පැමිණීමත් සමඟ රහස් පොලීසිය අනුමාන කළේ නියත වශයෙන්ම මධූෂ්වත් මෙරටට පිටුවහල් කර ඇති බවය. ඒ සඳහා කංජිපානි සාක්ෂි ලබාදී තිබුණේය.

වහාම රහස් පොලීසිය සිදුකළේ ඩුබායි රාජ්‍යයේ සිට පැමිණෙන සියලුම ගුවන් යානාවල මගී ලැයිස්තූ කල් තියාම ලබාගැනීමය. ඒ අනුව එකින් එක පුද්ගලයන් එන බව රහස් පොලීසිය කල්තියාම දැනගත්තේය. මේ අතර හදිසියේම මාකඳුරේ මධූෂ්ද එන බව දැනගත්තේ මේ අතරය. ඒ බව එවකට රහස් පොලීසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ කීප දෙනෙක් පමණක් දන්නා රහසක් විය. අවසානයේ මධූෂ් මෙරටට පැමිණි සැනින්ම දැඩි ආරක්ෂාව මැද ඔහු අත් අඩංගුවට ගනු ලැබීය.

• මධූෂ් ලෝකෙටම ණයයි

මාකඳුරේ මධූෂ් ජාත්‍යන්තර කුඩු ජාලයේ සබඳතා හේතුවෙන් ඔහුට කාලයත් සමඟ කුඩු ණයට ලබාගැනීමට හැකිවිය. කුඩු විකුණා මුදල් ලබාදෙන තැනට පත්විය. එහෙත් මධූෂ්ගේ කුඩු විශාල වශයෙන් කොටුවීමත් සමඟ මධූෂ් කුඩු ජාලයේ ණයකාරයෙක් විය. මධූෂ් බොහෝ අවස්ථාවල පොලු තියන්නට විය. මේ නිසා ඇතැම් පාකිස්ථාන කුඩු ජාලයේ අය මධූෂ් සම්බන්ධයෙන් හොඳ හිතක් තිබුණෙ නැත. මෙහි ප්‍රයෝජන ගත්තේ වෙලේ සුදා සහ අන්නාසි මොරිල්ය. ඒ මධූෂ්ගේ කුඩුජාලය බිඳ හෙලා දැමීමටය. එය අවසානයේ සිදුකළේ මොරිල් විසින් ලබාදුන් ඔත්තුවකට අනුවය.

කෙසේ වෙතත් මේ සියලු කතා කීවේ මධූෂ් යනු කුඩු ජාලයේ ඉතාම කුඩා හාල්මැස්සකු යැයි බොහෝදෙනා පිළිගන්නා නිසාය. එහෙත් මධූෂ් යනු ලංකාවට මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන පස්දෙනාගෙන් එක් අයෙක් විය. වෙලේසුදා, මොරිල්, සිද්ධික්, සමින්ජාන් අවසානයේ මධූෂ්ය. එහෙත් මධූෂ්ගේ හඬපටයක සඳහන් කරන්නේ තමන් කිසිදිනෙක කුඩු ජාවාරමේ නිරත නොවූ බවත්, තමන් කුඩුවලට විරුද්ධව කටයුතු කරන බවත්, කිසිදා මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවත්ය. ඒ බව මධූෂ්ගේ අවසාන කාලයේ බිරිඳ ලබාදුන් සාකච්ඡාවේ පවා තහවුරු කරයි. එහෙත් මධූෂ් කොකේන් පානය කර ඇති බවට ඩුබායිහිදි තහවුරු වී තිබිණි.

කෙසේ වෙතත් දැන් රටට මධූෂ් වැඩක් නැත. එහෙත් මධූෂ්ගේ මරණය ෂා නියමයි කියන්නටද අප සුදානම් නැත. එයට හේතුව මධූෂ් ලංකාවට කුඩු ගේන ජාලයේ එක් ප්‍රධානියෙක් නම් මධූෂ්ගෙන් තවත් බොහෝ තොරතුරු ගන්නට තිබුණු නිසාය. ලංකාවේ කුඩු ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කරන දේශපාලඥයන් හඳුනාගන්නටද ඒ නිසා නොහැකී වී ගියේය. ඒ නිසා මධූෂ් නැමැති කුඩු ජාවාරකරුවා මියගියා නොව මේ රටේ කුඩුජාලයේ විශාල සාක්ෂි රුසක් මරා දැමීමක් යැයි මධූෂ්ගේ මරණය සමඟ හැඟී යයි. දැන් ඇත්තේ එක දෙයකි. මධූෂ් මළා නම් කුඩු නවතීද යන්න සොයා බැලීමය. නැත. අප දන්නා තරමින් පාකිස්ථාන කුඩු ජාලය එලෙස මේ අපායෙන් ගැලවෙන්නට දෙන්නේ නැත. ලංකාවේ මාධ්‍ය විසින් උස්සන ලොකුම පාතාලයට ඇමතුමක් ලබාදීම කුඩු ජාවාරම්කරුවන්ගේ හැටිය. ඒ නිසා දැනටමත් ඒ ඇමතුම ලැබී ඇති අය සිටිනු ඇත. එහෙත් ඒ යෝජනාව පිළිගත්තේ කවුද යන්න තවම දන්නේ නැත. එකී යෝජනාව පිළිගත් අයකු ඇත්නම් ඔහු දැනටමත් මෙරට කුඩු ජාලය මෙහෙයවන්නට පටන් ගෙන ඇත. ඒ කවුද? කොහෙද ඉන්නේ? මොනවද කරන්නේ? හෙළිවෙන තෙක් අභිරහසක්ය.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04