2021 ජනවාරි 16 වන සෙනසුරාදා

තවත් පුරාවිද්‍යා බිමක් ඩෝසර්

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 06:00 120

උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුකරන පුරාවස්තු විනාශය ගැන පසුගිය කාලයේ නිතර අසන්නට ලැබුණි. සමහරු නිදන් හෑරීම සඳහාත් තවත් පිරිසක් පුරාවිද්‍යා උරැමය මකා දැමීම සඳහාත් පුරාවිද්‍යා ස්ථනාවලට හානි පමුණුවන බවයි අපට පෙනෙන්නේ.
පුරාවස්තුවලට වන අකටයුතුකම් මැඩපැවැත්වීමට පුරාවස්තු ආඥා පනත මුලින්ම සම්මත වුණේ 1940 දීයි. එයට 1998දී සංශෝධනයක් එක්කර නැවත පනවන ලදී. බලතලද වැඩිකෙරිණි. පසුගිය දිනවල පුරාවිද්‍යා ආඥා පනතට තවත් බලතල එක්කර ගැනීම ගැන සාකච්ඡා විණි. නමුත් රටේ විසිරී තිබෙන පුරාවස්තුවලට නම් සුගතියක් නැත.

අලුත්ම විනාශය වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනි. ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහ හුරුල්ලෑව පුරාවිද්‍යා ඉඩම කිසියම් පිරිසක් විසින් පසුගිය 8දා කිසිදු බාධාවකින් තොරව ඩෝසර් කර සමතලා කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ එම ඉඩම වගා කිරීමට බදු පදනම මත ලබාගත් අයෙකු එලෙස ඩෝසර් කළ බවයි. ගලේවෙල සිට කලාවැව දක්වා ගමන් කරන මාර්ගයේ පැමිණ මෙම ස්ථානයට ළඟාවිය හැකිය. ජාතික නාමල් උයන පිහිටා ඇත්තේද මෙයට නුදුරිනි.

පුරාවිද්‍යා කලාප භාර නිලධාරීන් විසින් මේ ගැන ගල්කිරියාගම පොලීසියට පැමිණිලි කළ අතර, එම විනාශයට කටයුතු කළ පුද්ගලයන් සොයා පොලිස් විමර්ශන අරඹා තිබේ. බොහෝවිට සිදුවන පරිදි මෙහිදීත් අක්කරයක් පමණ ඩෝසර් කර අවසාන වනතෙක් කිසිදු පියවරක් ගැනීමට රාජ්‍ය නිලධාරීන් හෝ ගම්වැසියන් කටයුතු කර නැත.

ඩෝසර් කළ භූමිය විමර්ශනය කරන විට පෙනෙන්නේ අනුරාධපුර යුගයට අයත් පැරණි ආරාමයක් මෙහි පැවති බවයි. පැරණි කළුගල්, පාදම් ගල්, ගල් කුලුණු, බොරදම් ගල් කොටස්, සඳකඩපහණවල කොටස්, දාගැබ් පැවති ගඩොල් ගොඩැලි ඩෝසරයට හෑරී විනාශ වී ගොසිනි. අක්කරයක කැලෑ ඉඩමක් සමතලා කිරීම පැයකින් දෙකකින් කළ හැකි නොවේ. පුදුමය නම් මහ දවල් කිසිම වගකිවයුත්තෙකුට නොදැනෙන ලෙස ජාතික උරුමයක් වනසා දැමීමයි.

පුරාවිද්‍යා නටබුන් සහිත භූමියට පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් 1993 දී වාර්ෂික බලපත්‍රයක් නිකුත් කර ඇති බව හෙළි වී තිබේ. මෙම භූමිය පුරාවිද්‍යා ස්ථානයක් ලෙසට ගැසට් කර ඒ පිළිබඳව නාම පුවරැවක්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සවිකර තිබේ. එවැනි ඉඩමක් වගා කිරීමට බලපත්‍ර දිය හැකිද යන්නත් ගැටලුවකි. පුරාවිද්‍යා ආඥා පනත අනුව පුරාවිද්‍යා ස්මාරකයක සිට මීටර් 400ක් දුරට ප්‍රේරක කලාපයක් පවතී.

ගල් පර්වතයක් මත පැරණි ගොඩනැගිල්ලක් පැවති බවට සාධක මෙම ස්ථානයේ පවතී. අවට කුඹුරු හා වනවදුල් පැතිර තිබේ. ඒ අවට ඉඩම්වලද පුරාවිද්‍යා නටබුන් බහුලය. වනසා දමා ඇත්තේ එලෙස වනවදුලට යටව තිබූ පැරණි නටබුන්ය.

මෙම පුරාවිද්‍යා ස්මාරකය ඩෝසර් කිරීම ගැන සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පසුගිය 11දා පැවසීය. මම පුරාවිද්‍යා ස්ථානය නිරීක්ෂණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද යවා ඇත.

පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරාම අනුරාධපුර යුගයේ සහ මහනුවර යුගයේ පුරාවස්තු ඉපැරණි විහාර පැතිර තිබේ. ශ්‍රී වනසිංහ විහාරය, අඹරැලි ටැම්පිට විහාරය, ඇල්ලේවැව පුරාවිද්‍යා නටබුන්, කහල්ල පුරාවිද්‍යා ස්ථානය, කහල්ල පුරාවිද්‍යා නටබුන්, කිණිහිර වෙහෙර, නඛා වෙහෙර, යාන්ලෙන පුරාණ රජමහා විහාරය ඒ අතරින් කිහිපයකි.

උතුරේ පමණක් නොව අපේ උරුමයේ තොටිල්ල වන අනුරාධපුර ප්‍රදේශයේද පුරාවස්තු මෙලෙස විනාශ වීම සැබවින්ම කනගාටුදායකය. අපට නම් පේන්නේ මොන ආණ්ඩු ආවත් පිඹුරාගේ පුල්ලි එලෙසම පවතින බවයි. පසුගිය ආණ්ඩුව කාලේ 2018දී කලාවැව විජිතපුර ප්‍රදේශයේ නටබුන් ඩෝසර් කළේ උදාගමකට පාරක් කැපීමටය. දැන් අවධානයෙන් සිටිය යුත්තේ කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා පලාගලට පැමිණි ඩෝසරය ඊළඟට යන්නේ කොහෙද කියාය. ඊළඟ ස්ථානයක් ඩෝසර් කිරීමෙන් පසු අපට මෙවැනිම ලිපියක් ලිවීමට පුළුවන.

සේයාරූ: Amazing Lanka වෙබ් අඩවියෙනි.
 කුසුම්සිරි විජයවර්ධන