2021 ජනවාරි 16 වන සෙනසුරාදා

අලුතින් එන බැංකු තුනේ සංස්ථාව

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

රාජ්‍ය බැංකු තුනක් එකතු කර වෙනම බැංකු සංස්ථාවක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB) නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) යන රාජ්‍ය බැංකු තුන එක්කොට ජාතික සංවර්ධන බැංකු සංස්ථාව (NDBC) නමින් මෙම සංස්ථාව ආරම්භ කිරීමට දැනට කටයුතු සකස් වෙමින් පවතී.

පසුගියදා පෙර දැක්ම 2021 මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්තිය 2021 වසර වෙනුවෙන් එළිදැක්වීමේ උත්සවයට එක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මුලින්ම මේ පිළිබඳ අනාවරණය කර තිබුණි. එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මෙම පියවර ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුකරණයේ නව යුගයක් උදා කරනු ඇති බවය. ඔහු පැවසුවේ මෙතෙක් කල් තනි තනිව පැවති රාජ්‍ය සංවර්ධන බැංකු එකට එකතු කර ශක්තිමත් රාජ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පැන නැගී තිබුණු බවය. රටේ සංවර්ධන ව්‍යාපාරවලට එම බැංකු දායක කර ගැනීම කාලීන අවශ්‍යතාවක් බවද ඔහු පවසා සිටියේය. ඉදිරියේදී රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් ව්‍යවසායකයන්ට පුළුල් සේවාවක් සැලසීමට කටයුතු කරමින් සිටින අතර මෙම වෙනස ද එහි එක් පියවරක් බව ඔහු කීවේය.

දැනට අපේ රටේ බැංකු හතක් සහ පෞද්ගලික බැංකු දොළහක් ක්‍රියාත්මකය. සියල්ල එම බැංකුවලට අදාළ බැංකු පතන් මගින් පිහිටුවා ක්‍රියාත්මක කෙරේ. මෙම රාජ්‍ය හා පෞද්ගලික බැංකු 19යම ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය සහ නියාමනය කෙරේ. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව බැංකුවල ක්‍රියාකාරීත්වය පිළිබඳ නිති අවධියෙන් සිටින අතර ඒවා යම් පරිහානියකට පත්වන්නේ නම් ඒ පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ග ගෙන නිවැරදි මඟකට යොමු කරනවා ඇත. පසුගිය සමයේ සෙලාන් බැංකුව ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කිරීම හොඳම උදාහරණයකි. බැංකුවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමද ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙහෙයවනු ලබයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ පෙර දැක්ම යන පූර්ව මැතිවරණ ප්‍රතිපත්ති මාලාව අනුව රටේ බැංකු පද්ධතිය ප්‍රති සංවිධානය කරන බව දැක්වේ. එහිදී ජාතික මට්ටමේ සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරන බව දක්වා තිබේ. මෙම ප්‍රයත්නය ද එහි එක් කොටසක් බව පෙනෙන්නට තිබේ. මෙම බැංකු තුනේ සමස්ත සේවක සංඛ්‍යාව 5000ක් පමණ වන අතර එම සේවකයන් මෙම සංවර්ධන බැංකු සංස්ථාවට අනුයුක්ත කරනවා ඇත. ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් සුරක්ෂිත කරන බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙම යෝජිත නව ආයතනය අපේ සමස්ත බැංකු පද්ධතිය නව මගකට යොමු කරන පූර්වාදර්ශයක් බව රජයේ අදහසය.

මෙම බැංකු සංස්ථාව ස්ථාපිත කිරීම හා එහි පරමාර්ථය පිළිබඳ පැහැදිලි කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ මෙවැනි බැංකුවක් පිහිටුවීමේ හේතුව වන්නේ රටේ සංවර්ධන කාර්යයට දායක කර ගැනීම බවය.

මේ අලුත් බැංකුවෙන් කරන්නේ සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීමක්. මෙතෙක් කල් බැංකුවලින් ජනතාවට ණය දුන්නේ ඒ අයගේ අවශ්‍යතා සඳහායි. නිවාස තැනීම, ඉඩම් මිලදී ගැනීම, සංවර්ධනය කිරීම සහ තවදුරටත් පාරිභෝජන අවශ්‍යතා සඳහායි. දුප්පත් ජනතාවගේ විවිධ සුබසාධන අවශ්‍යතා සඳහා ද ණය දුන්නා. එහෙත් මෙම බැංකු සංස්ථාව ඉන් ඔබ්බට ගොස් රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක වීම මෙහි අරමුණයි. ආණ්ඩුවේ මැතිවරණ ප්‍රකාශනවල සඳහන් කරුණු ඉටු කිරීමක්ද මෙමගින් සිදුවෙනවා.

මහා පරිමාණ සංවර්ධන කාර්යයන් සඳහා මෙම බැංකුව ආණ්ඩුව වෙනුවෙන් ස්වකීය දායකත්වය ලබා දෙනවා. ඒ අනුව රට තුළ ආයෝජනයට කැමැති මහා පරිමාණ දේශීය හා විදේශීය ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සැපයීම සහ මගපෙන්වීම නිරතුරුව කරනවා. ලොව දියුණු රටවල මෙවැනි සංවර්ධන බැංකු ක්‍රියාත්මකයි. මෙයට පෙර මේ දෙඅංශයටම අරමුදල් සැපයීමේදී අනුග්‍රහය දැක්වූයේ අපේ රටේ රාජ්‍ය බැංකුයි. එහෙත් මෙම බැංකුව පිහිටුවීමෙන් පසු වැඩිපුර අවධානය දක්වන්නේ රටේ ආර්ථික සංවර්ධනයට අතහිත දෙන ව්‍යාපාර සංවර්ධනය කිරීමටය. මෙය අපට අලුත් අත්දැකීමක්.

මෙතෙක් කල් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පවා ස්වකීය ව්‍යවසායකයන්ට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමේදී හා එම කර්මාන්ත අපේ රටේ ස්ථාපිත කිරීමේදී විවිධ ගැටලු ඇතිවුණා. එහිදී ඇතැම් ආයෝජකයන්ට ස්වකීය ආයෝජන අවස්ථා පවා අතහැර දැමීමට සිදුවන තරමට කලකිරු‍ණේ එම බාධක නිසායි. එහෙත් මෙහිදී එම තත්ත්වය අවම කරගෙන ස්වකීය ව්‍යාපාර ඇපයට තබා ණය සපයා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

මෙම අලුත් සංවර්ධන බැංකු සංස්ථාව මගින් බැංකු ක්ෂේත්‍රය නව මගකට යොමු කිරීමට අපේක්ෂිතයි. එය අපේ ජාතික සංවර්ධනයේ නියමුවකු වෙනවා ඇති.

මේ පිළිබඳ අදහස් දක්වන බැංකු ක්ෂේත්‍රයේ ප්‍රබලම වෘත්තීය සමිතියක් වන ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විමල් චන්ද්‍රසේන පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් කර ඇති නව බැංකු සංස්ථාව පිහිටුවීමේ ප්‍රයත්නය අගය කරන නමුත් එය පිහිටුවීමේදී පාරිභෝගිකයන්ට සහ බැංකු සේවකයන් සඳහා වඩාත් ඵලදායී පියවර ගැනීම අවශ්‍ය බවය. නව බැංකු සංස්ථා පනතක් මගින් මෙම සංස්ථාව පිහිටුවිය යුතු අතර සැමටම සාධාරණ වන ප්‍රතිපාදන එයට ඇතුළත් විය යුතු බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව බැංකුවල ප්‍රාග්ධනය පිළිබඳ තීන්දු ගන්නේ ජාත්‍යන්තර නියාමනයට අදාළ බාසල් 3 සම්මුතිය අනුවයි. මෙම බැංකු තුන වෙන වෙනම ගත් විට ඒවායේ ප්‍රාග්ධනය සතුටුදායක මට්ටමක නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ යෝජනාව අනුව මේ බැංකු තුන එක් කළ විට ප්‍රාග්ධනය යහපත් මට්ටමකට ගෙන ආ හැකියි. එසේම එක අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය කරන නිසා පරිපාලනය වඩාත් පහසු වෙනවා. පරිපාලන වියදම් සහ වෙනත් වියදම් අඩු වෙනවා. බැංකුවල කාර්යමණ්ඩලයේ ද යම් සීමා කිරීම් ඇතිවෙනවා. සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සහ උසස් කළමනාකරණ ක්ෂේත්‍රවල තනතුරු සංඛ්‍යාව 1/3කින් අඩු වෙනවා. එය විශාල යහපතක්.

මෙහිදී ගෝලීය තොරතුරු පද්ධතියකින් ගනුදෙනුකරුවන්ට වඩාත් කාර්යක්ෂම සේවයක් සැපයිය හැකි තාක්ෂණයක් අද ලොවට ගැලපෙන ලෙස සැකසිය හැකි වෙනවා. මෙම තත්ත්වය මත අදට වඩා පාරිභෝගිකයන් බැංකු කෙරෙහි රඳවා ගැනීම පහසු වෙයි. පාරිභෝගිකයන් ළඟ ඇති මුදල් ඇදගැනීමේ තරගය අඩු වෙනවා. උපක්‍රමශීලී බවද මෙලෙස අවම වීම හොඳයි. එසේම පාරිභෝගිකයන් තුළ දැනට මෙම බැංකු තුනේ නම් පිළිබඳ යම් අප්‍රසාදයක් තිබේ නම් එය අහෝසි වෙයි. අලුත් නමක් දැමීම නිසා ඒ පිළිබඳ නැඹුරුවක් ඇතිවිය හැකියි. එසේ වුවද දැනට පවතින නම් කෙරෙහි යම් ආකර්ශනයක් ඇතිකරගෙන ඇති පාරිභෝගිකයන්ට අලුත් නමට හැඩගැසීමට යම් අපහසුතාවයක්ද ඇතිවිය හැකියි.

දැනට එකතු කිරීමට අපේක්ෂිත මෙම බැංකු තුනෙන් රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු දෙක රාජ්‍ය බැංකු වන අතර නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ කොටස්වලින් සියයට 49ක් පෞද්ගලික අංශයේ වන අතර, සියයට 51ක් රජයට අයිති වෙනවා. එසේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අනුබද්ධව පවත්වාගෙන එන ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවද මෙම යෝජිත සංස්ථාවට එක් කිරීමේ ප්‍රයත්නයක්ද පවතින බව දැනගන්නට ලැබෙනවා. කෙසේ වුවද මෙම අලුතින් ස්ථාපිත කිරීමට නියමිත ජාතික සංවර්ධන බැංකු සංස්ථාවක් ඇතිකිරීමට ගන්නා ප්‍රයත්නය ලංකා බැංකු සේවක සංගමය අගය කරන අතර, එහිදී රටට ජනතාවට සහ බැංකු සේවක මණ්ඩලය යන සෑම අංශයකටම යහපතක් ගෙන දිය හැකි යෝජනා අන්තර්ගත විය යුතු බව අප අවධාරණය කරනවා.

ඔහු පවසන්නේ වසර 77ක ඉතිහාසයක් ඇති ලංකා බැංකු සේවක සංගමය පෞද්ගලීකරණයට නිතරම එරෙහි වන බවය. බැංකු පද්ධතිය පමණක් නොව වෙනත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට පසුගිය රජයවල් මෙන්ම වර්තමාන රජය ද ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රබල ලෙස විරෝධය පාන අතර, එම බොහෝ සටන් ජයගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා කියයි. ඔහු පවසන්නේ දැනට යෝජිත බැංකු සංස්ථාව රාජ්‍ය සංස්ථාවක්ද, පෞද්ගලික සංස්ථාවක්ද යන ගැටලුව පැන නැගී ඇති බවය. මෙහි ව්‍යුහය පිළිබඳ පැහැදිලි විය යුතු අතර එය සම්පූර්ණ රාජ්‍ය බැංකු සංස්ථාවක් විය යුතුය යන්න තම සංගමයේ සංථාවරය බව ඔහු කියා සිටී.

ඔහු මෙසේ ද කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම අනුව රටට ගැලපෙන ජාතික මට්ටමේ සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරන බව කියනවා. අපි කියන්නේ එම සංවර්ධන බැංකුව මෙය විය යුතු බවයි. එසේම මෙම බැංකු තුන ඇත්තේ වෙන වෙනම බැංකු පනත් තුනක් යටතේයි. අපේ ඉල්ලීම වන්නේ මෙම පනත් තුනම අහෝසි කර එක සංවර්ධන බැංකු පනතක් නිර්මාණය කළ යුතු බවයි. එසේම මෙම ආයතනය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත විය යුතු වෙනවා.

ශ්‍රී ලංකාවේ දැනට ශ්‍රී ලංකා මහ බැංකු ආඥා පනත අනුව බැංකු වර්ග දෙකක් පවතිනවා. ඒවා නම් විශේෂ බලපත්‍රධාරී බැංකු සහ වාණිජ බැංකුයි. මෙම බැංකු තුනම පිහිටුවා ඇත්තේ විශේෂ බලපත්‍රධාරී බැංකු පනත අනුවයි. මේ නිසා එම බැංකුවලට ජංගම ගිණුම් ඇති කිරීමට ප්‍රතිපාදන තිබුණේ නැහැ. එහෙත් අලුතින් පිහිටුවන බැංකුව වාණිජ බැංකුවක් විය යුතු අතර ඒ අනුව ජංගම ගිණුම් පවත්වාගෙන යාමට අවස්ථාව සැලසිය යුතු වෙනවා. එසේම සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා තොරතුරු තාක්ෂණික පද්ධතියක් ස්ථාපිත කළ යුතු වෙනවා. මෙම සියලු පහසුකම් බැංකු පනත සකස් කරන අවස්ථාවේදීම එකවර අන්තර්ගත කළ යුතුයි. එවිට විටින් විට සංශෝධන කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන අතර පාරිභෝගිකයාට පහසුකම් සලසමින් ස්ථිරව සේවය කළ හැකි වන බවද පැවසිය යුතුයි. මුල් පනත්වල තිබූ අඩුපාඩුකම් මෙම නව පනතේදී දුරු කළ යුතු වෙනවා.

ලංකා බැංකු සේවක සංගමය මෙම නව බැංකු සංස්ථාවේ සේවකයන්ගේ අයිතීන් පිළිබඳව යෝජනා ඉදිරිපත් කරයි. මුලින් වෙන වෙනම තිබූ බැංකු තුනේ සේවකයන් අතර නොයෙක් විෂමතා ඇතිව තිබුණු අතර මෙම අලුත් බැංකුව තැනීමේදී එම අඩුපාඩු මගහැරවීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දෙයි.

මේ බැංකු තුනේ සේවකයන්ට හිමිව තිබූ වරප්‍රසාද සහ අයිතිවාසිකම් නිකම්ම නිකම් ලැබුණු ඒවා නොවෙයි. අපේ සංගම් සටන් කරලා ලබාගත් දේවල්. බැංකුවල සේවක වැටුප් මට්ටම් සමාන කර ගත්තා. වැටුප් වැඩිවීමේ ගිවිසුම්වලට එළඹුණා. තනතුරුවලට තිබිය යුතු සුදුසුකම් පිළිබඳ එකඟතාවලට පැමිණියා. ඇතැම් අවස්ථාවල ඇතැම් බැංකු අතරේ වැටුප් නොවන දීමනාවල යම් වෙනස්කම් තිබෙනවා. කෙසේ වුවද එසේ ලබාගෙන ආ දීමනා සියල්ල කප්පාදුවකින් තොරව සියලුම සේවකයන්ට ලබා දිය යුතු වෙනවා. සේවක රක්ෂණ ආවරණ ඇතැම් බැංකු සේවකයන් ඇති නමුත් සමහර බැංකුවල ඒවා නෑ. මෙහිදී බේදයක් නොමැතිව රක්ෂණය ලබා දිය යුතුයි. මෙම බැංකුවල සේවකයන්ට විශ්‍රාම වැටුප් හිමිකම මෙතෙක් සැලසී නැති අතර සෙසු රාජ්‍ය බැංකුවල මෙන් මෙම සේවකයන් සැමටම විශ්‍රාම වැටුප් සහ විශ්‍රාම වැටුප් පාරිතෝෂිත හිමි විය යුතුය යන්න අපගේ ඉල්ලීමයි. සේවකයන් තෘප්තිමත් කිරීමෙන් පමණයි ආයතනයක කාර්යක්ෂමතාව ඉහළ නැංවිය හැක්කේ. ඒ සඳහා සේවකයන්ගේ සාධාරණ අයිතිවාසිකම් දිය යුතුයි. විශේෂයෙන් බැංකු වැනි මහජනතාව සමඟ සමීපව කටයුතු කරන ආයතනවලට මෙම තත්ත්වය වඩාත් වැදගත් බවයි අපේ අදහස.

විශේෂයෙන්ම බැංකු සංස්ථාව ඉහළ කළමනාකරණ මට්ටමේ තනතුරුවලට පත් කරන අයට අදාළ සුවිශේෂ සුදුසුකම් තිබිය යුතුයි. එසේම විභාග සමත් වුවද ප්‍රායෝගිකව වැඩ කිරීමේ හැකියාව තිබිය යුතුයි. දේශපාලන බලපෑම් මත ඉහළ සිට පහළට සේවකයන් හා නිලධාරීන් බඳවා ගැනීම නොකළ යුතු වෙනවා. පසුගිය සමයේ නොයෙක් දේශපාලනඥයන් ඇතැම් බැංකුවලට දේශපාලන පත්වීම් දීම නිසා බොහෝ අවුල් ඇතිවූ බව අපට පෙනී ගියා. ඒ නිසා මෙම අලුත් බැංකුව ස්ථාපනය කිරීමේදී පසුගිය අවස්ථාවලින් පාඩම් ඉගෙන ගැනීම වැදගත්.

බැංකු ආරම්භ කිරීමේ මූලික අරමුණු ආරක්ෂා කිරීම ඉතා වැදගත්. අද වන විටද හැකි තරම් දුරට එම අපේක්ෂා ක්‍රියාත්මක වී තිබීම සතුටට කරුණක්. කෙසේ වුවද මෙම නව බැංකු සංස්ථාව පිහිටුවීමේදී බැංකුවේ පරමාර්ථ ඉටුවිය යුතු අතර, සේවකයන්ටද ගනුදෙනුකරුවන්ටද යහපතක් සැලසීම වැදගත් වෙනවා. මේ සියලු කරුණු සාකච්ඡා කිරීමෙන් අපට විසඳාගත හැකියි. අතීතයේදීද එවැනි සාකච්ඡා මගින් අප බොහෝ ප්‍රශ්න විසඳාගෙන තිබෙනවා. අපේ ඉල්ලීම් පිළිබඳ අප නිරතුරුව සාකච්ඡා මට්ටමින් සිටිනවා. තවම ස්ථාවර විසඳුමකට එළඹ නැහැ.

පසුගිය මාසයේ 30දා බැංකු තුනේ ශාඛා සංගම්වල නියෝජිතයන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ සාකච්ඡාවක නිරත වුණා. එහිදී උපදෙස් ලැබුණා අපේ අදහස් හා යෝජනා ලිඛිතව ලබාදෙන ලෙසට. මේ වන විට එය සකස් කරමින් සිටිනවා. ඉදිරියේදීද අපි සාකච්ඡාවලට යනවා.

යසවර්ධන රුද්රිගූ