ගෝලීය වසංගතයක් වන කොවිඩ් 19 වසංගතයත් සමඟ අද වනවිට ලෝකයේම බොහෝ රටවල්වලට විශාල බලපෑම් රැසක් ඇතිව තිබේ. සමස්ත ලෝකයටම මුහුණදීමට සිදුවූ මේ අනපේක්ෂිත අත්දැකීම අද වනවිට ලොවපුරා රටවල සියලු ක්ෂේත්‍රයන් කඩා වැටීමට තරම් බරපතළ බලපෑමක් සිදුකර ඇත. ඒ ගෝලීය වසංගතයට සාර්ථකව මුහුණ දීමට නොහැකි වූ ලෝකයේ බලවත් රටවල් විශාල ලෙස කඩා වැටෙද්දී මේ වසංගතයට සාර්ථකව මුහුණදීමට අපිට හැකි විය. එහෙත් වසංගතය මර්දනය කළද ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවේද විශාල ආර්ථික කඩාවැටීමක් සිදු විය. කොවිඩ් 19 සඳහා පිළියමක් මේ දක්වා නොමැති නිසා ඒ සමඟම ජීවත් වීමට මුළු ලෝකයටම සිදුව තිබේ. මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් ඒ සඳහා සූදානම් වන බැවින් රටක් ලෙස අපද යථා තත්ත්වයට පත් විය යුතුය.
ලෝකයේ බොහෝ රටවල්වලට මෙන්ම මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අතර සංචාරක ව්‍යපාරය ප්‍රමුඛ වෙයි. විදේශ විනිමය ලැබෙන සියලු මාර්ග මේ වනවිට රටට අහිමි වී ඇතත් ඉතා කෙටිකලකදි ඕනෑම රටකට යළිත් විදෙස් විනිමය ඉපැයීමේ පහසුම මඟ සංචාරක කර්මාන්තයයි. මේ වනවිට සංචාරක ව්‍යපාරයෙන් ලැබෙන මුදල් සහමුලින්ම නතර වී ඇති අතර එය නැවත ගොඩනැඟිය යුතු බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වේ.
මාස නවයකට පසු සංචාරක කර්මාන්තය නැවතත් ආරම්භ විය. එය සටහන් වූයේ යුක්රේන සංචාරක කණ්ඩායමක් මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීමත් සමඟය. සංචාරකයන්ට රට විවෘත කිරීම දීර්ඝ සංවාදයකින් පසු ගනු ලැබූ වැදගත් තීරණයකි. රට වැසීමට නොව, ඇරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. සංචාරක කටයුතු පිළිබඳ වගකීම හිමි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දෙන අන්දමට විදේශීය සංචාරකයන්ට අපේ සමාජය හා මිශ්‍රණයකට ඉඩක් දෙන්නේ නැත. එලෙසම අපේ සමාජයට විදේශීය සංචාරකයන් කැටුව සමීප සබඳතා පැවැත්වීමට ඉඩක් දෙන්නේද නැත. විදේශීය සංචාරකයන් සෞඛ්‍ය පිළිවෙත් ගණනාවකට යටත්ව සිය සංචාරයන් නිමකළ යුතුය.
අමාත්‍යවරයා පැහැදිලි කරන අන්දමට මෙය නියාමන වැඩසටහනකි. ජනවාරි දහය දක්වා එය ක්‍රියාත්මකය. රටවල් ගණනාවක නියෝජිතයන් සමඟ සාකච්ඡාකොට වැඩසටහන සකස් කර තිබේ. ඒ අනුව රටවල් කිහිපයක සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරයට මේ වනවිටත් එකඟතාව පළකර ඇත. එය සංචාරක ක්ෂේත්‍රයේ ජයග්‍රහණයක් ලෙස සටහන් කර තැබිය යුතුය. ශ්‍රී ලංකාව 1930 ගණන්වල සිට සංචාරක ක්ෂේත්‍රය ගැන උනන්දු වන අතර, එය දේශීය ආර්ථිකයට විශාල ශක්තියක් ලෙස පවතී. සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව සිය ජීවනෝපාය සකස් කරගන්නා පිරිස දස ලක්ෂ තුනකට වැඩිය. පසුගිය කාලය තුළ සංචාරක ක්ෂේත්‍රය 70කින් ඇදවැටුණු අතර, එමඟින් ආර්ථිකයට ඇති වූ බලපෑම අතිමහත්ය. සංචාරක හෝටල් වසා දමන තත්ත්වයක්ද ඇති විය.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපදවා ගත හැකි ප්‍රධාන මාර්ගයක් ලෙසද සංචාරක කර්මාන්තය දියුණු කළ හැකිය. 1930 ගණන්වල ආරම්භ වූ මෙරට විදේශීය සංචාරක කර්මාන්තය 1960 ගණන් වන විට විධිමත් ආර්ථික ක්ෂේත්‍රයක් හැටියට වර්ධනය වෙමින් පැවතිණි. 1970 ගණන්වලදී එය තවදුරටත් වර්ධනය විය. 1980 ගණන්වල හා 2000 ගණන්වල රටේ පැවැති සිවිල් යුද්ධය නිසා සංචාරක කර්මාන්තය දුර්වල විය. එහෙත් 2009න් පසු එය නැවත වර්ධනය විය. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙසද එය පැවතිණි. නැවත එය දුර්වල වන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය හා කොවිඩ් වසංගතය නිසාය. ලෝක සංචාරක කර්මාන්තය කොවිඩ් නිසා ඇදවැටී තිබුණද යළි එය නඟා සිටුවිය හැකිය.
ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා
අපි සංචාරක ක්ෂේත්‍රයේ ඉතාමත් බරපතළ තත්ත්වයක ඉන්නේ. වසංගතය හේතුවෙන් ගුවන් තොටුපළ වසාදැමීම සමඟ සංචාරක සමාගම් එක්ක අපිට කිසිදු ආකාරයක ආයෝජනයක් සිදුකරගත නොහැකි වුණා. එහෙත් අපි සේවකයන්ට දිගින් දිගටම වැටුප් ගෙවීම සිදුකරගෙන යනු ලැබුවා මේ නිසා අපි ඉතාම දුෂ්කර තත්ත්වයක ඉන්නේ. රජයෙන් ඉල්ලනවා කඩිනමින් පොලී රහිතව හෝ සහන පොලී අනුපාතයක් යටතේ මාස හයක ණයක් ලබාදෙන්න කියලා. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණාට තාම වැඩසටහන ක්‍රියාත්මක වෙලා නෑ. ආදායමක් නැතුව සේවක වැටුප් ගෙවීම දිගටම සිදුකරගෙන යා නොහැකි කටයුත්තක්. දැනට තිබෙන ලොකුම ප්‍රශ්නය වැටුප් ගෙවීම. ඇතැම් හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීම හරහා යම් ආදායමක් ලබනවා. වැටුප් ගෙවීම වෙනුවෙන්. කෙසේ නමුත් රජය දැනට අපි ලබාගත් ණයගෙවීම තාවකාලිකව අත්හිටුවලා විදුලි බිල් ආදිය ගෙවීම ආදියට සහනයක් ලබාදීලා තිබෙනවා. ඒක ලොකු දෙයක් මේ අවස්ථාවේදී. අපි බලාපොරොත්තු වෙනවා ඒ පහසුකම් තවදුරටත් දීර්ඝ කරයි කියලා. නමුත් දැන් මේ වනවිට රජය සංචාරකයන් ගෙන්වන වැඩපිළිවෙළ පටන් අරන් තියනවා. ඒක ඉතාම හොඳයි. අපි බලාපොරොත්තු වෙනවා වත්මන් රජය මේ සංචාරකයන් ගෙන්වන වැඩපිළිවෙළ නිසි ක්‍රමවේදයකට සකසයි කියලා.
සංචාරක රියදුරු, මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති චන්දිම ජයවීර
අපි ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණපාල ඉන්නේ. සංචාරක කර්මාන්තයේ නියුතු මාර්ග උපදේශකයන් සහ රියදුරන් වශයෙන් අපි වෙනත් කර්මාන්තයක් ඉගෙන තිබුණේ නෑ. මේක තමා අපි දන්න එකම දේ. මේ කර්මාන්තයයේ අවුරුදු විසිපහක් තිහක් නිරතවුණු අය ඉන්නවා. ගොඩක් දෙනකුට වෙන දෙයකට යොමුවෙන්න බෑ. දැන් රජය ආරක්ෂිත වැඩපිළිවෙළ යටතේ නැවත සංචාරකයන් සදහා දොරටු විවර කරලා තිබෙනවා. ඇත්තටම එය හොඳ දෙයක්. එහෙම වුණේ නැත්නම් අපිට විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි
මාස නමයකට පමණ පසු අපි සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරලා තියනවා. ඒ වගේම මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස තමයි අපි ආරම්භ කළේ. මෙම කාලය තුළ සංචාරකයන් දසකට වැඩි පිරිසක් පැමිණෙනු ඇති බවට අපි විශ්වාස කරනවා ඒ වගේම මෙම මස 21 වැනිදායින් පසුව සාමාන්‍ය තත්ත්වය යටතේ සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමටත් අපි සැලසුම් සකස් කරගෙන යනවා.
සටහන: හසිත් අංජන