ලබන මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒම සඳහා දෙමළ පක්ෂ අතර එකඟතාවයක් ඇති කරගැනීමට තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා සඳහන් කර තිබේ. දෙමළ සන්ධාන සාමාජිකයන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ කොළඹ පිහිටි නිවෙසේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ.
යුද සමයේ දී සිදු වූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් මගින් අගතියට පත් දෙමළ ජනතාවට යුක්තිය ඉටුකරලීමෙන් මිදී යෑමට ශ්‍රී ලංකාවට කිසි ලෙසකින් ඉඩ නොතබන බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව දෙමළ ජාතික සන්ධානය යෝජනා හා අදහස් මාලාවක් විදේශීය රටවල් වෙත ඉදිරිපත් කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාද පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේය. රජය පවසන ආකාරයට ජිනීවා යෝජනාවලින් මිදීමට ශ්‍රී ලංකාවට නොහැකි යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ වන විට ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු යෝජනා පිළිබඳව අධ්‍යයනය කිරීමට දෙමළ ජාතික සන්ධානය කමිටුවක් පත් කළ බවද එම කමිටුව මගින් සෙසු දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරනු ලබන යෝජනා පිළිබඳවද සලකා බැලීමට නියමිත බවද සුමන්තිරන් මහතා පසුගියදා කිළිනොච්චියේදී ප්‍රකාශ කර තිබිණි.
ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් මණ්ඩලය රුස්වන විට ඊට ප‍්‍රථම සම්මත කරගත් 40/1 යෝජනාව සඳහා ලබා දුන් කාලය අවසන් වන බව කී සුමන්තිරන් මන්ත‍්‍රීවරයා ඒ පිළිබඳව යළි ඉදිරිපත් කරනු ලබන යෝජනා සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ අවධානය යොමු කරන බවත්, මීළඟ සැසි වාරයේදී කමිටුවට ඉදිරිපත් විය යුතු යෝජනා නව යෝජනා මිස පැරණි යෝජනාවලට කාලය ලබා ගැනීමේ හෝ ඒවා යළි දීර්ඝ කිරීමක් නොවිය යුතු බවත් වැඩි දුරටත් සඳහන් කර තිබේ.
පසුගියදා මෙරට අමෙරිකානු තානාපතිවරිය මුණගැසුණු දෙමළ සන්ධානය මෙතෙක් ජිනීවා සමුළුව සම්මත කළ යෝජනා වලින් කිසිවක් ඉටුවී නොමැති හෙයින් ලබන මාර්තුවේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන එන ලෙසට ඇයගෙන්ද ඉල්ලා ඇතැයිද වාර්තා වේ
මෙය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව උතුරේ වෙනත් දේශපාලනඥයන් වන සී. වී. විග්නේෂ්වරන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් වැනි පක්ෂ නායකයන්ගේ මතය බවද ඔහු තානාපතිනියට පවසා තිබේ. .තමන් මේ ගැන යුරෝපා ප්‍රජාව සහ මහා බ්‍රිතාන්‍ය සමඟද සාකච්ඡා කරන්නේ යැයි ඔහු අමෙරිකානු තානාපතිනියට කියා ඇත.
මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කෙරුණු 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය ඉවත්වීම නිසා මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ. මේ වන විට එම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු ආරම්භ වී ඇති අතර බ්‍රිතාන්‍ය සහ තවත් රටවල් කිහිපයක සහයෝගය ලබා ගැනීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ. ශ්‍රී ලංකාවට එරෙහි මෙම නව යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මූලිකව කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සාමය ගොඩනැංවීමේ කටයුතු පිළිබඳ මහ ලේකම් රෝස්මරී ඩිකාර්ලෝ බව පැවසේ.
තම යෝජනාව සම්බන්ධයෙන් සහය ලබා ගැනීම සඳහා දෙමළ සන්ධානය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයන් පිරිසක් සමඟද පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබේ. යුද සමයේ දී සිදු වූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන වගවීමෙන් ශ්‍රී ලංකා රජයට මිදීමට නොහැකි හා අගතියට පත් දෙමළ ජනතාවට යුක්තිය ඉටුවන ආකාරයේ නව යෝජනාවක් සම්මත කර ගැනීමට බ්‍රිතාන්‍ය රජයට මූලිකත්වය ගන්නා මෙන් එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබේ. ලබන මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට බ්‍රිතාන්‍යය කටයුතු කරන බවත් ඒ පිළිබඳ සාකච්ඡා ජනවාරි මාසයේ දී අරඹන බවටත් එම අවස්ථාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් දෙමළ ජාතික සන්ධානයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයැයි තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සඳහන් කර තිබේ. දෙමළ ජනතාවගේ ගැටලු විසදීමට ශ්‍රී ලංකා රජය තවදුරටත් ප්‍රමාද වීම තම ජනතාවට කරන අසාධාරණයක් බවත්, එය කඩිනමින් සිදුකර ගැනීමට දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂවල වගකීමක් බවත් ඔවුන් සඳහන් කර ඇත.
දෙමළ ජාතික සන්ධානය සහ උතුරේ දෙමළ පක්ෂ ඉදිරිපත් කරන යෝජනාවලට අමතරව වෙනම යෝජනාවක් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට ටෙලෝ සංවිධානයද තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ සිදුව ඇති යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බවට ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. 2019 දී ජිනීවා මානව හිමිකම් මණ්ඩලය මගින් ගන්නා ලද තීරණ ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ යුතුයැයි ටෙලෝ සංවිධානය වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව විසින් ඉටු කළ යුතු බවට මානව හිමිකම් මණ්ඩලය විසින් නිර්දේශ කළ යෝජනා කිසිවක් මෙතෙක් ඉටු වී නොමැති හෙයින් නව යෝජනා අනවශ්‍ය බවත් පසුගිය වසරේ ක්‍රියාවට නැංවිය යුතු බවට කළ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා රජයට ලබාදී ඇති කාලය ප්‍රමාණවත් බැවින් යළි අමතර කාලසීමාවක් ලබා දීමට ටෙලෝ සංවිධානය විරුද්ධ වන බවත්, මෙරට සිදු වූ යුද අපරාධ විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුතු මඬුල්ලක් පත් කළ යුතු බවටත් සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාගේ නිවේදනයේ සඳහන්ය.
දෙමළ මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ හිතවාදීන් චෝදනා කරන පරිදි ශ්‍රී ලංකා හමුදා වෙතින් යුද්ධයේ අවසන් කාලයේ යුද අපරාධ කිසිවක් සිදු නොවූ බවට වන සාක්ෂි රැසක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජයද පියවර ගනිමින් සිටී. ශ්‍රී ලංකාවට සහය දක්වන නෙසබි සාමිවරයා ඇතුළු බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් පිරිසකගේ හා තවත් සංවිධාන කීපයක් මගින් ඉදිරිපත් කර ඇති වාර්තා මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ..
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා