2021 ජනවාරි 02 වන සෙනසුරාදා

කොවිඩ් දෙවැනි රැල්ල පාලනයෙන් ගිලිහිලාද?

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 24

කොවිඩ්-19 වසංගතය මේ වනවිටත් දෙවැනි රැල්ල පාලනය ගිලිහීමෙන් යන තත්ත්වයන් නිර්මාණය වී, රටපුරා තැනින් තැන තෙවැනි රැල්ල මතුවෙමින් පවතින බව ඇතැම්හු ප්‍රකාශ කරති. මෙලෙස කොවිඩ් තුන්වැනි රැල්ලත් පැමිණීමේ අවදානමක් නිර්මාණය වුවහොත් එය කිසිසේත්ම නතර කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ පිළිබඳව කතාකරද්දී එලෙස දෙවැනි රැල්ල පාලනයෙන් ගිලිහෙන්නත් බැහැ. ගිලිහෙන්න දෙන්නත් බැහැ. එය ගිලිහීමට නොදී තබා ගැනීම අපගේ වගකීම වෙනවා. අද වෙද්දී විවිධ පැතිවලින් මේ පිළිබඳව අදහස් දැක්වීම නිසා මෙය සමාජයේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ අතරේ මෙම කොවිඩ් ගැටලුව තව පිරිසක් දේශපාලනික ගැටලුවක් කරගෙන තිබෙනවා. තවත් පිරිසක් ආගමික ප්‍රශ්නයක් කරගත් අතර තවත් කොටසක් මෙය තම තමන්ගේ ජාතීන් අතරේ ප්‍රශ්නයක් බවට පත් කරගෙන ඉන්නවා. ඒ හැමටම ඍජුව හෝ වක්‍රව දේශපාලනික මැදිහත්වීම් කරගෙන සිටිනවා. යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
ඔහු පවසන පරිදි රජයේ වෛද්‍යවරුන්ට මෙහිදී දේශපාලනය කිරීමේ හෝ දේශපාලන බැඳීම් ඇතිකරගෙන කටයුතු කිරීමේ අයිතියක් නැත. මෙලෙස සමාජය තුළින් දෙවැනි රැල්ල ගිලිහිලාද යනුවෙන් ගැටලුව ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ දේශපාලනය මෙයට අනවශ්‍ය ලෙස මැදිහත්වීම හේතුවෙනි. බොහෝ දේශපාලනඥයෝ මෙය සමාජයෙන් ගිලිහිලාද යන ගැටලුව සමාජගත කරලීමට උත්සාහ ගනිති. එය ඔවුන්ගේ දේශපාලන වාසි උදෙසාය. නමුත් වෛද්‍ය සංගමය පවසන්නේ මෙය ගිලිහීමට නොදීමට ඔවුන් උපරිමයෙන් කටයුතු කරනා බවය.

මෙය ගිලිහී නොයෑමට දේශපාලනඥයන් විසින් අපිට සහයෝගය ලබාදිය යුතු වෙනවා. මේ සම්බන්ධව තාක්ෂණික කමිටුවක්ද සිටිනවා. ඔවුන්ගෙන් දේශපාලන වශයෙන් හෝ ඔවුන්ගේ නායකත්වය යටතේ මේ රටේ ජීවත්වන ජනතාව තුළ වැරදි ආකල්පයන් ඇති නොවීමට වගබලාගනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි මේ කරගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවුවහොත් මේ කරගෙන යන වැඩපිළිවෙළ අසාර්ථක වෙනවා. එය ලෝකයේ සංවර්ධිත රටවල් තත්ත්වයට අප රටේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන ගිය වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවයටම කරන අගෞරවයක්. යැයිද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් කීය.
පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් මෙපමණ කාලයක් රට පවත්වාගෙන ගියද සෞඛ්‍ය සේවාව සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.2 - 2 වෙන්කර තිබෙනවා. එය කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නෑ. කිසිදු දේශපාලනඥයකුට මීට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා වෙන්කරන්නට බැරිවුණා.

දේශපාලනය කළ හැමෝම බලයේ හිටියා. ඒ අතර තවත් පිරිසක් තවමත් බලයේ ඉන්නවා. ඔවුන් එන්නත් ගෙන්වීමට සූදානම් වෙනවා. නමුත් ඒ සඳහා වෙන්කළ මුදල පිළිබඳව තවමත් නිශ්චිත තීරණයක් ගෙන නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙතරම් අඩු මුදලකින් අපේ රටේ මෙතරම් සාර්ථක සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යන්නේ කෙසේදැයි විමතියට පත්වෙනවා. ඔවුන්ට අනිත් රටවල්වලටත් ආදර්ශයට ගන්න යැයි කියන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් මෙලෙස යම් ආකාරයේ සැකයක් ඇතිකරන වැඩපිළිවෙළක් දියත් වෙනවා නම් ඒක රටක් හැටියටත් හොඳක් නැහැ. වසංගතයක් පාලනය කිරීමටත් එය හොඳ නැහැ.

අද වනවිට කොවිඩ් වසංගතය මැඩ පවත්වා ගැනීම සඳහා විවිධාකාර ඖෂධ හඳුන්වා දෙමින් පවතී. ඒ ඖෂධ යම් ආකාරයෙන් නියාමනය කරනවාදැයි ගැටලු සහගත තත්ත්වයක් පවතී. එවැනි කාරණා නිවැරදිව කිරීමට රජය ක්‍රියාකළ යුතු වේ. ඒවායේ නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම ඉතා වැදගත්වේ.

කොවිඩ් වසංගතය සඳහා ඖෂධයක් සොයාගත හැක. නමුත් එය නිවැරදි විය යුතුවේ. කොවිඩ් ආසාදිතයන්ගෙන් 76 පමණ මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා සිටිති. පූර්ණ සුවය ලබා ඔවුන් නිවෙස් බලා ගොස් ඇත. එවැනි සාර්ථක ප්‍රතිඵලයක් ලබාගෙන තියෙද්දිත් ඇතැමුන්ගේ මතය වන්නේ මෙයට නිශ්චිත විසදුමක් තවමත් සොයාගෙන නොමැති බවය.

රෝගීන් දහයක් ගෙන එයින් හත් දෙනකු සුවකළ පමණින් මේ ඖෂධ සාර්ථක යැයි නිගමනය කරන්නට බැහැ. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව රෝගීන් සුවපත් කරනු ලබන්නේ සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාවට අනුවයි. නමුත් එයින් මේ රටේ වෙනත් වෛද්‍ය විද්‍යා නොමැති බව අදහස් කරන්නේ නැහැ. වෛද්‍ය සභාව ලෙස පිළිගත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව, පිළිගත හැකි වෛද්‍ය ක්‍රමයක්. ඒ කිසිම වෛද්‍ය විද්‍යාවක් අපි අගෞරවයට පත් කරන්නේ නැහැ. නමුත් බටහිර වෛද්‍යවරුන් ලෙස මෙය සාර්ථකව ඔප්පු වී ඖෂධ නියාමන අධිකාරිය හරහා ලියාපදිංචි වීමෙන් පසුව ඕනෑම ඖෂධයක් පාවිච්චි කරන්නට පුළුවන්. එහෙම නැතිව කවුරුන් හෝ කිව් පමණින් හිතුමතේට ඖෂධයක් පාවිච්චි කිරීමේ අයිතිය අපිට නැහැ. නමුත් සමස්තයක් ලෙසින් මේ රටේ නිවාරණ සෞඛ්‍ය පිළිබඳව වගකීම දරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව නිසා අපිට ඒ නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන්න සිදුවෙනවා. යැයි වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය මෙන්ම කොරෝනා වසංගතය පිළිබඳ කමිටුවක් පත්ව ඇති මොහොතක මේ සම්බන්ධයෙන් මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබිය යුතු බව ඔවුහු පවසති. වසංගත රෝගයක් පවතින කාලයේදී ජනතාව නොසන්සුන් කිරීම සාර්ථක වන්නේ නැත. එමෙන්ම මෙම වැඩපිළිවෙළේදී ජනතාවටත් යම් වගකීමක් ඇත.

ඇතැම්හු උද්ඝෝෂණ පවත්වති. තවත් සමහරුන් විවිධ ඖෂධ ලබාගැනීමට පෝලිම්වල පොරකති. ඒ සියල්ල කළ හැක්කේ දුරස්ථ බව තබා ගනිමින්, නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්වලට අනුකූලවයි. නමුත් මේ බොහෝ තැන්වලින් ඒ සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් උල්ලංඝනය වේ.

කොරෝනා පාලනය ගිලිහී යාමේදී කණ්ඩායම් තුනක් වගකීම බාරගත යුතුවේ. රජය, සෞඛ්‍ය අංශය සහ ජනතාව ඒ කාණ්ඩ තුන වේ. මේ කණ්ඩායම් තුනේම එකතුවෙන් රෝගීන් අඩුකර ගැනීමට හැකිවෙනවා. නමුත් එක් කණ්ඩායමක් යම් හෙයින් මේ පුරුකයෙන් ගිලිහී ගියහොත් සියලු පාලනය ගිලිහීයාමට පුළුවන්. මේ කාණ්ඩ තුනම එකතු වී එක ප්‍රතිපත්තියකට අනුව ගමන් කළහොත් අපිට දිනන්නට පුළුවන් වෙනවා. එසේ නොවුණොත්, කාණ්ඩ තුන, මාර්ග තුනක ගමන් කළහොත් හෙට දවස අපිට විඳවන්නට වේවි. ඒ නිසා සෞඛ්‍ය සේවාව මේ කාණ්ඩ තුනේ මැද සිට මෙය එකට එකතු කරන්නට විශාල වෑයමක් ගන්නවා. එය මේ වනවිට යම් විදිහකින් සාර්ථක වී තිබෙනවා. අසාර්ථක වුණු අවස්ථාත් නැතිවාම නොවේ.
සමහර අවමංගල්‍ය උත්සව අපිට නවත්වගන්න බැරිවුණා. සමහරු පෙළපාලි ගියා. හිරකරුවන් නිදහස් කරන්නැයි සමහරු උද්ඝෝෂණ කළා. මේ සියල්ල කළත් අපිට තවමත් මේ රටේ පාසල් විවෘත කරන්නට නොහැකි වුණා. ඒ මේ රටේ දරුවන්ගේ අනාගතය. තවමත් පාසල් විවෘත නොවුණ රටක උද්ඝෝෂණ, පෙළපාලි, එකතුවීම් හොඳදැයි සිතාබැලීම මේ රටේ හැම පුරවැසියකුගේම වගකීමක්. මේ සියල්ලේම හැම පුරවැසියකුටම අයිතියක් තිබෙනවා. එබැවින් මේ පාලනය ගිලිහෙන්නට නොදී සිටීම අපේ වගකීමක්. ඒකට අපි උපරිමයෙන්ම මහන්සි වෙනවා. ඒ සඳහා අනිත් පාර්ශ්වවලත් සහයෝගය ලැබිය යුතුමයි. ඒ වගකීම මේ රටේ හැම පුරවැසියකුම සතුයි. යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
 
 දිශානි ජයමාලි කරුණාරත්න