2021 ජනවාරි 02 වන සෙනසුරාදා

බොල්ගොල්ලට කන්ද: වෑමැඩිල්ලට ගල්තලාව: ඔන්ලයින් සිග්නල් හොයන දූදරුවෝ

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

අධ්‍යාපනය අපේ දරු පරපුර වෙනුවෙන් ලබාදියයුතු උතුම්ම දායාදය වුවද අවාසනාවකට මෙන් කොවිඩ් 19 වසංගතය හමුවේ හරියාකාරව පෙර පාසල්, පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන තවමත් පවතින්නේ වසා දැමූ ස්වරූපයෙන්මය. අන්තර්ජාලය ඔස්සේ පාඨමාලා හැදෑරීම ඉගැන්වීම් හා අධ්‍යාපනය ලැබීම හරහා ලෝකය නව අධ්‍යාපන රටාවකින් සන්නද්ධව තිබේ. නමුත් ඩිජිටල්කරණ අධ්‍යාපනය මෙරටට ආගන්තුක නිසා අපේ දරුවන්ට පවතින්නේ අභියෝගයකි

යම් පමණකට එය අලුත් වුවත් අපේ දරුවන්ට ඊට යහමින් අනුවර්තනය විය හැකිය. නව පරපුර එතරම් දැනුමින් යාවත්කාලීනය. ඊට එරෙහිව ඇති එකම අඩුපාඩුව රට වටා විහිදී දුරකතන සංඥා හෙවත් සන්නිවේදන පහසුකම් නොමැතිකමය. එහෙත් ජංගම දුරකතනවල කෙටි පණිවුඩ හරහාත් ගුවන්විදුලිය රෑපවාහිනිය හා පුවත්පත් මෙන්ම අන්තර්ජාලය ඔස්සේද ප්‍රවර්ධනය කරන අන්තර්ජාල පහසුකම් පිළිබඳව දැන්වීම් අනන්තය. එසේ වුවද ගමේ දරුවන්ට ඉගෙනීමට අවශ්‍ය දුරකතන සංඥා සෙවීමත් අසීරුය.
කොවිඩි වසංගතය හේතුවෙන්  පාසල් අධ්‍යාපනය විශාල බිඳවැටීමකට ලක්ව තිබේ. විශේෂයෙන් මෙම තත්වයෙන් වැඩි පීඩාවකට ලක්ව ඇත්තේ කඩඉම් විභාගවලට සුදානම් වන දරුවන්ය. නගරාසන්න පාසල්වල ගරුභවතුන් මෙම ගැටලුව හමුවේ තම සිසුන් වෙනුවෙන් ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදුකළද ඈත ගම්බද පාසල්වල දරුවෝ විවිධ හේතුන් නිසා මෙම ප්‍රශ්නය හමුවේ අසරණව සිටිති.

දිවයිනේ පළාත් රුසක මෙම ගැටලුව ඇතත් වාර්තා වන්නේ ස්වල්පයකි. ඒ අතර පසුගියදා මොණරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පගුර බොල්ගල්ල ගම්මානය, මොණරාගල නගරයට වඩා විශාල දුරකින් පිහිටා නැතත්, පහසුකම් අඩු ග්‍රාමීය ප්‍රදේශයකි .මෙම දරුවන්ටද මේ දිනවල ඔවුන් ඉගෙනගන්නා පාසල්වල ගුරුවරුන් ඔන්ලයින් ක්‍රමයට විෂයන් ඉගැන්වීම් සිදුකළද එම ප්‍රදේශයේ කිසිදු දුරකථනයක් සඳහා සංඥා පහසුකම් නොලැබෙන නිසා එම දරුවන් මුහුණ දී ඇත්තේ දැඩි පීඩාවකටය.දෙමව්පියන් පවසන්නේ මේ හේතුවෙන් දරුවන් පංති පැවැත්වෙන දිනවලදී ගම්මානයේ සිට කිලෝමීටර් ගණන් ඇවිදිමින් දුරකථන සංඥා ලැබෙන ස්ථාන සොයා අනාරක්ෂිත ලෙස ඇවිද යන බවය.

මේ ආකාරයට ගමේ දරුවන් දුරකතන සංඥා සොයමින් ගස් ගල් කඳු උඩ යාම අවදානම් තත්ත්වයකි. එසේ වුවද මේ දරුවන් තම ගම්මානයට දුරකතන සංඥා ලැබෙන එකම ස්ථානය වු බොල්ගල්ල ගම්මානයේ මැද කැලෑබදව පිහිටි මහපුදාන ගල්තලාවට වී ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලැබීමට උත්සාහ කරති. ඇතැම්විට දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ වැඩිහිටි සහෝදර සහෝදරියෝ මේ ගමනට එක්වෙති. එසේ සිය බාල සහෝදරයාගේ තනියට යන එන දිලිනි අනුත්තරා මෙසේ පවසන්නීය.

අපි ඉන්නේ මඩුල්ල පගුර බොල්ගොල්ල කියන ගමේ. මෙහෙ ඉඳලා මොණරාගලට වුණත් ලොකු දුරක් නෑ. කොවිඩ් නිසා ඉස්කෝලෙ යන්නත් නෑ. ඔන්ලයින් ඉගැන්වූවාට අපේ ගමේ ළමයින්ට ඒකට අවස්ථාව නෑ. මේ පළාතට සිග්නල් නෑ. ගෙවල්වලට කිලෝමීටර් 3ක් විතර දුරින් කන්දක් තියෙනවා. අපේ මල්ලියි ගමේ ළමයි හැමෝමයි එතෙන්ට එනව සිග්නල් හොයාගෙන. එතනට ආවත් හරි අමාරුයි වැඩ කරගන්න. කැලේ මැද අව්ව වැස්ස වගේම සත්තු එහෙමත් ඉන්නවානේ. ඉතින් කාට හරි තනියට එන්නත් වෙනවා. අපිට කෝල් ගන්නත් හරියට සිග්නල් නෑ. අපේ ගමේ ළමයි වෙනුවෙන් මේ සිග්නල් කනෙක්ෂන් එක ලබාදීමට බලධාරීන්ගේ අවධානය යොමුකරනවා නම් ලොකු පිනක්.

මේ අතර මාතලේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන පහක පාසල් දරුවන් දෙදහසකට ආසන්න පිරිසකට දුරකතන සංඥා හෝ අන්තර්ජාල පහසුකම් නොමැතිවීමෙන් ඔන්ලයින් ක්‍රමය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ හැකියාව අහිමි වී ඇති බව ඔවුන්ගේ මවුපියෝ පවසති. නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මේල්පිටිය, මුරුතෝළුව, නිකුළ, බිබිල හා උස්වෑත්තෑව යන ගම්මානවල පදිංචි පාසල් දරුවෝ දෙදහසක් පමණ මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ පාසල්වල අධ්‍යාපනය ලබති. මේගම්මානවල නිසි දුරකතන පහසුකම් නැත. ප්‍රදේශයට දුරකත සංඥා පවතින්නේ වෑමැඩිල්ල ජලාශය අසල පිහිටි ගල් තලාවට පමණය. ඒ සඳහා කිලෝමීටර් 3ක් 4ක් පමණ දුරක් ගෙවා ගමන් කිරිමට මේ දරුවන්ට සිදුව ඇති බවත්, ඒ සඳහාද වැඩිහිටියන්ගේ සහාය ලබාගැනීම අනවාර්යය කරුණක් වී ඇතැයි පාසල් දරුවෝ කියා සිටිති. එහෙත් කොවිඩ් වසංගතය හමුවේ කරන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය යටතේ අලුයම් කාලයේ සහ රාත්‍රියේදී ඉගැන්වීම් සිදුවන බවත්, රාත්‍රියේ වෑමැඩිල්ල ජලාශය අසල පිහිටි ගල් තලාවට නොයෑම හේතුවෙන් තමන්ට දෛනිකව පාඩම් ප්‍රමාණයක් අහිමි වන බවත් පාසල් දරුවෝ කියා සිටිති.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ බොහෝ දෙමාව්පියන් කියා සිටියේ මෙම ගම්මානවල වැඩි පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන බවයි. ස්මාට් ජංගම දුරකතන පවා බොහෝ පිරිසකට නොමැති බවත් ඇතැම් අවස්ථාවල කිලෝමීර් 6ක් පමණ දුරින් පිහිටි නාඋල නගරයේ සෙසු පාසල් දරුවන්ගේ නිවෙස් වෙත සිය දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා යැවීමට සිදුවන බවත් ඔවුහු කියා සිටියහ. කෙසේ හෝ දැනට පවත්නා අධික වර්ෂා තත්ත්වය හමුවේ වූවද අධ්‍යාපනය වෙනුවෙන් සිය දරුවන් රුගෙන වෑමැඩිල්ල ජලාශය ආසන්නයේ පිහිටි ගල් තලාව වෙත පැමිණීමට මෙකී ගම්මානවල දෙමව්පියෝ කටයුතු කරති. මේ අතර එම ස්ථානය පාසල් දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තරම් සුදුසු ස්ථානයක් නොවන බව කියා සිටි දෙමව්පියන් පවසන්නේ සංඥා පවතින ගල්තලාවට පෙම්වතුන් නිතර නිතර පැමිණෙන බවය. ඔවුන්ගේ අනිසි හැසිරීම් අභියස ගමේ දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය හැදැරීම් සිදුකිරීම කණගාටුදායක තත්ත්වයක් බවද දෙමව්පියෝ අවධාරණය කරති.

මේ ආකාරයට කළුතර, පාලින්දනුවර කෙළින්කන්ද  ප්‍රදේශයේ දුරකතන සංඥා නොමැතිකමින් එකී ප්‍රදේශයේ දරු දැරියන් ගස් ගල්වලට හා උස් ස්ථානවලට නැග අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටින බව මාධ්‍යවල පළවීමෙන් පසුව එම ප්‍රදේශයට සංඥා පුළුල් කිරීමට වැඩපිළිවෙළක් සකස් විය. මේ ආකාරයට රටපුරා තවත් ප්‍රදේශ රුසක දුවාදරුවෝ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හමුවේ අසරණ වී සිටිති.

මේ ගැටලු සියල්ල අන්තර්ජාල පහසුකම් සඳහා සංඥා නොමැතිවීමය. එබැවින් පවතින තත්ත්වය අවබෝධ කොටගෙන දුරකතන සංඥා නොමැති ප්‍රදේශ පිළිබදව සොයා බලා ඒ වෙත වගකිවයුතු බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුකළ යුතුය.

කතාව: සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා සහ සේයාරෑ නාඋල - ඉන්දික අරුණ කුමාර සහ මොණරාගල නයනජීව බණ්ඩාර

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03