2021 ජනවාරි 02 වන සෙනසුරාදා

ලංකාවේ ප්‍රවීණම වෛරසවේදියා කොවිඩ් ගැන කතාකරයි

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

කොවිඩ් වසංගතය පිළිබඳ විද්‍යාත්මක සහ දේශපාලනික බැලීමට සමස්ත ලෝකයම හුරුවී හමාරය. මෙරටද තවදුරටත් කොවිඩ් 19 යනු හුදෙක්ම විද්‍යාත්මක සංවාදයක් පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පුළුල්ව කියවා ගැනීමට නම් විද්‍යාව, මිත්‍යාව සහ දේශපාලනය ගැන අපට ගැඹුරින් කතා කිරීමට සිදුවේ. ලංකා සමසමාජ පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා යනු මෙවන් සංවාදයක් ඇතිකර ගැනීමට බොහෝ සුදුසුකම් ඇත්තෙකි. හුදෙක්ම දේශපාලනයට එහා ගිය වෘත්තීය සුදුසුකම්ද ඔහු සතුව තිබේ.

තිස්ස විතාරණ මහතා සිය ආචාර්ය උපාධියද සම්පූර්ණ කරන ලද්දේ වෛරසවේදය පිළිබඳවය. එසේම වසර 25ක් ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව ප්‍රමුඛතම වෛරසයවේදීන් අතරින් මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේද සේවය ලබාගෙන තිබේ. කෙසේ නමුත් හෙතෙම මෙරට කොවිඩ් වෛරස මර්දන වැඩපිළිවෙළෙහි කොටස්කරුවෙක් නොවේ. එනිසාම අප ඒ මහතා සමඟ සංවාදයේ එළඹුණි. මෙම සටහන ඒ ඇසුරින් සැකසේ.

මහාචාර්ය තිස්ස විතාරණ මහතා සංවාදයට ප්‍රවේශ වූයේ වර්තමාන වසංගත තත්ත්වය පිළිබඳ සරලව පැහැදිලි කරමින්ය.

“කොවිඩ් වෛරසය මේ වනවිට ගෝලීය ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. ඒ හා සමානවම ලංකාවත් බලපෑමට ලක්වෙලා තිබෙනවා. නමුත් ඉතා දරුණු විදිහට නොවෙයි. දුරස්ථභාවය, මුහුණු ආවරණ භාවිතය වගේම දෑත් පිරිසිදු කිරීම් ආදී කාරණා නිසා දෛනික ජීවන පැවැත්මටත් බලපෑමක් වී ඇතිවෙලා. තවත් පසෙකින් ආර්ථිකයත් මේ වසංගත තත්ත්වය බලපෑමක් කර තිබෙනවා.”

මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙලෙස සරලව ආරම්භ කරන කතිකාව කොවිඩ් ඖෂධ පිළිබඳ ඇති වර්තමාන සමාජ භාවිතයන් වෙත යොමුවේ. සාමාන්‍යයෙන් ඖෂධයක් ක්‍රියාකාරීද අහිතකරද යන්න බැලීමට ක්‍රමවේදයක් ඇති බව ඔහු සිහිගන්වයි. එය විද්‍යානුකූලව ලෝකයම පිළිගන්නා ක්‍රමවේදයකි.

“අපේ පාරම්පරික දැනුම වැදගත්. එය කාලයක සිට පැවත එන්නක් වන නිසාම එහි ගුණ ඇති බවද පෙනී ගිහින් තිබෙනවා. නමුත් කොවිඩ් 19 වෛරසය නව වෛරසයක්. ඊට පෙර තිබුණු බෙහෙත් හරි, අලුත් බෙහෙත් හරි ගුණ තියනවා කියලා ඔප්පුවෙලා නෑ. නමුත් ඕනෑ කෙනෙක්ට ඕනෑ දෙයක් ඕනෑ නම් තමුන් මේ රටේ රජා කියලාත් කියන්න පුළුවන්. හැබැයි කවුරැත් කිව්ව නිසා ඒ දේවල් අපිට පිළිගන්න බෑ. ඒ දේවල් විද්‍යානුකූලව ඔප්පු වෙන්න ඕනෑ.”

තිස්ස විතාරණ මහතා පැහැදිලි කරන්නේ මෙම වෛරසය සම්බන්ධව වර්තමාන තත්ත්වය සැලකූ විට දේශීය කොත්තමල්ලි වැනි පැරණි ඖෂධ වර්ගත් වර්තමානයේ කියැවෙන පැණි ආදී වර්ගත් මෙම වසංගතයට පිළියම් බව නිශ්චිතව පැවැසිය නොහැකි බවයි. එපමණක් නොව එන්නත් වැඩසටහන පිළිබඳවද මහාචාර්යවරයාගේ පැහැදිලි කිරීම විශේෂය.

“ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියා තිබෙනවා ලංකාවේ ජනතාවගෙන් සියයට 20 කට එන්නත් ලබාදෙන්නම් කියලා. එන්නතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ යම් විශ්වාසයක් තිබෙන නිසාවෙනුයි මෙම ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. ඒ නිසා වයෝවෘද්ධ අයට නිධන්ගත රෝග තිබෙන අයට මෙම එන්නත් ලබාදීමෙන් ප්‍රයෝජනයක් සැලසෙන්න පුළුවන්.  නමුත් සාමාජීය වශයෙන් වසංගතයේ ව්‍යාපෘතිය නතර කිරීමට නම් අප රටේ ජනගහනයෙන් සීයයට 80 ක එන්නත් ලබාදිය යුතු වෙනවා.”

වෛරසයයේ ගමන නතර කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය සාමාජය තුළ නිර්මාණය වන්නේ එවිට බව තිස්ස විතාරණ මහතා පෙන්වා දෙයි. එහෙත් එන්නතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තමන්ට හරි අවබෝධයක් නැති බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

“උදාහරණයක් විදිහට ලෝකයේ අනෙක් එන්නත් පිළිබඳ සඳහන් කළ හැකියි. විවිධ රෝගවල වෛරසවලට තිබෙන එම එන්නත් දියුණුකරලා ජනතාවට දෙන්න හැම අතින්ම සුදුසු බව තීරණය කරන්න සාමාන්‍ය වශයෙන් වසර හතක්වත් ගතවෙනවා. මේ අලුත් රෝග තත්ත්වයට තාම අවුරුද්දක්වත් නෑ. නමුත් එන්නත්වලට ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඒ සමඟම සමාගම් කියනවා අපි එන්නතක් හදලා තියනවා එය ක්‍රියාකාරී කියලා.”

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ එන්නතක් පරීක්ෂා කිරීම ඉතා දීර්ඝ ක්‍රියාවලියක් බවයි. එහි හිතකර අහිතකර ප්‍රතිඵල මැන බැලීමටද කාලය අවශ්‍ය බවයි. එම නිසාම මෙම එන්නත් වැඩපිළිවෙළ පිළිබඳ ඔහු තුළ එතරම් විශ්වාසයක් නැති සෙයකි.
“මේක පන්තියක් විදිහට සැලසුම් සහගතව කරන දෙයක් කියලා මට කියන්න බෑ. නමුත් එන්නත් නිෂ්පාදන කරන සමාගම් ලාභ ලැබීමේ අරමුණු මත වැඩකරනවා. අනෙක් පසින් මෙම වෛරසය සම්බන්ධව ඇතිකර ඇති බය නිසා මිනිස්සුන් එන්නත් ඉල්ලමින් ඉන්නවා. මේ හරහා වංචාවන්, රැවටීම් සිදුවෙන්නටත් පුළුවන්.”

කොවිඩ් සම්බන්ධව දේශපාලන භාවිතය පිළිබඳවද අපි සාකච්ඡා කළෙමු. ලෝක ආර්ථිකයේ බිඳවැටීමට හේතුව ධනපති ක්‍රමයේ අර්බුදයක් බව තිස්ස විතාරණ මහතා පෙන්වා දෙයි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එම අර්බුදය යම් ප්‍රමාණයක් සීඝ්‍ර වූ බව කිව හැකිමුත් එම අර්බුදයට හේතුව කොවිඩ් නොවන බව ඒ මහතා පෙන්වා දෙයි. රුකියා අහිමිවීම මෝටර් රථ නිෂ්පාදනය අඩාල වීම ක්‍රමයෙන් පසුගිය වසර හතර පහ තුළ සිදුවෙමින් තිබූ බව විතාරණ මහතාගේ ප්‍රකාශයන් හරහා පැහැදිලි වේවි.
“කොවිඩ් වෛරසය මිනිස්සුගේ ආශ්වාස ප්‍රශ්වාස මාර්ගයේ විතරයි වැඩෙන්නේ. අපි දන්න විදිහට වෙන කොහේවත් වැඩෙන්නේ නෑ. ඒක දැනට තිබෙන තත්ත්වය. අපි හිතමු යම් පුද්ගලයකුට වෛරසය බෝ වෙලා ඔහු මියගියා කියලා. ඔහුගේ මරණයත් සමඟ ආශ්වාස ප්‍රශ්වාස මාර්ගයේ සෛල අනෙකුත් සෛල වගේම මිය යනවා. වෛරස් වැඩෙන්න පුළුවන් වන්නේ ජීවත්වන සෛල තුළ පමණයි. ඒ නිසා මියගිය පුද්ගලයක් තුළ වෛරසය වැඩෙන්න බෑ. යම් විදිහකින් වෛරසය තැවරැණු තැන්වල ඇඳුම්වල වෛරසය ටිකක් ඉතිරිවෙලා තියෙයි. නමුත් ඒ වෛරසුත් කාලගුණයේ උෂ්ණත්වයේ තත්ත්වයන් පදනම් කරගෙන පැය ගණනක් තමා ජීවත් වෙන්නේ.”

ආදාහන භූමදානය ගැටලු පිළිබඳ පැහැදිලි කිරීමේදී මහාචාර්ය තිස්ස විතාරණ මහතා මතුකරන්නේ එවැනි අදහසකි. භූගත ජලය හරහා වෛරසය ව්‍යාප්තිය සිදුවිය හැකියි යන්නට මතුවෙන තර්ක ලෝකය පිළිගෙන නොමැති බව හෙතෙම පෙන්වා දෙයි. එහෙත් එවන් වාර්තාවක් දෙකක් තිබෙන බවත් කොවිඩ් 19 ආසාදිත සිරුර භූමදානයට ලෝකයේ වෛරස සම්බන්ධව ප්‍රවීණයන් විරුද්ධ වුවහොත් පමණක් ඊට එකඟ විය හැකි බවත් ඔහු කියා සිටී. තමන් දැනුවත් පරිදි එවන් විරෝධයක් නොමැති යැයි ද ඒ මහතා පැහැදිලි කරයි.

“දේශපාලන වුවමනාවන් සඳහා මේ දේවල් විකෘති කරලා තමන්ට උවමනා විදිහට පෙන්වනවා. බුද්ධියක් සහිත මනුෂ්‍යයන් විදිහට අපි තීරණය කළ යුතුයි කුමක්ද පිළිගන්නේ කියලා. මගේ මතය හැටිය නම් මේ කරන්නේ මෝඩකමක්. අපි අපේම බෙල්ල කපා ගැනීමක්.”

තමන් වෛද්‍යවරයෙක් ලෙසත් පරීක්ෂකයෙක් ලෙසත් විද්‍යාත්මක සමාජවාදියෙක් ලෙසත් ඔප්පු නොවූ දෑ විශ්වාස නොකළ බව තිස්ස විතාරණ මහතා පවසයි. සංවාදය අවසන් අදියරේදී මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම වෛරසවේදියා ලෙස තිස්ස විතාරණයන්ගේ සේවය මෙතෙක් රජය ලබා නොගැනීම පිළිබඳ අප ප්‍රශ්න කළෙමු.

“ඉතින් මගේ මතය අකමැති පිරිස් ඉන්නවා. යමෙක් මගේ මතය දැන ගැනීම අවශ්‍යයි කියලා ඇවිත් ඇහුවොත් මම පිළිතුරු දෙනවා. මම කියන දේ අහන්නේ නැත්නම් එතැන දේශපාලනයක් තිබෙනවා. මම වමේ දේශපාලකයෙක්. මම මාක්ස්වාදීයෙක්. විද්‍යානුකූල සමාජවාදියෙක්. ඒ නිසා මාව කැඳවනවාට විරුද්ධ වෙන අය ඉන්නවා. ජනතාව ඒ අයව තෝරලා තියෙනවා නම් ජනතාවත් එහි කොටස් කරුවෝ.”

සංවාද අවසානයේ තිස්ස විතාරණ මහතගේ දැනුම සහ සේවය කොවිඩ් මර්දන වෙනුවෙන් ලබාගැනීමේ වැදගත් බව පමණක්ම ලියා තබමු. මෙම සංවාද තවත් පුළුල් පරාසයක පැතිර ගිය අතර මෙය සංෂිප්ත සටහනක් බවද ලියා තබමු.

සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා