කොරෝනා වසංගතය ගෝලීය වසංගත තත්වයක් බව සියලු දෙනා පිළිගන්නා කරුණකි. 2012 ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ විශ්ලේෂණයට අනුව මෙරට අවුරුදු 60 ට වඩා වැඩි වැඩිහිටියන් ලක්ෂ 25 ක් ජීවත් වූ අතර එය මේ වනවිට ලක්ෂ 31 දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා ප්‍රකාශ කර සිටී. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 16.4ක් පමණ වේ. මෙයින් බහුතර වැඩිහිටියන් පිරිසක් බෝ නොවන රෝග නිසා පීඩාවට පත්ව සිටිති. ඒ සඳහා ප්‍රතිකාර ලබා ගනිති. කොරෝනා වසංගතය නිසා මියගිය අතිශය බහුතරයක්ද මේ බෝ නොවන එක් රෝගයක් හෝ වැඩි ප්‍රමාණයකින් පීඩා විඳි වැඩිහිටියන් වේ. අද වනවිට මෙරට වාර්තා වී ඇති කොරෝනා මරණ 185 අතරින් බහුතරයක් අවුරුදු 60 ට ඉක්මවූ වැඩිහිටියන් වේ. සූක්ෂමව මෙය විශ්ලේෂණය නොකළද ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම මෙරට වෛද්‍ය අංශ ප්‍රකාශ කළ ආකාරයට කොරෝනා වසංගතය දැඩි බලපෑමක් සිදුකරමින් සිටින්නේ ලොව ගොඩනැගූ අපගේ ආදරණීය මව්පියන් වෙතට බව තවදුරටත් රහසක් නොවේ. එසේ හෙයින් ලොව කෙසේ වෙතත් මෙරට වැඩිහිටියන් මෙම රෝගයට ගොදුරු වීම නවතා එමඟින් මියයාම් අවම කර ගැනීම උදෙසා රජය මඟින් සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය පළමු කොරෝනා රුල්ල මර්ධනයට සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළ ශ්‍රී ලාංකික වැඩිහිටියන්ටද සුරක්ෂිත දිවියක් උදාවිය.
අවුරුදු 70 ඉක්ම වූ වැඩිහිටියන් සියලු දෙනාටම රුපියල් 5000 බැගින් නිවෙස් වෙතටම ගොස් ලබාදීමට රජය ක්‍රියා කළ අතර එමඟින් වැඩිහිටියන් සමාජය වෙත නිරාවරණය වීම නැවතුණි. මේ නිසා පසුගිය කොරෝනා රැල්ල තුළදී රෝගයට ගොදුරු නොවූ අතර එමඟින් මියගිය වැඩිහිටියන් ප්‍රමාණය අවම විය. එසේම මෙරට පවත්නා 324ක් පමණ වන රාජ්‍ය හා පෞද්ගලික සියලු වැඩිහිටි නිවාස ආරක්ෂා කිරීම සඳහාද සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියා කළේය. ඒ සඳහා නියාමනයන් ඉදිරිපත් කරමින් ගොවීන්ගෙන් ලබාගන්නා ලද එළවළු වර්ග සෘජුවම වැඩිහිටි නිවාස වෙත ලබා දෙමින් වැඩිහිටි නිවාස ගත 1ක් වන මෙරට වැඩිහිටියන් ආරක්ෂා කිරීමට රජය මැදිහත් විය. එහෙත් දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වූ ඔක්තෝබර් මස සිට මේ දක්වා වැඩිහිටි නිවාස ගත වැඩිහිටියන් තබා මෙරට සමස්ථ වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට රජය කිසිදු දායකත්වයක් සපයා නොමැත. එනිසාම මේ වනවිට වැඩිහිටි නිවාස ගත වැඩිහිටියන් සිව්දෙනෙකු ද ඇතුළුව මෙරට සිදු වූ කොරෝනා මරණ වලින් බහුතරයක් වැඩිහිටියන් බවට පත්වී ඇත. ජාතිය, ආගම, කුලය, කුමක් වුවත් මේ මිය යන්නේ මෙරට අනාගතය ගොඩනැගීම වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය කැපකළ වැඩිහිටියන් වීම කණගාටුවට කරුණකි.
ජනගහනය වියපත්වීම ගැටලුවක් බව 1982 දී හඳුනාගන්නා ලෝක සංවිධානය එක්ව වැඩිහිටියන් වෙනුවෙන් යම් ආරක්ෂිත වැඩපිළිවෙළක් ගොඩනැගිය යුතු බව ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර දී ප්‍රකාශයට පත්කරන ලද වාර්තාව මඟින් (MIPA) මෙරට පාලකයින්ට පෙන්වා දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2000 අංක 09 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙරට වැඩිහිටි ජනගහනයේ පැන නඟින ගැටලු හා ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීම උදෙසාත්, වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික පනතක් මෙන්ම එහි කාර්යයන් ඉටු කිරීම උදෙසා ජාතික මහ ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ක්‍රියා කරන ලදී. මුල් අවධියේදී ඒ සඳහා ජාතික සභාවක් පිහිටුවීමේදී පනතේ අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණුවා ගත හැකි නියෝජිතයින් පිරිසක් ඒ සඳහා නම් කිරීමට විෂයය භාර අමාත්‍යවරයා ක්‍රියා කළ අතර එය අනුමත කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. එසේ වුවද වත්මන් ජාතික වැඩිහිටි සභාව තුළ එම තත්ත්වය දක්නට නැත.
වැඩිහිටි විෂයය සම්බන්ධයෙන් ලොව පිළිගත් අධ්‍යාපනඥයින්, පරිපාලනවේදීන්, වෛද්‍යවරුන් බෙහොමයක් සිටියදී මෙවර ජාතික සභාවේ සංයුතිය සැලකීමේදී සාමාජිකයින් තිදෙනෙකු හැර ඉතිරි සියලු දෙනා සපුරා ඇති සුදුසුකම් කුමක්ද යන්න අපට මෙන්ම ඒ සඳහා උනන්දුවන සියලුදෙනාට ගැටලුවක් වී ඇත. මෙම ජාතික සභාව පළමු කොරෝනා රැල්ල අවස්ථාවේදී ද සිය නිවෙස් තුළටම වී තමන්ගේ වැඩක් කරගෙන සිටි අතර ප්‍රශ්නය උග්‍ර වී ඇති මේ අවස්ථාවේදී ද ඒ අන්දමින් ක්‍රියා කරමින් සිටී. ලියුම්කරුට අනුව නම් අදාළ ජාතික සභාව මේ අවස්ථාවේදී කළ යුතුව ඇත්තේ මෙරට වැඩිහිටියන් ආරක්ෂා කිරීම උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව රජය හා මහජනතාව දැනුවත් කිරීම වුවද මේ වන තෙක් කිසිදු අවස්ථාවකදී ඒ සඳහා මැදිහත් වී නොමැත.
වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව එසේ ක්‍රියා කරද්දී එහි කාර්යය භාර්යය ඉටු කිරීම සඳහා පිහිටුවා ඇති ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ක්‍රියා කලාපයද එයට නොදෙවෙනි වී ඇත. කොරෝනා පළමු රැල්ල අවස්ථාවේදී ජනාධිපතිතුමන්ගේ හා ආර්ථික කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ සුභසාධන ක්‍රියාවලියට සිය දායකත්වය ලබාදීමට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට සිදුවිය.
එසේ වුවත් මහ මැතිවරණයෙන් පසු මෙරට බොහෝ වැඩිහිටි විෂයය ළබැඳියන් බලාපොරොත්තු තැබූ පරිදි අදාල විෂයය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පත් කිරීමට රජය ක්‍රියා කළද එය ඟගට කැපූ ඉණි විය. අදාල විෂයය තම විෂයය පථයට යටත් කළේ කුමන යෝජනාවක් නිසාද යන්න විෂයය භාර අමත්‍යවරයාට හෝ අමාත්‍යාංශ බලධරයන්ට හැඟීමක් නොවීය. අද වනතුරුද ඒ සඳහා පිළිතුරක් ඔවුනට නොමැත. එය නිවැරදි කර ගැනීමේ උවමනාවක් ද එම අයට නොමැති බව ලියුම්කරුගේ හැඟීමයි. රටක වියපත්භාවය වැඩිවීමේ මුලික හේතුව එරට සෞඛ්‍ය අංශයේ පවත්නා ආංශික දියුණුව වේ. එසේ වුවත් මෙරට විෂයභාර ඇමතිවරයා හෝ ලේකම්වරයා එය තේරුම් ගෙන නොමැත.
දෙවැනි කොරෝනා රුල්ල ඇති වී මේ වන විට මාස 05කට ආසන්න කාලයක් ගතවුවද වැඩිහිටියන් වෙනුවෙන් ඇඟට දැනෙන කාර්යයක් ඉටුකිරීමට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය ක්‍රියාකර නැත. 2020.10.27 දිනැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් තරුණ, වැඩිහිටි හා ආබාධිත වැඩසටහන් පිළිබඳ ඒකක විසින් සකස් කරන ලද වැඩිහිටි නිවාස සම්බන්ධ මාර්ගෝපදේශ මාලාවක් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකර ඇති අතර සති ගණනාවකට පසුව ආවරණ ලිපියක් පමණක් යොදා දිස්ත්‍රික් ලේකම්වරුන් හා පළාත් සමාජ සේවා අධ්‍යක්ෂවරුන් වෙත බෝලය පාස් කිරීමට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ප්‍රධානීන් ක්‍රියා කර ඇත. මෙම මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව වැඩිහිටියන්ගේ ශරීර උෂ්ණත්වය පැය 24කට වරක් පරීක්ෂා කිරීම අනිවාර්යය කර තිබුණද ලංකාව පුරා විසිරී ඇති වැඩිහිටි නිවාස වෙත අදාළ උපකරණ ලබා දීමට හෝ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය කටයුතු කර නැත. අවම තරමින් පොදු වැඩිහිටියා කෙසේ වෙතත් මේ වනවිට තම ආදරණීයයන්ගෙන් වෙන් වී කා විසින් හෝ පවත්වා ගෙන යනු ලබන වැඩිහිටි නිවාසයක දිවි ගෙවන වැඩිහිටියන් වෙනුවෙන් එක් කෑම වේලක් හෝ ලබාදීමට ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මේ දෙවැනි කොරෝනා රුල්ලේ දී ක්‍රියා කර නොමැත.
මෙරට සිදුවූ පළමු වැඩිහිටි නිවාසගත කොරෝනා මරණය පසු ගිය දිනක රාජගිරියේ පිහිටා ඇති Salvation Army නිවාසය තුලින් වාර්තා වීමෙන් පසු මෙම ලියුම්කරු විසින් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය ඇමතුවද ඒ සම්බන්ධව හෝ වැඩිහිටියන් සම්බන්ධයෙන් මේ වන විට සිදුකරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවම දැනුවත් කිරීමක් හෝ කිරීමට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අසමත් විය. ඉන් අනතුරුවද කිහිප වතාවක් අධ්‍යක්ෂවරයා හෝ වගකිය යුතු නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඒ කිසිදු අවස්ථාවක වග කිවයුතු කිසිදු නිලධාරියෙකු සම්බන්ධකර ගැනීමට අවස්ථාවක් නොලැබිණ. තත්වය එසේ තිබිය දී 2020.12.21 දින වන විට මට්ටක්කුලිය මෝදර පිහිටි ශාන්ති වැඩිහිටි නිවාසයෙන් නැවතත් කොරෝනා රෝගීන් පිරිසක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු දැනගැනීම උදෙසා කිහිපවිටක් උත්සාහ කිරීමෙන් අනතුරුව අවස්ථාවක් උදා වුවත් ඒ අවස්ථාවේදීද තමන් රුස්වීමකට සහභාගි වි සිටින බව සදහන් කරමින් දුරකථනය විසන්ධි කිරීමට මහලේකම් කාර්යාලයීය අධ්‍යක්ෂවරයා ක්‍රියා කළේය.
2020/12/23 දින නැවත වතාවක් ජා ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් මාපිය සෙවන වැඩිහිටි නිවාසයෙන් කොරෝනා රෝගි වැඩිහිටියන් කිහිපදෙනෙකු වාර්තා වූ පසු ඒ සම්බන්ධයෙන් අප විමසනවිටත් මහලේකම් කාර්යාල කිසිදු නිලධාරියෙකු ඒ පිළිබදව දැනුවත් වී නොතිබිණි. පුද්ගලික අයෙකු විසින් කුලී පදනම මත ලබාගන්නා ලද තාවකාලික ස්ථාන කිහිපයක් උපයෝගී කරගනිමින් මාපිය සෙවණ නමින් වැඩිහිටි නිවාස ජාලයක් පවත්වාගෙන යන අතර ඔහු විසින් මෙම වසර තුළ අවස්ථා 03කදී ස්ථාන මාරු කරන ලදී. මේ වන විට අවුරුදු 3ක් කුලී පදනමට ලබාගන්නා ලද ස්ථානයක උක්ත කොරෝනා රෝගීන් සහිත වැඩිහිටි නිවාසය පවත්වාගෙන යනු ලබයි. මේ අතර ඔවුන්ගේ වැඩිහිටි නිවාස ජාලයේ තවත් එක් නිවාසයක් ජාඇල නාගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත. රාගම පිහිටි වැඩිහිටි නිවායේ නේවාසිකයන් කොරෝනා රෝගින් වශයෙන් වාර්තා වන විට මෙම ජාලයට අයත් නේවාසිකයන් හැර අනෙක් පිරිස කතරගම ප්‍රදේශයේ සංචාරයක් සදහා පිටත්ව ගොසිනි. 2020/12/24 දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ලියුම්කරු විසින් දැනුවත් කරන තෙක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය හෝ වෙනත් නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් සාධනීය මැදිහත් වීමක් සිදු කර නොතිබුණි.
ජනාධිපතිතුමන්ගේ “සෞභ්‍යයේ දැක්ම රට හදන සංවර්ධන සැලැස්මට අනුව මෙරට වැඩිහිටියන් වෙනුවෙන් මෙන්ම වැඩිහිටි නිවාසද වැඩිදියුණු කිරිම සදහා වන යෝජනා රාශියක් අඩංගු කර ඇත. ඒ අනුව වැඩිහිටි නිවාස සදහා ලබා දෙනු ලබන අධාර ප්‍රමාණ වැඩි කිරිම හා සියලු වැඩිහිටියන් වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂණාවරණයක් සැකසීම එහි ප්‍රමුඛථම කාර්යන් අතර වේ. සිය රටේ පුරවැසියන්ට සිය මූලික අවශ්‍යතා සපුරා ගනිමින් ජිවත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම උදෙසා ප්‍රතිපත්තිමය තීරණ ගැනීම රටක ප්‍රධාන පුරවැසියා, පාලන තන්ත්‍රය විසින් සිදු කල යුතු වැදගත් හා බාරදුර කාර්යයකි. එසේ රජය විසින් එසෙත් නොමැති නම් පාලකයා විසින් ගනු ලබන ප්‍රතිපත්ති තින්දු තිරණ නියමිත ක්‍රමවේදයන්ට යටත්ව ක්‍රියාත්මක කරමින් එහි ප්‍රතිලාභ පොදු මහජනතාව වෙත ගෙනයෑමේ වගකීම පැවරෙනුයේ මෙරට සමස්ථ රාජ්‍ය සේවක නිලධාරී යන්ත්‍රය වෙතයි. ඒ සඳහා ඔවුනට අවශ්‍ය සෙසු කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍ය කාර්යන් ඉෂ්ඨ කරගැනීමට අවශ්‍ය නිලධාරී යාන්ත්‍රණයක් මෙරට ස්ථාපිත කොට ඇත. මේ සියලුදෙනා බදු ගෙවන මහජන මුදලින් නඩත්තුවන පිරිසක් බව මා අමුතුවෙන් සිහිපත් කළයුතු නොව සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කොට එය මෙරට බිහි වූ ආදර්ශවත් හා මහ පොළවේ පැළ වූ මිනිසුන් ආදරයෙන් වැළඳගත් වැඩපිළිවෙළක් බවට පත් කිරීමට සංශෝධනයන් රාශියක් සිදුවිය යුතු බව මෙරට සමස්ථ වැඩිහියන් වෙනුවෙන් ලියුම්කරු යෝජනා කරයි.
එහිදී මෙම විෂයය පථය තවත් අමාත්‍යංශයකට මාරු කිරීමට පියවර ගත්තා සේම අදාළ කාර්යයන් නිසි පරිදි ඉෂ්ඨ කිරීමටත් ඒ සඳහා කැපවීමෙන් ක්‍රියාකල හැකි සහ සියලු ප්‍රශ්න අවස්ථාවහිදි අනුන්ට බෝලය පාස් කර අතපිසදා ගන්නා නිලධාරීන් වෙනුවට අභියෝගයන්ට මුහුණ දිය හැකි නිලධාරීන් පිරිසක් ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට පත් කිරීමටත් ඒ සඳහා මඟ පෙන්විය හැකි උගත්, බුද්ධිමත් පිරිසකට හා තමන්ට මෙන්ම සියලු වැඩිහිටියන්ට ආදරය කරන, වැඩිහිටි විෂයේ නව්‍ය වෙනස්කම් සමඟ ගනුදෙනු කළ හැකි හා ඒ පිළිබඳව තේරුම්ගත් මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක වැනි ලෝකය පිළිගත් විශාරදයින් වැඩිහිටි තැනැත්තන් පිළිබඳ ජාතික සභාවට පත් කිරීමට අතිගරු ජනාධිපතිතුමන් ක්‍රියා කරන්නේ නම් සෞභාග්‍යයේ දැක්මේ සඳහන් ගෞරවාන්විත වැඩිහිටි දිවියක් නිර්මාණ කිරීමටත්, කොරෝනා මෙන් ඉදිරියේදී පැමිණෙන ඕනෑම වසංගත අවස්ථාවකදී මෙරට අතීත නියෝජනය වර්තමාන ජේෂඨ පුරවැසියන් ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.
නිරීක්ෂක