පසුගිය 7දා කොළඹ අගරදගුරු මැඳුරේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවකට මාධ්‍යවේදීහු ආරාධනා ලැබූහ. එහෙත් මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ කුමන ප්‍රස්තුතයක් අරභයාදැයි රහසක් විය. කාදිනල්තුමා සමඟ මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ සහ පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදීන් ද සිටි අතර, එය පැවැත්වෙන්නේ මුතුරාජවෙල පරිසර අර්බුදය පිළිබඳව බව මාධ්‍යවේදීන් දැනගත්තේ එහි ගිය විටය.
වනජීවී සංරක්ෂණ අභයභූමියක් වන මුතුරාජවෙල තෙත්බිමෙහි කොටසක ළඟදි පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක් බව සඳහන් පුවරු සවිකර තිබෙනවා. රක්ෂිත කලාපයක් පෞද්ගලික ඉඩමක් වුණේ කොහොමද කියන එක තමයි අපට තිබෙන ගැටලුව. අගරදගුරුතුමෝ එහිදී පැවසූහ. වැඩිදුරටත් කතා කළ එතුමා මෙසේ ද කීහ.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලය හරහා මුදල් ගෙවා පෞද්ගලික සමාගමක් මෙහි අක්කර 700ක් ලබාගත් බවටත් එහි සංචාරකයන් සඳහා වන බහුකාර්ය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන බවටත් අපට ආරංචි ලැබී තිබෙනවා. ගොඩනැගිලි, ගෝල්ෆ් පිටි, ව්‍යායාම මංතීරු ආදිය ඉදිකර මුතුරාජවෙල විනාශ කරන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ දෙන්නෙ නැහැ. අපි මේ ව්‍යාපෘතියට විරුද්ධයි. පෞද්ගලික ඉඩමක් බව සඳහන් කර සවිකර ඇති පුවරු වහා ඉවත් කරන්නැයි අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් මෙම ව්‍යාපෘතියට එරෙහිව ජනතාව පෙළගස්වන ලෙස ඒ අවට මීසම් භාර පියතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.
රට අයිති එහි පාලකයන්ට හෝ ආර්ථිකය මෙහෙයවන සමාගම්වලට හෝ විදේශීය බලවේගවලට නොවෙයි. රට අයිති එහි ජීවත් වන ජනතාවටයි. රට පාලනය කරන අයට වසර 5 – 6ක කාලයකට රට බලාගන්නා වගකීම මිස අයිතියක් ලබා දී නැහැ. දූෂිත නිලධාරීන් ජනජීවිත අවුල් කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ට පාරට බැස ගෙදර යාමට සිදුවේවි. ජනතා දේපලක් වන මුතුරාජවෙලට අයිතිය කියන්නට කවුරුහරි එනවා නම් ජනතාව ඊට විරුද්ධ විය යුතුයි.
අගරදගුරුතුමාගේ මාධ්‍ය හමුවත් සමඟ මුතුරාජවෙල පරිසර අර්බුදය අලුත් මානයකට පිවිස ඇත. ඒ ගැන නැවතත් කතාබහක් ගොඩනැගී ඇත. නමුත් පෞද්ගලික ඉඩමකි යැයි සවිකළ නාමපුවරු තවමත් එසේමය. මේ ගැටලුවට මුල පටන්ම මැදිහත් වූ මුතුරාජවෙල සුරුකීමේ සංවිධානයේ දිනුෂ නානායක්කාර අපට පැවසුවේ මෙවන් කතාවකි.
මුතුරාජවෙල අවට විශාල කතෝලික ජනතාවක් ජීවත් වෙනවා. අගරදගුරුතුමා ඒ මීසම්වල සියලුම පල්ලිවලට නියෝජිත රදගුරුතුමෙක් එවා මුතුරාජවෙල ගැන ප්‍රදේශවාසීන් දැනුවත් කළා. මේ විනාශයට එරෙහිව නැගී සිටීමට පරිසර කමිටු හැම පල්ලියක්ම මුල්කරගෙන හදනවා. ඒ අපේ ගම වන මුතුරාජවෙල රුකගැනීම සඳහායි. දැනට සවිකර තිබෙන පෞද්ගලික ඉඩමකි^ යන නාමපුවරුව ඉවත් කර නැවත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නාමපුවරුව සවිකරන තෙක් අපේ සටන ගෙනියනවා. වනජීවී නාමපුවරු ගලවා දමපු තැන්වල ඒවා සවි කරපු බට කෑලි තවමත් තිබෙනවා. මෙසේ නාමපුවරු ඉවත් කිරීම ගැන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමාගමට විරුද්ධව දාපු නඩුවකුත් උසාවියේ තිබෙනවා.
අපට නම් පේන්නේ වගකිවයුතු ආයතනවල රාජ්‍ය නිලධාරීන් එකතුවෙලා මුතුරාජවෙල පාවාදීලා තිබෙන බවයි. අපි 2017 දී දැමූ නඩුවෙන් පසු නියෝගයක් දීලා තිබෙනවා අභයභූමිය නැවත මැන මායිම් සලකුණු කර උසාවියට ඉදිරිපත් කරන්න කියලා. නමුත් වනජීවී නිලධාරීන් ඒක කරලා නෑ.
