2021 ජනවාරි 02 වන සෙනසුරාදා

හදිසියේම හටගත් වාහන ස්පෙයාර් පාට්ස් අවුල

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 316

කොරෝනා වසංගතය අප රටේ ආර්ථිකයට සිදු කළේ සුළුපටු අලාභයක් නොවේ. වරින් වර ලොක්ඩවුන් කිරීම නිසා බොහෝ ව්‍යාපාරික ආයතන වසා තැබීමට සිදු වූ අතර ඇතැම් ව්‍යාපාරිකයෝ ඉතා අසරණභාවයට පත්වූහ. මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරය ද ඉතා පුළුල් පරාසයක විහිද ගිය ව්‍යාපාරයකි. එයටද කොරෝනාව බලපෑම් එල්ල කළේය. පසුගිය කාලයේ මෙරට වෙළෙඳ පොළේ අවශ්‍යතරම් මෝටර් රථ අමතර කොටස් නොමැති යැයි වාහන හිමිකරුවෝ මැසිවිලි නැඟූහ. ඇතැම් වාහන අමතර කොටස් හිඟය නිසා ධාවනය කළ නොහැකි වූ අතර ඇතැම් කුලී රථ රියදුරන්ට තම එදිනෙදා ආදායම පවා සෙයා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය විය.

ත්‍රිරෝද රථ රියදුරකු වන ජයතිලක මහතා අපට සඳහන් කළේ කොවිඩ් පළමු රැල්ලෙන් පසු වාහන අමතර කොටස් හිඟයක් ඇතිවූ බවයි. වාහන හිමියන්ට අවශ්‍ය ඇතැම් අමතර කොටස් විවෘත වෙළෙඳපොලේ මිලට ගැනීමට නොමැති බවත් ඇතැම් කොටස් මිලට ගැනීමට  ඇනවුම් ලබා දී මාස දෙකකට අධික කාලයක් බලා සිටින්නට සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කළේය. එහෙත් පසුගිය අයවැයෙන් බදු අඩු කිරීම නිසා අමතර කොටස් හිඟය ක්‍රමයෙන් මඟහැරෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
මෙවැනි තත්ත්වයක්  ඇතිවීමට බල පෑ කරුණු මොනවාදැයි අප විමසා සිටියේ මෙරට ප්‍රධාන පෙළේ වාහන අමතරකොටස් ආනයන ආයතනයක් වන ඉචිරෝ මෝටරිං ආයතනයේ සාමාන්‍යාධිකාරි තාරක ෆොන්සේකා මහතාගෙනි.  ඔහු කියා සිටියේ පසුගිය කාලයේ අමතර කෙටස් හිඟයක් පැවති අතර මේ වන විටද එම තත්ත්වය යම් පමණකට පවතින බවයි. 

පසුගිය කාලයේ වාහන අමතර කොටස් ගෙන්වීම නැවැත්තුවා.. පසුව යළි ආනයනයට අවස්ථාව ලබා දීම නිසා එම තත්ත්වය යම් දුරකට මඟහැරුණා.. දැන් අපට තියෙන්නේ භාණ්ඩ ආනයනය කිරීම නොවෙයි නැව්වල ප්‍රශ්නයක්. විශේෂයෙන්ම චීන නෞකා පසුගිය දිනවල ලංකාවට ආවේ නැහැ. ඒ නිසා ජපානය වැනි රටවලින් එන නෞකාවල නැව් ගාස්තු තුන් ගුණයකින් පමණ ඉහළ දමා තිබෙනවා. මෙම තත්ත්වය ලබන පෙබරවාරි පමණ වන විට යථා තත්ත්වයට පත්වන බවට තොරතුරු ලැබී තිබෙනවා. අප ආයතනය  ඕනෑම ජපන් වාහනයකට අවශ්‍ය අමතර කොටස් ආනයනය කරනවා. සාමාන්‍යයෙන් මසකට කන්ටේනර් දෙකක්වත් ආනයනය කරනවා ඒත් පසුගිය මාස හය හත තුළ එකදු කන්ටේනරයක්වත් ආනයනය කළේ නැහැ. මේ වසරේ ගෙනාවේ කන්ටේනර් දෙකක් පමණයි. බොහෝ වාහන අමතර කොටස් ආනයන කරුවන් මේ තත්ත්වයට මුහුණ පෑවා. වෙළෙඳ පොලේ වාහන අමතර කොටස් හිඟයක් ඇති වූයේ එම තත්ත්වය මතයි.

පසුගිය කාලයේ ටයර් හා වාහන අමතර කොටස් ආනයනය සඳහා සීමා පැනවිණි. පසුගිය අගොස්තුවේ යළි ටයර් සහ මෝටර් රථ අමතර කොටස් ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ටයර් සහ වාහන අමතර කොටස් ආනයනයට ඉඩ ලබා දෙන බවය. පසුගිය අයවැයෙන් මෝටර් රථ අමතර කොටස් සඳහා පනවා ඇති ආනයන බදු අඩු කිරීමට පියවර ගන්නා බව මුදල් අමත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

පසුගිය පස් වසර තුළ ඩොලර් මිලියන 5,318 ක් පමණ විදේශ විනිමය යොදා ආනයනය කළ වාහනවල වටිනාකම එම කාලය තුළ අප ලබා ගත් ණය ප්‍රමාණයෙන් 31% ක් තරම් විශාල ප්‍රමාණයක්. දේශීය වෙළෙඳපොළ මේ සා විශාල වුවත් අඩුම වශයෙන් අපනයනය සඳහා වාහන නවීකරණය හෝ වාහන එකලස් කිරීමේ කර්මාන්තයක්වත් දියුණු කර නැහැ. රට තුළ මේ වන විට පවත්නා වාහන තොගය මෙන්ම අලුත්වැඩියා කළ හැකි රජයේ වාහන හා ගිලන් රථ ප්‍රමාණය ද අති විශාලයි.. මෙම වාහන අලුත්වැඩියා කිරීමට මෙන්ම වාහන එකලස් කිරීම ඇතුළු මෝටර් රථ කර්මාන්තයේ ව්‍යාපාරිකයින් දිරිගැන්වීමට අවශ්‍ය, අමතර කොටස් සඳහා පනවා ඇති ආනයන බදු අඩු කිරීමට යෝජනා කරනවා*යි සඳහන් කළේය.

එම බදු සහනය මේ වන විට මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවන්ට ලැබෙනවා දැයි අප ඉචිරෝ මෝටරිං ආයතනයේ සාමාන්‍යාධිකාරි තාරක ෆොන්සේකා මහතාගෙන් විමසූ විට ඒ මහතා ප්‍රකාශ කළේ අයවැයෙන් පසු තවමත් තමන් එකදු කන්ටේනරයක් හෝ ගෙන්වා නොමැති හෙයින් ඒ පිළිබඳව නිශ්චිතව කිසිවක් කිව නොහැකි බවය. එමෙන්ම ඇතැම් ඩීසල් එන්ජින්, ට්‍රක්රථවල කැබින් වැනි කොටස් බලපත්‍ර නොමැතිව ආනයනය තහනම් කර තිබේ. ඒ සඳහා බලපත්‍ර මෙතෙක් නිකුත් කර නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කොරෝනා සමයේ නැව් මෙරටට නොපැමිණියද ඇතැම් වාහන අමතරකොටස් ආනයන ආයතනවලට එතරම් බලපෑමක් නොවූයේ ඔවුන් සතුව භාණ්ඩ තොග පැවති හෙයිනි. ෆිට් ඔටෝ විෂන් ආයතනය සතුවද එවැනි තොග තිබිණි.  එම ආයතනයේ ලහිරු මහතා සඳහන් කළේ තමන්  සතුව අමතර කොටස් තොග තිබූ හෙයින්. එතරම් බලපෑමක් ඇති නොවූ බවය. එහෙත් මේ දිනවල පෙර මෙන් භාණ්ඩ මෙරටට නොපැමිණෙන හෙයින් මේ වන විට අමතර කොටස් හිඟයක් පවතින බව ඔහු ප්‍රකාශ කළේය. අප වැඩි වශයෙන් ආනයනය කරන්නේ ජපානයෙන් එමෙන්ම තායිලන්තයෙනුත් ආනයනය කරනවා. සාමාන්‍යයෙන් අප වසරකට ෂිප්මන්ට් හත අටක් ආනයනය කරනවා. ඇතැම් කාලවල මාස තුන හතරකට එක ෂිප්මන්ට් එකක් පමණක් එන අවස්ථාත් තිබෙනවා. වාහන අමතර කොටස්වලට තිබෙන ඉල්ලුමත් කාලයෙන් කාලයට වෙනස් වෙනවා. එක් කාලයකට විගෝ හයිලක්ස්,, තවත් කාලවල ප්‍රාඩෝ, ටොයොටා වැනි වාහන අමතර කොටස් සඳහා ඉල්ලුමක් පවතිනවා. වෙනත් වාහන කොටස්වලටත් විවිධ කාලවල ඉල්ලුම තිබෙනවා.  අප මෙරට නිපදවන අමතර කොටස් අලෙවි කරන්නේ නැහැ. එහෙත් අපගේ පාරිභෝගිකයන් ඉල්ලා සිටියොත් ඇතැම් කොටස් ඇනවුම් කර ලබා දීමට කටයුතු කරනවා යනුවෙන් සඳහන් කළේය.
සම්පත් මෝටර් සප්ලයර්ස් ආයතනයේ හසිත මහතා සඳහන් කරන්නේ කොරෝනා කාලයේ මෙරටට නැව් පැමිණීම සීමා වීම මත අමතර කොටස් හිඟයක් නිර්මාණය වූ බවයි.. අප ජපානයෙන්, චීනයෙන්, තායිලන්තයෙන්, තායිවානයෙන්, කොරියාවෙන් සෘජුවම භාණ්ඩ ආනයනය කරනවා. මසකට සාමාන්‍යයෙන් ෂිප්මන්ට් දෙකක් තුනක් ගෙන්වනවා. අපට වැඩි ඉල්ලුමක් තිබෙන්නේ චීන වාහනවලට, මයික්‍රෝ පැන්ඩා,  චෙරි කියු කියු වැනි වාහන අමතර කොටස් සඳහා හොඳ ඉල්ලුමක් තිබෙනවා. කොවිඩ් නිසා වරාය වසා තැබීම හේතුවෙන් අපට භාණ්ඩ ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයත් තිබුණා. එහෙත් අපට ඉල්ලුම අනුව යම් පමණකින් සැපයීමට හැකි වුණා. දිනකට වැඩි වශයෙන් ඉල්ලුමක් තිබෙන ඇතැම් අමතර කොටස්වල නම් හිඟයක් පැවතුණා. කෙසේ හෝ වාහන හිමියන්ගේ අවශ්‍යතාව ඉටු කරන්න අපට හැකි වුණා. යැයි ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේද වාහන අමතර කොටස් නිෂ්පාදනය කෙරේ. පසුගියදා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය 2021 යෝජනා නිසා දේශීය මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයන්ට නව යුගයක් උදාකරන්නේ යැයි ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ. දේශීයව නිෂ්පාදනය කරන ලද හා එකලස් කරන ලද මෝටර් රථවාහන කොටස් සැපයීම සඳහා ශ්‍රී ලංකා මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයන්ගේ සංගමය දැනට ලොව ප්‍රකට මෝටර් රථවාහන සමාගම් හතක් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වේ. එවැනි තත්ත්වයක් උදා වුවහොත් විදේශවලින් නැව් එනතෙක් බලා සිටින්නට හෝ අධික මිල ගණන්වලට වාහන අමතර කොටස් මිලට ගැනීමට හෝ සිදු නොවන අතර මෙරට තරුණ තරුණියන්ට රැකියා අවස්ථාද නිර්මාණය වනු ඇත.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා