2021 ජනවාරි 02 වන සෙනසුරාදා

මන්නාරම් දූපත වනසන ටයිටේනියම් දඩයම

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 382

පසුගිය දෙසැම්බර් 27දා මන්නාරම නගරයේ බස් නැවතුම ඉදිරිපිටට රොක් වූ ආගමික නියෝජිතයන්, මහජන සංවිධානවල නියෝජිතයන්, කාන්තා සංවිධානවල පිරිස් ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් ලියූ විරෝධතා පුවරු රැගෙන සිටියහ. “මන්නාරමේ මහ දවල් මංකොල්ලයක්”, මන්නාරම් දූපතේ කැණීම් නතර කරනු”, “මන්නාරමේ පරිසරය රැකගැනීමට අපට අත දෙන්න”, “මන්නාරම දූපත මුහුදෙන් යටවීමෙන් බේරාගනිමු”, “ගරු ජනාධිපතිතුමනි, මන්නාරම මහ මුහුදට යටවීමෙන් බේරා දෙන්න” ආදී වැකි එම පුවරුවල සටහන් කර තිබුණි. ගිනි මද්දහනේ පැවති මේ විරෝධතාව සංවිධානය කළේ මන්නාරම පුරවැසි කමිටුව සහ මන්නාරම පරිසර ආරක්ෂණ සංවිධානයයි.

ඔවුන් මේ විරෝධතාව පැවැත්වූයේ මන්නාරම් දූපතේ ඛනිජ සම්පත් ගවේෂණයේ යෙදෙන ඕස්ට්‍රේලියන් සමාගමකට එරෙහිවය. ටයිටේනියම් සෑන්ඩ් නම් ඕස්ට්‍රේලියානු සමාගම මෙසේ කැණීම් කරන අතර නියමිත ප්‍රමාණය ඉක්මවා තුන් ගුණයක් ඔවුන් කැණීම් කරන බව පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීහු චෝදනා කරති. බහුජන සංවිධාන පවසන්නේ මේ නිසා මන්නාරම දූපතේ පරිසරයට හානි වීමට ඉඩක් ඇති බවත් එය තම ජන ජීවිතයට තර්ජනයක් බවත්ය.

අතීතයේ මුතු කිමිදීමේ කර්මාන්තය සඳහා ද ඊට පසුව කරවල නිෂ්පාදනයට හා ධීවර කර්මාන්තයට ද ප්‍රකට මන්නාරම් බොක්කේ මන්නාරම් දූපත පිහිටා තිබේ. සොබාදහමේ කදිම නිමවුමක් වන දූපත මුහුදේ ඈතට පැතිර යන විට වැලිපර දූපත් පන්තියක් බවට පත්වේ. ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ දක්වා දිවයන එය හැඳින්වෙන්නේ ආදම්ගේ පාලම නමිනි. කි.මී. 28ක් දිග කි.මී. 8ක් පළල මේ දූපත ලංකාවේ විශාලතම දූපතයි. එහි විශාලත්වය වර්ග කි.මී. 204 කි.

මෙම බිම ජෛව විවිධත්වයෙන් ද ඉහළය. මන්නාරමේ වන්කාලෙයි අභයභූමිය ජාත්‍යන්තර රැම්සාර් තෙත් බිමක් වශයෙන් නම් කළේ 2010.07.12 දාය. එහි විශාලත්වය හෙක්ටයාර් 4839කි. සංක්‍රමණික සහ ජලාශ්‍රිත පක්ෂීන්ගේ පාරාදීසයක් වන මන්නාරමට පක්ෂි පර්යටන සමයේදී ලක්ෂ ගණනක පක්ෂීහු පැමිණෙති. ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පුවත් වෙබ් අඩවියක් වන Abc News විශේෂාංග ලිපියක් පළ කරමින් සඳහන් කරන්නේ මන්නාරම් දූපතේ ඉල්මනයිට් ඛනිජය වාණිජ වශයෙන් කැණීමට ඕස්ට්‍රේලියානු සමාගමක් ඉදිරිපත්ව ඇති බවයි. එම පුවත් සේවය පවසන්නේ ද ඒ නිසා මෙහි පාරිසරික වටිනාකම අහිමිවීමට මෙන්ම දූපත් වාසීන්ගේ ජනජීවිතය ද අහිමිවීමේ අනතුරක් නිර්මාණය වී ඇති බවයි.

ඒ අනුව ටයිටේනියම් සෑන්ඩ් සමාගම වර්ෂ 2018 සිට දූපතේ ගවේෂණ කටයුතු සිදු කර තිබේ. ඔවුන් සඳහන් කරන අයුරින් වර්ෂ 30ක කාලයක් කැණීම් කිරීමට තරම් ඉල්මනයිට් ඛනිජය දූපතේ ඇත. මෙම නිධියේ 4.38%ක් ඉල්මනයිට්, රෑටයිල්, සර්කොන් වැනි බැර ඛනිජ වර්ග ද ගානට් (0.35%) නම් මැණික් වර්ගය ද සහිත වැලි ටොන් මිලියන 264.93ක් තැන්පත්ව ඇති බව ගණනය කර තිබේ.

මේ පිළිබඳව සඳහන් කරන පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ: “ලංකාවේ සමාගම් 5කට වර්ෂ 2012 දී ඛනිජ සම්පත් ගවේෂණයට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බලපත්‍ර 9ක් ලබා දී තිබෙනවා. 2014 වන විට එම ලාංකික සමාගම් තම බලපත්‍ර මුරුසියේ සමාගම් දෙකකට ලබා දෙනවා. පසුව ඕස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ් සමාගම විසින් මුරුසි සමාගම් දෙක මිලදී අරන් තිබෙනවා. ඔවුන් පවසන්නේ ඒ නිසා තමන්ට එහි කැණීම් කිරීමට අවසර ඇති බවයි. මේ දිනවල නම් ගවේෂණය සඳහා විදීම් කිරීම නතර වී තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියන් සමාගම තමන්ට ලංකාවේ ඉල්මනයිට් නිධියක් හමු වී ඇති බවට සඳහන් කර තම සමාගම් කොටස් අලෙවියටත් එය උපයෝගී කරගෙන තිබෙනවා.

මෙහිදී දූපතේ 14%ක ප්‍රමාණයක් ගවේෂණයට යොදාගෙන. ඔවුන් මීටර් 15 - 20 ක් ගැඹුරට හාරා තිබෙනවා. සාමාන්‍යයෙන් භූගත ජල මට්ටමට වඩා ගැඹුරට හෑරීමට අවසර නෑ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසන්නේ එම සමාගමට කැණීම් බලපත්‍රය අයිති නොවන බවයි. එය අදාළ සමාගම විසින්ම නැවත වරක් ලබාගත යුතු බවයි. ගවේෂණ බලපත්‍රයක් තවත් සමාගමකට පැවරීමට හැකියාවක් නෑ.” 

භූ විද්‍යා හා පතල් කාර්යාංශය පනත අනුව බලපත්‍රලාභීන් මාස හයකට වරක් ඔවුන්ගේ ගවේෂණ කටයුතු පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. නමුත් මෙම සමාගම් කිසිවක් ඔවුන්ගේ ප්‍රගති වාර්තාවල පැවරීමක් පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට දැනුම්දීමක් කර නැති බව වාර්තා වේ.

දශක තුනකට අධික කාලයක් තිස්සේ යුද්ධයෙන් බැට කෑ මන්නාරමේ ජනතාව දැන් යළිත් බියකින් පෙළෙන්නට පටන්ගෙන සිටී. ඒ මේ කැණීම් නිසා තම ධීවර කර්මාන්තයට ගොවිතැන් කටයුතුවලට සහ ජනජීවිතයට අගුලු වැටේදැයි කියාය.

ටයිටේනියම් ඔක්සයිඩ් ලබාගැනීමේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ඉල්මනයිට්ය. ඉතා වටිනා ඛනිජ ද්‍රව්‍යයක් වන ටයිටේනියම් ඔක්සයිඩ් තීන්ත, ප්ලාස්ටික් සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා භාවිත කෙරේ. ඛනිජ සම්පත් රටේ ජනතාවගේ සම්පතකි. ඒ සම්පත්වලින් සිදුවිය යුත්තේ රටේ මෙන්ම අදාළ ප්‍රදේශයේ ජනජීවිතය ඉහළ නංවාලීමයි. මහ පොළොවේ සම්පත් ලබාගැනීමේදී රජයේ මැදිහත්වීමක් ද අවශ්‍යය. නමුත් මන්නාරමේ කැණීම් ගැන භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයට පවා අවබෝධයක් නැතිවීමෙන් පෙනෙන්නේ ඒ සඳහා කිසිම රාජ්‍ය මැදිහත්වීමක් නැති බවයි.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03