ලංකාවේ විශාලතම වෙරළාශ්‍රිත ලවණ වගුරුබිම වන මුතුරාජවෙල කැලණි ගං මෝයේ සිට මීගමුව කලපුව දක්වා පැතිර තිබේ. නාගරික හා කාර්මික ප්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්ත වී ඇති මේ පරිසර කලාපය තෙත්බිම්, ඇළ මාර්ග, කඩොලාන පරිසරවලින් යුක්තය. 1994 දී මධ්‍යම පරිසර අධිකාරියේ තෙත්බිම් සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් මුතුරාජවෙල හා මීගමුව කලපුව සඳහා සංරක්ෂණ සැලසුමක් හා කළමනාකරණ සැලසුමක් ද සකස් විය. එයට අනුව කොළඹට නුදුරු තෙත්බිම් ප්‍රදේශය උප කාර්මික කලාපය ලෙසත්, මීගමුව කලපුව ආශ්‍රිතව පිහිටි කොටස මුතුරාජවෙල අභයභූමිය ලෙසත්, ඒ අතර කොටස ස්වාරක්ෂක කලාපය ලෙසත් වෙන් කෙරිණි. 1996 ඔක්තෝබර් 31දා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් හෙක්ටයාර් 1028.62ක භූමියක් අභයභූමියක් ලෙස ප්‍රකාශ කෙරුණි. ස්වාරක්ෂක පරිසර ආරක්ෂක කලාපය 2006 දී ප්‍රකාශ කළ අතර එයට අයත් භූමි ප්‍රමාණය හෙක්ටයාර් 206.67කි. යළිත් 2018 දී මුතුරාජවෙල තෙත්බිමේ තවත් හෙක්ටයාර් 162.10ක් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයට එක් කළේය.
අගනුවර ආසන්නව අධික ජනගහණයක් කේන්ද්‍ර වී තිබෙන මුතුරාජවෙල නිරතම අවදානම්වලට මුහුණදුන් භූමි කලාපයකි. අගනුවර කසළ පුරවන බිමක් ලෙසද මෙහි කොටසක් යොදාගත් අතර අබලි ද්‍රව්‍ය ගොඩ කරන තැනක් ලෙසද බොහෝ තැන් යොදාගෙන තිබේ. අනවසරයෙන් ඉඩම් ගොඩකිරීම මෙන්ම අභයභූමියට අයත් ඉඩම්වල අනවසර ඉදිකිරීම් ද බහුලය. පසුගිය කාලයේ මුතුරාජවෙල මහා පරිමාණ ව්‍යාපෘති සඳහා යොදාගැනීමට ගත් උත්සාහයන් ගැන කිහිප වරක්ම වාර්තා විය. ඒවාට එරෙහිව පරිසර සංවිධාන විශාල හඬක් නැගුවේය.
වර්ෂ 2018 දී මුතුරාජවෙල අභයභූමියේ අක්කර 406ක භූමි ප්‍රමාණයක් ගොඩකර නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට මැල්වත්ත සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබුණි. අභයභූමියට අයත් තෙත්බිම් ගොඩකර සිදු කිරීමට නියමිත වූ ඒ ව්‍යාපෘතිය පරිසර සංවිධානවල ක්‍රියාවලිය නිසා නතර කිරීමට හැකි විය. ඊට පසු ජාඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෑවල අක්කර 50ක භූමියක් ගොඩකර කර්මාන්තශාලාවක් තැනීමට උත්සාහ කෙරිණි.
මුතුරාජවෙල 1989 දී සකස් කළ ආසියානු තෙත්බිම් නාමාවලියේද ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත්බිම් 41 අතරට අයත්ය. එය ලංකාවේ ප්‍රමුඛ තෙත්බිම් පද්ධති 12න් එකක් ලෙසද හඳුනාගෙන තිබේ. මේ අතර පසුගිය දෙසැම්බරයේ මුතුරාජවෙල හෝටල් සංකීර්ණය සඳහා පරිසර අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අදාළ සමාගමට අවසර ලබා දී තිබේ. මැල්වත්ත ප්‍රොපටීස් සමාගමට අයත් සින්නක්කර ඉඩම් අක්කර 600ක් මේ ව්‍යාපෘතියට යොදාගන්නා බව පැවසෙන අතර, ඊට යාබද මුතුරාජවෙල අභයභූමියට අයත් ඉඩම් කොටස් කිහිපයක් ද එයට ඇතුළත් බව පැවසේ.
මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මුතුරාජවෙල ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් නිත්‍යනුකූල නොවන කිසිදු පියවරක් ගෙන නොමැති බවයි. මේ අතර මැල් ප්‍රොපටි ඩිවලොප්මන්ට් සමාගමේ සභාපති අජිත් පණ්ඩිතරත්න පවසන්නේ අදාළ මුතුරාජවෙල ව්‍යාපෘතියට සම්බන්ධ පරිසර ශක්‍යතා වාර්තාව එම කාර්යයන් සිදු කරන ප්‍රධාන පෙළේ ස්වාධීන ආයතනයක් මගින් සම්පාදනය වෙමින් පවතින බවත් ඊට පසු එය මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කරන බවත් ඒ අනුව නිවැරදි තීරණයක් ගත හැකි බවත්ය.
කුසුම්සිරි විජයවර්ධන