2021 ජනවාරි 16 වන සෙනසුරාදා

කොරෝනාව ගරානාවක් කරගත් සැනිටයිසර් හොරු

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

කොරෝනා භීතිය මේ වන විට සියලු දෙනාගේ සිත් සතන් තුළට කිඳා බැස අවසානය. බොහෝ දෙනකු නිවෙස් තුළටම ගුලි වී සිටින්නේත් සමාජයට යන අය මුඛ ආවරණ සහ අත්වැසුම් පළඳින්නේත් විෂබීජනාශක දියර යොදා අත් සෝදන්නේත් එම නිසාය. මේ අතරවාරයේදී සමහරු දුම් වාෂ්ප අල්ලති. උණුවතුර පානය කරති. කොරෝනා හෙවත් කොවිඩ්-19 වයිරසය ආසාදනයෙන් වැළකී සිටීම සඳහා දන්න කියන සියලු දේ කරති. එහෙත් කොවිඩ්-19 වයිරසය සමඟ අපට අවුරුදු 2ක්වත් ජීවත් වීමට සිදුවන බව වෛද්‍ය මතයයි. මෙය අන්තර් මහද්වීපික ව්‍යාප්තියක් (pandemic) බැවින් මාසයකින් දෙකකින් අවසන් කළ හැකි දෙයක් නොවේ. කොවිඩ්-19 සමඟ දිගු කාලයක් ජීවත් වීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳව විද්‍යාත්මක ආකාරයට කටයුතු කිරීම වැදගත් වේ.

හෑන්ඩ් සැනිටයිසර් යන වදන මීට වසරකට පෙර දැන සිටියේ අතළොස්සක් පමණි. එහෙත් අද වන විට සැනිටයිසර් පිළිබඳ නොදන්නා අයකු සොයාගැනීම අපහසු වනවා සේම සැනිටයිසර් භාවිත නොකළ අයෙක් සොයා ගැනීම විරලය. කොවිඩ් වසංගතය සමඟ වෛරසයෙන් ආරක්ෂා වීමට ලැබුණු ආදායම් ලෙස සලකා අද බොහෝ දෙනා සැනිටයිසර් භාවිත කරති. එම නිසාම සැනිටයිසර් යනු කවරක්ද යන්න පිළිබඳ නැවත නැවත පැහැදිලි කිරීමෙන් පලක් නැත. දෑත් පිරිසුදු කරන විෂබීජනාශක දියර හෙවත් හෑන්ඩ් සැනිටයිසර් අද ජාවාරමක් බවට පත්ව ඇත.

මෙරට පළමු කොරෝනා රුල්ල ඇරඹුණේ පසුගිය වසරේ මාර්තු මාසයේදීය. එදා සිට මේ දක්වාම ජනතාව සැනිටයිසර් භාවිත කරති. සුපිරි වෙළෙඳසල්, ඔසු සල් මෙන්ම දැන් මහපාරේද සැනිටයිසර් වෙළෙඳාම සිදුවෙමින් තිබේ. ඒවායේ ප්‍රමිතිය ගැන ගැටලු රුසක්ද පවතී. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ලබන පෙබරවාරි මස 01 වැනිදා සිට මෙම තහනම බලාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ. ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දෑත් සේදුම් ද්‍රව්‍ය (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් වනු ඇත.

ප්‍රමිතිය නැත්නම් දැඩි තීන්දු ගන්නවා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් - ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා

සැනිටයිසර් සම්බන්ධව නියාමනයත් අයිති අපේ ආයතනයට. අපි දැනට කියලා තියෙනවා ලියාපදිංචි වෙලා ව්‍යාපාර පවත්වාගෙන යන්න කියලා. ප්‍රමිතිය නැති ඕනෑම එකක් අපිට තහනම් කරන්න පුළුවන්. වරින් වර ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදුවෙනවා. දැනට ප්‍රමිතිය නැති වර්ග කිහිපයක් හමුවෙලා තියෙනවා. ඒවා සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඉදිරියේ දැනගන්නට ලැබෙයි. අපේ බලපත්‍රයක් පිට ක්‍රියාත්මක ආයතනික ප්‍රමිතිය නැත්නම් ඕනෑම් අවස්ථාවක අපි එය නැවැත්වීමට කටයුතු කරනවා. නමුත් මෙම නියාමනයන් වැටෙන්නේ විලවුන් උපකරණ සහ ඖෂධ පනත යටතේ. ඖෂධ නියාමන අධිකාරිය 2015 දී පිහිටුවනකොට ඒ කොටස අතහැරුණා. විලවුන් අපි හරහා පාලනය නොවී අවුරුදු 2ක් විතර ගත වුණා. ඒ කාලය ඇතුළත ගැටලු කිහිපයක් මතුවුණා. නමුත් දැන් අපි පනතක් හදලා තියෙන්නේ. ඉදිරියේ ඊට අනුව යමින් අපිට දැඩි තීන්දු ගන්න පුළුවන් මේ හා සම්බන්ධව. කෙසේ කොහොම වුණත් මහජන සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධව වගකීමෙන් අපි කටයුතු කරනවා සියලු ගැටලු මගහරවා ගනිමින්. ඒ වගේම මේ පිළිබඳව අපි ගැසට් නිවේදනයක් නිකුත් කර තියෙනවා ලබන පෙබරවාරි පළමුවැනිදා  ඉඳන්. ඒ ගැසට් නිවේදනයට අනුව අපි කටයුතු කරනවා.

මිල නියාමනයක් සහ ගුණාත්මක සහතිකයක් ඕනෑ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා

අපි දකිනවා පාර පුරා පේමන්ට් එකේ පවා එක එක ප්‍රමාණයේ බෝතල්වල විවිධ වර්ගයේ සැනිටයිසර් එකින් එකට වෙනස් මිල ගණන් යටතේ අලෙවි වෙනවා. සැනිටයිසර්වලට අඩුම තරමේ මිල නියාමනයක්වත් නෑ. අපි ජී.එම්.ඕ. එක විදිහට කියනවා මිල පාලනයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෑ. මොකද ඇල්කොහොල්වලට වගේම අනෙක් රසායනික සංඝටකවලට යන්නේ එකම මිලක්. සුවඳ ද්‍රව්‍ය සහ ඇසුරුම්කරණයේදී විතරයි වෙනසක් වෙන්නේ. ඒ නිසා පාරිභෝගිකයන්ට සාධාරණ මිලක් යටතේ සැනිටයිසර් ලබාගන්න පුළුවන් වෙන්න ඕනෑ. පැහැදිලිවම ගුණාත්මකභාවය සම්බන්ධව සහතිකයක් සැනිටයිසර් සම්බන්ධවත් තිබිය යුතුයි. අපි දකිනවා එස්.එල්.එස්. වගේ සහතික තියෙනවනේ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන්.
මේ වන විට ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොමැති  ව්‍යාජ හෑන්ඩ් සැනිටයිසර් තහනම් කරන්න ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එය ජනතාවගේ පැත්තෙන් හිතලා ගත්ත හොඳ තීරණයක්. 

 සටහන: හසිත් අංජන
                                                       

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03