13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා ස්ථාපිත කළේ උතුරු නැගෙනහිර පැවති බව කී දෙමළ ප්‍රශ්නයට විසඳුම් ලබාදීමටය. ඒ අනුව 1987 රටට පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නද ආරම්භයේ සිටම උතුරු නැඟෙනහිර පළාත් සභාව ක්‍රියාත්මක වූයේ නැත. එහෙයින් පළාත් සභා පිහිටුවීමේ අරමුණ ආරම්භයේ දීම බිඳ වැටිණි. කෙසේ වෙතත් පළාත් සංවර්ධනය සහ පළාත්වල වෙසෙන ජනතාවගේ යහපත උදෙසා පසුගිය කාලය තුළ පළාත් සභාවල ක්‍රියාකාරිත්වය සලකා බැලීම වටී. එයට පෙර පළාත් සභා ක්‍රමයේ ඉතිහාසය විමසා බැලීම උචිතය.
පළාත් සභා පිළිබඳ සංකල්පය සහ එහි පරිණාමය 1920 දශකය වැනි ඈත යුගයක් කරා විහිදේ. මහාචාර්ය කීරවැල්ලේ පවසන පරිදි පරිපාලන කටයුතු විමධ්‍යගත කිරීම හරහා ජනතාවට සෙතක් සැලසෙනු ඇතැයි යන පදනම යටතේ ඩොනමෝර් කොමිසම පළාත් සභා පිහිටුවීම නිර්දේශ කළ අතර, 1955දී පළාත් පාලනය සම්බන්ධයෙන් පත් කරන ලද චොක්සි කොමිසම කලාපීය සභා (Regional Councils) සඳහා රට තුළ ප්‍රබල මතයක් ගොඩනැගී තිබුණ මුත්, එය පසෙක ලා පළාත් කොමිටි (Provincial Committees) පිහිටුවීම නිර්දේශ කරන ලදී. පසුව 1957 දී බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම මඟින් කලාපීය සභා (Regional Councils) පිහිටුවීම යළි කරළියට ගෙන ආ මුත් රට තුළ නැඟී ආ බලවත් දේශපාලන විරෝධය හමුවේ එම ගිවිසුම අහෝසි විය. ඊළඟට 1965 දී සේනානායක-චෙල්වනායගම් ගිවිසුමට දෙමළ භාෂාව සතු අයිතිය, ජනපද ව්‍යාපාරවල ඉඩම් දෙමළ ජනයාට ලබාදීම සහ කලාපීය පදනමක් යටතේ බලය බෙදාහැරීම ඇතුළත් වූ අතර, ඒ අනුව දිස්ත්‍රික් සභා (District Councils) පිහිටුවීමට යෝජනා විණි. මෙයට ලංකා සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ විරෝධය පෑහ. නැගී එන විරෝධය හමුවේ අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායකට යෝජනාව ඉල්ලා අස් කර ගැනීමට සිදු විණි. 1977 දී දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි නිවාලීමේ අරමුණින් දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීම සඳහා ජේ.ආර්. රජය යෝජනා ඉදිරිපත් කළද එයට එරෙහිව ඒ වනවිට දෙමළ දේශපාලන පක්ෂවල බලවත් විරෝධය මෙන්ම විශේෂයෙන් යාපනයේ තරැණ කොටස් අතරින් ආණ්ඩු විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා මතු වී තිබුණි.
1986 දී පළාත් සභා බලය බෙදාහැරීමේ ඒකකය වශයෙන් ගෙන රජය සියලු දේශපාලන පක්ෂ සමඟ වටමේස සාකච්ඡාවක් පැවැත්වීය. ශ්‍රී ලංකා රජය දෙමළ විමුක්ති සංවිධානය සමඟ පැවැති සාකච්ඡා මත බලය බෙදාහැරීම අරමුණු කොටගත් පළාත් සභා කෙටුම්පත ඉදිරිපත් කෙරිණි. 1987 වනවිට රට තුළ උග්‍ර තත්ත්වයක් මතුවුණ අතර, රජය සහ දෙමළ පක්ෂ අතර, සබඳතා පිරිහෙන්නට විය. අවසානයේදී ඉන්දියාවේ මැදිහත් වීම මත 1987 ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම යටතේ පළාත් සභා ස්ථාපනය විය.
අද රට තුළ උද්ගත වී ඇති ප්‍රශ්නය පළාත් සභා අවශ්‍යද? පළාත් සභා මූල්‍ය වශයෙන් රටට බරක් වී ඇති අතර, එය සුදු අලියෙක් යයි පැවසේ. පළාත් සභා පවත්වාගෙන යාම සඳහා වසරක් පාසා රුපියල් බිලියන 250ක් පමණ වැය වෙතැයි කියැවේ. පළාත් සභා වෙතින් සිදුවන සේවය දෙස බලන විට මේසා දැවැන්ත මුදලක් දරා තවදුරටත් පළාත් සභා පවත්වාගෙන යෑම යුක්තියුක්ත දැයි විමසා බැලිය යුතුය.
13 වැනි සංශෝධනය මේ රටට අනවශ්‍ය බවත් එය රටට බරපතල ප්‍රශ්නයක් බවත් ඇතැම් දේශපාලනඥයන් සහ නීති විශාරදයන් විසින් ප්‍රකාශ කරන අතර උතුරේ දේශපාලනඥයන්ගේ සහ විද්වතුන්ගේ මතය වී ඇත්තේ 13 වැනි සංශෝධනයේ ප්‍රකාශිත කරුණු ස්ථාපිත කළයුතු බවය. එය ස්ථාපිත කිරීමට නම් පළාත් සභා ඡන්දය පවත්වා දැනට අක්‍රීයව පවතින පළාත් සභා 09ම යළිත් සක්‍රීය කිරීම අවශ්‍ය වනු ඇත.
එහෙත් පළාත් සභා අක්‍රීය වී ඇත්තේ එය පැවැත්වීම මැතිවරණ ක්‍රමයේ වෙනසක් සමඟම සිදුකිරීමට අදාළව යහපාලන ආණ්ඩුව විසින් ගෙන එනු ලැබූ පළාත් සභා (සංශෝධිත) පනත් කෙටුම්පත හේතුවෙනි. එම හේතුව කුමක් වුවද දැන් රටේ පළාත් සභා ක්‍රියාත්මක නැත. පළාත් සභා සඳහා ලබන වසරේදී මැතිවරණයක් පැවැත්වීමට දින නියම කෙරෙනු ඇති බවට රාවයක් පැතිරී ගියද රජයේ අදහස වී ඇත්තේ මෙම කොවිඩ් වසංගතයෙන් පසුව එය පැවැත්වීමටය. එහෙත් උතුරේ දේශපාලන පක්ෂ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට දැඩි මතයක සිටියි.
කෙසේ වෙතත් මහ මැතිවරණයෙන් පසු නව ව්‍යවස්ථාවක් සැකසීමට දුන් පොරොන්දුව ඉටුකිරීම සඳහා රජය විශේෂ විද්වත් මණ්ඩලයක් පත්කිරීම ගැන සතුටු වන නමුත්, එම බලාපොරොත්තු විනාශ කරමින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට යෝජනා කිරීම දැඩි කනස්සල්ලට හේතු වී ඇතැයි බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. නිවේදනයේ දැක්වෙන්නේ, විද්වත් වාර්තාව ඉදිරිපත් වන තෙක් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සඳහා නව නීති ගෙන ඒමට හෝ වෙනත් පියවර ගැනීමෙන් වළකින ලෙසය.
13 වැනි සංශෝධනයෙන් හඳුන්වා දුන් පළාත් සභා ව්‍යුහයෙන් රටේ පළාත් පාලන ආයතන ව්‍යුහය දුර්වල වී රට බෙදීමද ජාතීන් අතර සමගිය, සහජීවනය හා සුහදත්වය බිඳ දැමීම ද සිදුව ඇතැයි බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය පවසයි. එහෙයින් ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුය යන්න, බහුතර ජනතාවගේ මතය වී ඇති බව ද නිවේදනයේ සඳහන් වේ.
පළාත් සභා ක්‍රමය කෙරෙහි මෙරට පොදු ජනතාව තුළ කැමැත්තක් නොවන බව පෙනෙන්නට ඇත. පළාත් සභා (සංශෝධිත) පනත් කෙටුම්පතට එරෙහිව කිසිවකුත් උසාවි ගියේ නැත. අඩුම තරමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ඉල්ලීමක් කිරීමට හෝ උසාවි යාමක් සිදු නොවිණි. පළාත් සභා මැතිවරණය පිළිබද මැතිවරණ කොමිසමෙන් විමසූ විට ඔවුන් දිගටම ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තීන්දුව ගත යුත්තේ පාර්ලිමේන්තුව බවය.
පළාත් සභා සුදු අලියකු බවත් බොහෝ දෙනාගේ අදහසය. මෙමගින් සිදු වූ එකම සේවය ජාතික දේශපාලනයේ යෙදෙන අයට සිය දෙවැනි පරම්පරාව නඩත්තු කිරීම සඳහා රාජ්‍ය ව්‍යුහයක් ලැබීම පමණක් බව ජනතාවගේ අදහසය. කෙසේ වුවද කොවිඩ් වසංගත තත්ත්වය සහ මහා සංඝරත්නයේ විරෝධතා සැලකිල්ලට ගෙන පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට ආණ්ඩු පක්ෂයේ පක්ෂනායක රුස්වීමේදී තීරණයක් ගෙන තිබිණි.
සටහන: හසිත් අංජන