ශ්‍රී ලංකාව තුළ පසුගිය දශක හත පුරාවට විවිධ ආණ්ඩු විසින් ක්‍රියාවට නංවන ලද සංවර්ධන සැලසුම් අපමණය. ඒවායින් යම් සාධනීය ප්‍රතිඵල රටක් ලෙස අප අත්පත් කරගත් නමුත් සමස්තයක් ලෙස අපේක්ෂිත ප්‍රතිඵල රටක් ලෙස අපට අත්පත් කරගත නොහැකි විය. එහිලා ඍජුව බලපෑ හේතු සාධක වන්නේ එම සංවර්ධන සැලසුම් ඉහළ සිට පහළට ගලා ආ ඒවා වීමය. පහළ සිට සංවර්ධනයේ සැලසුම් දියත් කළ යුතු වුවත් කිසි කලෙක ගම පිළිබඳ නිවැරැදි කියවා ගැනීමක් පාලකයන් සතු නොවීය. එහෙත් වත්මන් රජය බිමේ ඇති සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් සංවර්ධන සැලසුම් දියත් කිරීමේ ප්‍රශංසනීය උත්සාහයක නිරත වෙමින් සිටියි. අවසානය පිළිබඳ පූර්ව නිගමනයක් නොමැති නමුත් මෙය සාධනීය ආරම්භයක් බැවින් මෙම වැඩසටහන පිළිබඳ සමාජ සංවාදයකට අපි මුල පුරමු.
“ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” නම් වූ මෙම වැඩසටහන පිළිබඳ මෙරට බොහෝ දෙනාට සරල අවබෝධක් තිබේ. ඊට හේතුව ලෙස මෙම වැඩසටහන සම්බන්ධව මේ දිනවල නිරන්තර මාධ්‍යයේ පළවන ප්‍රවෘත්ති දැක්විය හැකිය. කෙසේ නමුත් සාපේක්ෂ අවබෝධයක් මෙම වැඩසටහන පිළිබඳ ලබාගැනීම මෙහිලා වැදගත් වේ. අයවැය තුළින් ඉදිරිපත් කර ඇති සංවර්ධන යෝජනා වඩාත් ඵලදායීව ගමට ගෙන යෑමේ අරමුණෙන් “වැඩ සමඟ යළි ගමට“ මෙම වැඩසටහන නිර්මාණය වී ඇති බව රජය පවසයි. මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයෙන් ආරම්භ කෙරුණු “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහිම දිගුවකි. ගමෙන් ගමට ගොස් ගමේ ගැටලු හඳුනාගෙන අයවැය තුළින් මුදල් වෙන්කර එම ගැටලු විසඳා දීම මේ නව වැඩපිළිවෙළ තුළින් සිදු කිරීමට නියමිතය.
පසුගිය සති දෙක තුළ නිරන්තර පුවත් නිර්මාණය වූයේ මෙම වැඩසටහන සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පැවැති රැස්වීම් මාලාව පිළිබඳවය. දෙසැම්බර් 14දා දකුණු පළාතෙන් ආරම්භ වූ වැඩසටහන මෙහෙයවීමේ වගකීම භාරව ඇත්තේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය වෙතය. එහි සභාපතිවරයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතාය. රජයේ මෙම වැඩසටහන පිළිබඳ පූර්ව වගකීම් දන්නා බැසිල් රාජපක්ෂ මේ සඳහා පත්වී සිටියි. කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ හුදෙක් ඒකපුද්ගල ව්‍යායාමයක් නොව සාමූහික ප්‍රයත්නයකි. ඊට උදාහරණ වනුයේ මෙම වැඩපිළිවෙළ පළාත් මට්ටමින් ආරම්භ වීමට පූර්වයේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා, කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් සහ එම අමාත්‍යාංශවල ලේකම්වරුන් අතර නොවැම්බර් 27දා පැවති සාකච්ඡාවය.
දෙසැම්බර් 14 වැනිදා රුහුණු විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ දී පැවැති “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහනේ දකුණු පළාත් කමිටු සාකච්ඡා වටයේ දී මෙම වැඩසටහනේ ආකෘතිය පිළිබඳ පළමු වරට අනාවරණය විය. ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කර ඇති බැවින් එම මුදල් ඵලදායී ලෙස යොදාගැනීම සඳහා සංවර්ධන ව්‍යාපෘති ප්‍රමුඛතාගත කර දිස්ත්‍රික් කමිටු වෙත ලබාදීම මේ හරහා සිදුවෙයි. බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී මෙම වැඩසටහනේ අරමුණ පිළිබඳ මෙසේ පැහැදිලි කර තිබුණි.
“අපි බලාපොරොත්තු වෙන්නේ මෙවර මහජන නියෝජිතයන්, රජයේ නිලධාරීන්, ගමේ සිටින ප්‍රජා සංවිධානවල නියොජිතයන් ඒ වගේම අනෙකුත් සංවිධාන සහභාගී කරගෙන මෙම ග්‍රාමීය කමිටුවලට ඉදිරිපත් කරන ගමේ ජනතාවගේ යෝජනා තවදුරටත් විධිමත් ලෙස අධ්‍යයනය කරමින් ඒවා ප්‍රමුඛතාගත කරන්නයි. මෙවර අයවැයෙන් ග්‍රාමීය නිෂ්පාදන කර්මාන්ත දියුණුවට තවත් රුපියල් මිලියන 2000ක් වෙන්කර තිබෙනවා. මේ තුළින් කාන්තා ව්‍යවසායකයන් බිහිකර ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් වෙළෙඳසල් ආරම්භ කරනවා. හැම ගමකටම ගිහිල්ලා ගමේ ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දෙමින් ඔවුන් සහභාගී කරගෙන “වැඩ සමඟ යළි ගමට” වැඩසටහන ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි”
වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ජනපති ආරම්භ කළ “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහන මෙම වැඩසටහන සමඟ බැඳී ඇති අයුරු ද විමසා බැලිය යුතුය. ගම සමඟ එක්වී සංවර්ධන ක්‍රියාදාමයට අදාළ සැලසුම් අධ්‍යයනය කිරීම අනාගත සංවර්ධන ක්‍රියාදාමයට වැදගත්ය. ජනාධිපති එය ප්‍රායෝගිකව අත්දුටුවේ එම වැඩසටහන හරහාය. ඒ අනුව " වැඩ සමඟ යළි ගමට" නිර්මාණය වීමේ පදනම එයයි. ඒ අනුව මෙම වැඩසටහනේ අන්තර්ගතය නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේ නම් දැනට රට තුළ පවතින සංවර්ධනය අවශ්‍යතා රැසක් සම්පූර්ණ කර ගැනීමට හැකිවෙනු ඇත.
කිසි කලෙක ගම සමඟ පිළිසඳරක් ඔවුනට නොවූ අතර ඔවුන්ගේ අවශ්‍යතාව වූයේ වැඩ සමඟ අත යටට මුදල් ලබා ගැනීමය. ඉහළ සිට පහළටම වූ අතට ගනුදෙනු ග්‍රාමීය සංවර්ධනයේ මාරකය වූ බව කිව යුතුමය. එම නිසා මෙම වැඩසටහන පහළට ගලා යා යුත්තේ කොමිස් මාෆියාවෙන් තොරවය. රජය සතු සියලු මුදල් මහජනයාගේය යන පදනම මත ක්‍රියා කරනු ලැබුවහොත් මිස සංකල්ප කොතරම් යහපත් වුවද “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” අපේක්ෂිත අරමුණු කරා ළඟා නොවනු ඇත. එය මෙහි රජය ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගත යුතු සත්‍යයකි.
මෙම වැඩසටහනේ දැනට හෙළිදරව් වී ඇති ප්‍රමාණය අනුව ග්‍රාමීය සංවර්ධනයේ සැබෑ සාර්ථකත්වය සඳහා අවැසි මුහුණුවර මෙම සංවර්ධන සැලසුම තුළ අන්තර්ගතව පවතී. මෙරට ග්‍රාමීය සමාජය පුළුල් වපසරියක පැතිර යන නිසාවෙන් ගම්මානවල අවශ්‍ය පොදු පහසුකම් හා යටිතල පහසුකම් නිසි පරිදි සංවර්ධනය කිරීමෙන් ඉහළ ගුණාත්මක ජීවන පැවැත්මක් නිර්මාණය කළ හැකිය. අවශ්‍ය වනුයේ දැනට අප සතු සම්පත් හා මිනිස් ශ්‍රමය නිසියාකාරව කළමනාකරණය කරමින් සංවර්ධන සැලසුම් විනිවිදභාවයකින් ක්‍රියාත්මක කිරීමය.
