ශ‍්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන සමහරක් නීති යටත් විජිත සමයෙහි සිට ක‍්‍රියාත්මක වන නීති වේ, එම නීතීන් දැනටත් වලංගු වුව ද, එම නීතීන් වර්තමාන සමාජයට ගැලපෙන ආකාරයට සංශෝධනය කර නොමැත. තව ද, මෙම පනත් වසර ගණනකින් යාවත්කාලීන කර නොමැති බව පෙනේ.
ශ‍්‍රී ලංකාවේ අවසාන වරට සංශෝධිත පනත් එකතුකොට පුනර් මුද්‍රණය (Revised Edition) පළකරන ලද්දේ 1980 වර්ෂයේ දී ය. නමුත් මෙම පුනර් මුද්‍රණය ප‍්‍රසිද්ධ කරන ලද්දේ 1987 වර්ෂයේ දී ය. එම නිසා 1981 සිට 1987 වර්ෂය දක්වා වූ ඒ ඒ පනත්වලට කරන ලද සංශෝධන හා එම කාලය තුළ (1981 - 1987 දක්වා) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නව පනත් ද එකතුකොට වෙළුම් 42ක් පළ කරන ලදී.
මෙයද, නිත්‍යානුකූල පුනර් මුද්‍රණයක් නොවේ.
ඒ අනුව පැහැදිලි වන්නේ, වසර 64ක් ගත වුව ද, මේ දක්වා නිත්‍යානුකූල පුනර් මුද්‍රණයන් කර නොමැති බව යි. මන්ද, මෙම 1980 නැවත කරන ලද මුද්‍රණය තවමත් පවතින්නේ ව්‍යවස්ථාපිත පුනර් මුද්‍රණයක් ලෙස නොවේ (Unofficial Revision). එයට හේතු වී ඇත්තේ එම මුද්‍රණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට නොහැකි වීමය.
එම 1980 සංශෝධිත පුනර් මුද්‍රණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ එම මුද්‍රණයේ සිංහල හා දෙමළ භාෂා මුද්‍රණ පළකොට නොමැති වීම හේතුවෙනි. 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව සෑම පනතක්ම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා ත‍්‍රිත්වයෙන්ම පළකළ යුතු ය. ඉන් අනතුරුව, එම පුනර් මුද්‍රණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මතකොට කථානායක අත්සන් කිරීමෙන් පසු නිත්‍යානුකූල මුද්‍රණයක් වේ.
කෙසේ වෙතත්, මෙම පනත් තවමත් ක‍්‍රියාත්මකව පවතින අතර, එම නීති අණපනත් සඳහන්කොට ඇති පුනර් මුද්‍රණයන් පිළිබඳව කෙටි විග‍්‍රහයක් කරන ලද්දේ මෙම පනත් අතර වර්තමාන කාලයට ගැලපෙන මෙන්ම නොගැලපෙන පනත් අප නීති පද්ධතියේ තිබෙන බැවිනි.
මේ සමහර නීති වසර 100කට වඩා පැරණි ඒවාය. එම පනත්වල සඳහන් වැරදි සඳහා වැරදිකරුවෙක් කිරීමේදී පනතේ නියම කර ඇති දඬුවම හා දඩ මුදල් අදට සාපේක්‍ෂව ඉතාමත් සුළු දඩයකි. මෙයින් ගම්‍ය වන්නේ එම වකවානුවේ දී පනවන ලද දඬුවම් සහ දඩ මුදල් එම වරද ඉතාමත් බැරූරුම් සහ සමාජයට මොනතරම් අහිතකර ද යන්නයි. අවසාන වශයෙන් මෙම සමහරක් පනත්වල එන වැරදි සඳහා දඩ මුදල් වැඩි කරන ලද්දේ 2005 අංක 12 දරණ දඩ මුදල් වැඩි කිරීමේ පනත මගිනි.
එමෙන්ම, සමහර රජයේ ආයතනවල විශේෂයෙන් පළාත් පාලන ආයතනවලට සම්බන්ධ නීති සහ රෙගුලාසි යටතේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ දී ලියාපදිංචි ගාස්තු මෙන් ම, එම නීති යටතේ වැරදිකරුවන් කිරීමේදී පැනවෙන දඩ මුදල ද, තවමත් ඒ කාලයේ පැනවූ දඩ මුදල් වේ. මේ පනත් පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. මෙයට අමතරව පළාත් සභා මගින් පළකරන ලද පළාත් සභා ප‍්‍රඥප්ති ද ඇත. මෙයද ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
ශ‍්‍රී ලංකාවේ දැනට අපරාධ වැරදි සම්බන්ධව තිබෙන ප‍්‍රධාන නීතිය දණ්ඩ නීති සංග‍්‍රහය වන අතර, වරද කුමක්ද, එම වරද සඳහා දෙන දඬුවම කුමක් ද යන්න එම ආඥා පනතේ ව්‍යවස්ථාපිතව ම සඳහන්කොට ඇත. මෙම මූලික හරයාත්මක නීතියට අමතරව අප නීතියේ හරයාත්මක නීති විශාල ප‍්‍රමාණයක් ඇත.
එමෙන්ම, දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් වැරදි සඳහා මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් දිය හැකි උපරිම දඬුවම අවුරුදු දෙකකට නොඅඩු දෙයාකාරයෙන් එක් ආකාරයක සිර දඬුවමක් හෝ රුපියල් 1,500/= ට නොවැඩි දඩයක් හෝ ඒ දෙක ම වේ. කෙසේ වෙතත්, දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් නොවන අනෙකුත් අවශේෂ නීතිවල සඳහන් වැරදි සංජානනය කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණ බලය ඇත්නම්, එම පනතේ සඳහන් දණ්ඩන නියම කිරීමට මහේස්ත්‍රාත්ට බලය ඇත
එසේ වුව ද, එම වරද සංජානනය කිරීමට මහ අධිකරණයට බලය ඇත්නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් වැරදි සඳහා උපරිම දඬුවම් දීමට බලය ඇත. එම පනත්වලද එම වරද සහ වරදට දඬුවම මෙන්ම සමහර පනත්වල නඩු ඇසිය යුතු අධිකරණය ද සඳහන්කොට ඇත.
මෙම වැරදි පිළිබඳ විමර්ශනය කොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පවරන්නේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේය. එය අපරාධ සම්බන්ධව ක‍්‍රියාවලිය සඳහන් ප‍්‍රධාන පටිපාටික නීතිය වේ. අනෙක් පටිපාටික නීතිය වන්නේ සාක්‍ෂි ආඥා පනතයි. මෙම සාක්‍ෂි පනත අපරාධ සහ සිවිල් නඩුකර දෙකටම අදාළ වේ.
අපරාධයක් යනු මුළු සමාජයටම විරුද්ධව කරන වරදකි. එම වරද පුද්ගලයකුට එරෙහිව සිදු වූවත්, එය රජයට විරුද්ධව කරන නීතිවිරෝධී ක‍්‍රියාවක්/වරදක් ලෙස සලකා රජය විසින් වරදකරුට එරෙහිව අධිකරණයේදී පැමිණිල්ල මෙහෙයව යි. අපරාධ සම්බන්ධව මුල් අවස්ථා අධිකරණය වන මහාධිකරණයේදී රජය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වන්නේ නීතිපති වන අතර, මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැමිණිල්ල මෙහෙයවන්නේ පොලීසිය විසිනි
එසේ වුවද, සමහර නඩු පිළිබඳව නීතිපති විමසීම පොලීසිය මෙන්ම මහේස්ත‍්‍රාත්වරයා විසින් ද ඉටු කරයි. එමෙන්ම, ප‍්‍රථමික අධිකරණයේදී පැමිණිල්ල මෙහෙයවන්නේ පොලීසිය විසිනි.