2021 ජනවාරි 02 වන සෙනසුරාදා

කොළඹ සෙමින් යථා තත්ත්වයට

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් 40,000ක් ඉක්මවා ඇත. මරණ 200 කට එහාය. එහෙත් කොවිඩ් ගැන ඉස්සර තරම් දැන් කතාවක් නැත. බ්‍රේකින් නිව්ස් නැත. දිනකට හමුවෙන රෝගීන් ප්‍රමාණය කෙළින්ම පන්සීයකට එහාය. එහෙත් කවුරුත් අම්මෝ යැයි කියා කම්මුලේ අත ගසා ගන්නේ නැත. ඒ දැන් කොවිඩ් සාමාන්‍ය ලෙඩක් තරමට පත්ව ඇති නිසාය. හැමදාම දකින කුකුළාගේ කරමලේ සුදු යැයි කතාවක් ඇත්තා සේ දැන් කොවිඩ්ද හැමදාම අසන දකින සිද්ධියක් වී ඇති නිසා බොහෝදෙනාට  සාමාන්‍ය වී ඇත.

පසුගිය උත්සව සමයේ එය බොහෝදෙනාට ඇස් දෙකෙන්ම දැකගන්නට හැකි විය. උත්සව සමය නිසා මිනිසුන් ඇතැම් නගරවලට රුස්ව සිටියේ වසංගතයක් මේ රටේ ඇති බවද අමතක කරමිනි. ඒ නිසා වසංගතයෙන් බේරෙනවාද නැද්ද යන්න ඇත්තටම අභියෝගය ඇත්තේ ජනතාවට මිස වෙනත් කාටවත් නොවේය. ඒ නිසා මේ ලිපියේදී ප්‍රථමයෙන්ම කියන්නේ ලබන වසරේ හෝ මේ වසංගතයෙන් බේරී සිටීමට අප සැමගේ වගකීම නිසිලෙස ඉටුකළ යුතු යැයි කියාය.

• බස්නාහිර තවම අවදානම්

පසුගිය කාලය පුරාම ඉතාම තීරණාත්මක අවදියක තිබූ කොළඹ දිස්ත්‍රික්කය ඉතාම සෙමින් ක්‍රමානුකූලව නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. පසුගිය කාලය පුරාම ඉතාම වේගයෙන් පැතිරී ගිය කොවිඩ් වෛරසය අද වනවිට යම්තාක් දුරට අඩුවී ඇති බව ඔවුන්ගේ මතය වී ඇත. මේ ආකාරයෙන් තවත් දවස් කීපයක් ගතවුවහොත් කොළඹ කොරෝනා තත්ත්වය සෞඛ්‍ය අංශවල පාලනයට ගත හැකි බව ඔවුහු පවසති. එහෙත් ඇතැම් ජනතාවගේ ක්‍රියාකාරකම්වල වගකීමක් නැති හෙයින් ඉදිරියේදී මේ තත්වය වෙනස් විය හැකි බව ඔවුන්ගේ මතය වී ඇත.

කෙසේ වෙතත් බස්නාහිර පළාතෙන් කෝව්ඩ් අවදානම අඩුවන බවක් තවමත් පෙනෙන්ට නැති බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අදහස වී ඇත. එනම් ඒ බව බස්නාහිර පළාතෙන් පිටව යන අයගේ අහඹු ඇන්ටිජන් පරීක්ෂාවලදී තහවුරු වන බවද ඔවුන් සඳහන් කරයි. අහඹුව සිදුකරන පරීක්ෂණවලදී පවා සැලකිය යුතු සංඛ්‍යාවක රෝගීන් හමුවනවා නම් ඒ අවදානම කෙතරම්ද යන්න ජනතාව තේරුම් ගත යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත.

• යුක්රේන සංචාරක පොකුරට මොකද වුණේ?

සංචාරක ක්ෂේත්‍රය ඉහළ නැංවීමේ අරමුණින් යුක්රේන සංචාරකයන් රුසක් ලංකාවට පසුගිය සතියේ ගෙන ආ අතර ඉන් 20කට ආසන්න සංඛ්‍යාවක් වෛරස් ආසාදිතයන් බව හඳුනා ගෙන තිබුණි.

රජය කියූ පරිදි ඔවුන් පැමිණෙන විට එරටින් ලබාගන්න PCR වාර්තාවක් අනුව ඔවුන්ට සංචාරය කරන්න අවසරය ලැබෙන බව දන්වා තිබිණි. එහෙත් ඔවුන් මෙරටදී රෝගීන් බවට හඳුනාගත්තේ කෙසේද යන්න කාටත් ප්‍රශ්නයක් විය.

මේ සම්බන්ධයෙන් සොයාබැලීමේදී වාර්තා වූයේ එම PCR වාර්තා ලබාගන්නේ සංචාරයට පැය 72 කට කළින් වුවද ඒ වනවිට ඇතැමකුට වෛරසය ආසාදනය වී තිබුණත් එය PCR වාර්තාවලට පෙන්වා නැති බවය. රෝගය වැළඳුණු කාලය දින දෙකත් තුනත් අතර වන නිසාය. එහෙත් ඔවුන් මෙරටට පැමිණ PCR සිදුකරන අවස්ථාවේ ඔවුන්ගෙන් වෛරසයේ ලක්ෂණ එළියට එන්නට පටන් ගෙන ඇති නිසා රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශවල මතය වී ඇත.

එහෙත් දැන් බොහෝදෙනා ප්‍රශ්න කරන්නේ එක දෙයකි. එනම් දෙවැනි රැල්ල ඇතිවුණේ යුක්රේන ගුවන් කාර්ය මණ්ඩලයක් හරහා බවට රජය සැකකරන මොහොතක මේ ආකාරයෙන් පොසිටිව් වූ යුක්රේන ජාතිකයන් රට ඇතුළත තියා ගැනීම ප්‍රශ්නයක් නොවේද යන්නය. කෙසේ වෙතත් රජය පවසන්නේ මේ රෝගීන් හෝ සංචාරකයන් බාහිර සමාජය හරහා සම්බන්ධ නොවන නිසා මින් අවදානමක් නොමැති බවය. මෙම සංචාරකයන්ට සංචාරය කළ හැක්කේ ස්ථාන 12 කට පමණි. එසේ යනවිට එම ස්ථානවලට දේශීය සංචාරකයන්ට සම්බන්ධ වන්නට දෙන්නේ නැත. එමෙන්ම රෝගී වන අයට වෛද්‍ය පහසුකම් දෙන්නේ කොතලාවල ආරක්ෂක පීඨයට අයත් රෝහල හරහාය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරන්නේ දැනට ඔවුන්ගේ අය මේ සංචාරකයන් සමඟ සමීපව එක් අයකුට එක් අයකු බැගින් කටයුතු කරන බවත් ඉදිරියේදී තව තවත් මේ අවදානම වැඩිවුවහොත් තීරණයක් ගන්නට සිදුවන බවත්ය. ඒ ඔවුන්ගේ ආරක්ෂා පතාය.

• ධම්මික පැණියට විනය කමිටුවෙන් අවසර

ධම්මික පැණිය සඳහා පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ විනය කමිටුව මගින් සායනික පරීක්ෂණ සඳහා අවසර දී ඇත. එසේ අවසරය ලැබෙනවිට සිද්ධීන් දෙකක් සිදුව තිබුණි. ඒ ධම්මික පැණිය පානය කළ අයකුට කොවිඩ් වැළඳී තිබීමය. අනෙක ධම්මික වෙද මහතා මෙම පැණිය හැදීම අතහැර දමා තිබීමය.

එහෙත් මේ සියල්ල මැද විනය කමිටුවක අවසරයක් ලැබී තිබීම ගැටලුවකි. කෙසේ වෙතත් මෙය කෙතරම් වැරදි ක්‍රමවේදයක්ද යත් විනය කමිටුවෙන් අවසර ලැබීම ජනතාවට අදාළ වන්නේ නැත. ජනතාව බලා සිටින්නේ මෙම පැණිය කොවිඩ්වලට හොඳද නරකද යන්න තීරණය ගැනය. එහෙත් ඒ ගැන වචනයක් කතා නොකර මේ විවිධ කමිටු හරහා තේරුණු බවට මාධ්‍ය ප්‍රකාශ ලබාදීම විහිළුවක් වී ඇත. ඒ නිසා දැන්වත් රජය කළයුත්තේ වැල්වටාරම් නොදා මේ පැණිය කොවිඩ්වලට හොඳද නරකද කීම පමණි.

• ගුවන් තොටුපළ විවෘත වීම

දැනට සිදුව ඇති ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ විදේශගත ශ්‍රමිකයන් හට ලංකාවට පැමිණීමට අවසර ලැබෙන්නේ කවදාද යන්න ගැනය. බොහෝ අය ඒ ගැන විවේචනය කරති. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග විෂය බාර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නියත වශයෙන්ම ගුවන් තොටුපළ මේ මස අගදී විවෘත කරන බවය. ඒ වාණිජ සියලු ගුවන් ගමන් සඳහාය.

ඉන්පසුව ඕනෑම කෙනකුට මෙරටට පැමිණීමට හැකිවනු ඇත. එහෙත් ඒ පැමිණෙන සියලු දෙනාම විශේෂ නිරෝධායන ක්‍රමවේදයකට යටත්ව සිටිය යුතු අතර ඒ සියල්ල දින 14ක් තුළ සිදුකෙරෙන බව සඳහන් වේ. එසේම ඒ සඳහා සියලු විය පැහැදම් මගීන් විසින් දැරිය යුතු බවද දැනගන්නට ඇත. විශේෂයෙන් මේ ක්‍රමවේද බ්‍රිතාන්‍ය නව කොවිඩ් වසංගතය මෙරටට ඇතුළු වීම නවතාලීමටත්, විශේෂයෙන් සාමාන්‍ය කොවිඩ් වෛරසය ව්‍යාප්තිය අවම කිරීමටත් අරමුණෙන් සිදුකෙරෙන බව ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සඳහන් කරයි.

මේ අනුව ක්‍රමයෙන් දෙවැනි රැල්ල ඉතාම සෙමින් සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් විසින් පාලනය කරගෙන යන්නේ ඔවුන්ගේ දැඩි කැපවීම සහ උත්සාහය නිසාය. ඔවුන් විසින් සිදුකරන මෙහෙය ඉතාම ඉහළ තැනක ඇති මොහොතක පවා රෝගීන් පැනයාම තවමත් සිදුවේ. ඒ විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ය. ඒ නිසා ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන්ගෙන් මේ වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමය.

ඊට අමතරව අනෙක් ප්‍රශ්නය වූයේ ඉස්ලාම් අයගේ මළසිරුරු භුමදාන කරනවාද ආදාහනය කරනවාද යන්නය. දැන් ඒ ප්‍රශ්නයද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බාරගෙන ඇත. එහෙත් ඒ සියල්ල මැද ජාතිවාදයට තටු ලබාදෙන්නට පිරිසක් උත්සාහ දරමින් සිටිති. ඒ නිසා මේ කොවිඩ් අභියෝගය දත් 32 මැද දිව තබා ගැනීම හා සමානය. කොයි වෙලේ හැපේද දන්නේ නැත.

 ගයාන් ගාල්ලගේ