මෙම වැඩසටහන සමීපව අධ්‍යයනය කරන විට මහජන චීනය ඇතුළු සංවර්ධනය ළඟා කරගත් ආසියාතික රටවල් රැසක් මෙම ආකෘතියේ වැඩසටහන් දියත් කර ඇති බව පෙනී යයි. ඒ අනුව යමින් මෙම වැඩසටහනේ ද පළමු කාර්යය වී ඇත්තේ ගමකම පවතින සියලු අඩුපාඩු හඳුනාගෙන ප්‍රමුඛතාවක් ඔස්සේ පෙළගැස්වීමය. ‘ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන එයයි. ඒ අනුව ග්‍රාමීය කමිටුවලින් ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කර පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරී තිබේ. මීට සමගාමීව පළාත් පාලන ආයතනයන්හි පවතින පුරප්පාඩු මෙන්ම යන්ත්‍ර සූත්‍ර හිඟය කඩිනමින් පියවීමට ද රජය පියවර ගෙන තිබේ. මුල් අදියරේ දී ග්‍රාමීය ජනතාවගේ අදහස් අනුව ඉදිරිපත් වන යෝජනා සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් එක් ගමකට අවම වශයෙන් එක් ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
“වැඩ සමඟ යළි ගමට” යන මෙම වැඩපිළිවෙළ හමුවේ ඇති ප්‍රධාන අභියෝග ග්‍රාමීය අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමේ සංවාද රැගෙන ඒම හෝ ඒ පිළිබඳ දේශපාලකයන් දැනුවත් වීම නොවේ. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත එන ගැටලු ප්‍රමුඛතා හඳුනාගැනීමත් සිදු කළ හැක්කකි. අභියෝග නම් විවිධ අමාත්‍යාංශ සම්බන්ධ කර ගනිමින් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමය. මෙරට සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රමුඛතම දුර්වලතා වන්නේ අමාත්‍යාංශ සම්බන්ධීකරණයේ පවතින ගැටලුවය. එනිසාම මෙම වැඩසටහනට ද එය ඍජුව බලපානු ඇත. බැසිල් රාජපක්ෂ මහතා එම ගැටලු හඳුනාගෙන සිටී. ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල අනුමැතියෙන් එක් එක් අමාත්‍යාංශ කරා ගෙන යන විධිමත් පටිපාටියක් සකස් කිරීමට ඔහු කටයුතු කර ඇත. ඒ අනුව මීට අදාළ කාර්යය පටිපාටිය සකස් වෙමින් තිබේ.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුවහොත් සංවර්ධනය ගලා යන අංශ රැසකි. ඉන් කිහිපයක් පමණක් මෙසේ සඳහන් කළ හැකිය. ළමා හා මාතෘ සායන, පෙර පාසල්, ග්‍රාමීය රෝහල් වැඩිදියුණුව, සෑම පාසලකටම පානීය ජලය, පාසල් සඳහා වැසිකිළි කැසිකිළි පහසුකම්, ගුරු නිවාස, ගමට අධිවේගී අන්තර්ජාල සබඳතා, ග්‍රාමීය තරුණ තරුණියන්ට නව ව්‍යාපාර, ගමට ක්‍රීඩාපිටි, කුඩා ඇඟලුම් කර්මාන්ත, ඔසු පැළ තවාන්, පුරන් කුඹුරු අස්වැද්දීම, කුඩා ප්‍රමාණයේ කිරි ගොවිපළ, තේ වතු හිමියන් දිරිගැන්වීම, කාබනික ආහාර නිෂ්පාදනය වැඩි කිරීම, ගොවීන්ට අලුත් කෘෂිකාර්මික දැනුම, ග්‍රාමීය පොහොර ගබඩා, වැව් අමුණු නවීකරණය, අලි වැට හා මුර කුටි, සෑම ග්‍රාමසේවා වසමකම අඩු ආදායම්ලාභී පවුලකට නිවෙසක්, ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම, ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහන සේවා, ගමට සතොස, මිරිදිය මත්ස්‍ය වගාව, ඉස්සන් වගාව, මල් වගාකරැවන්ට පහසුකම්, මැටි ආශ්‍රිත නිෂ්පාදන ගම්මාන වැඩිදියුණු කිරීම, සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත ගම්මාන වැඩිදියුණු කිරීම ආදී වැඩපිළිවෙළ රැසක් මීට අන්තර්ගත වේ.
මෙම සමස්තය සැලකූ විට වත්මන් රජයේ “ගම සමඟ පිළිසඳරක්” තුළින් “වැඩ සමඟ යළි ගමට” නම් වූ මෙම වැඩසටහන මහජන අපේක්ෂා ඉහළ නංවයි. කෙසේ නමුත් විනිවිදභාවය ආරක්ෂා කර ගැනීම මෙහිලා අතිශය වැදගත් වනු ඇති බව සිහිපත් කළ යුතුය. සංවර්ධනය සැබෑ ලෙස අරැත් ගැන්වෙන්නේ අවශ්‍යතා නිසි පරිදි හඳුනාගෙන ප්‍රමුඛතා අනුව වැඩ කටයුතු සිදුවන විටය.
චමිඳු නිසල් ද සිල්වා