මෙරට පළමු කොවිඩ් රෝගියා හමුවී ජනවාරි 25 වැනිදාට හරියටම වසරකි. චීනයේ හූබෙයි සිට පැමිණි 43 හැවිරිදි චීන ජාතික කාන්තාවකින් ඇරඹි මෙරට කොරෝනා ලේඛනය වසරක් තුළ 50,000 ඉක්මවා ඇත. මරණ 250 පන්නා ඇත. ලෝකයේ බොහෝ රටවල්වල මිලියන ගණනින් රෝගීන් හමුවන විට ලක්ෂ ගණනින් මියයන විට මෙරට මෙපමණ හෝ සංඛ්‍යාවකින් මේ රෝගය යම්තාක් දුරට පාලනය කර ගැනීමේ ගෞරවය සෞඛ්‍ය අංශයටත්, ආරක්ෂක අංශයටත් රටේ ජනතාවටත් උඩින්ම හිමිවිය යුතුය. ඒ මෙපමණ හෝ දුරකට රුකුණේ එකී වගකීම් සහගත එකමුතුව නිසාය.
පසුගිය වසරක කාලයක් පුරා ඇතිව තිබූ අවදානම හමුවේ ලොක්ඩවුන් කිරීම්, සංචරණ සීමා, ඇඳිරි නීති මේ සියල්ල සෞඛ්‍ය ආරක්ෂාව සඳහා යොදාගත් උපක්‍රමය. ඒ නිසා බහුතර දෙනෙක් ජීවත් වුණේ නිවෙස්වලය. හැමදාම රැකිරක්ෂා සඳහා පිටත්ව ගිය අය රැකියා කළේ නිවෙස්වල සිටය. පාසල් ළමුන් ගිය වසරෙන් තුනෙන් දෙකක්ම ගෙදරය. අධ්‍යාපනය ඔන්ලයින් හරහාය. මේ නිසාම රටම ගියේ මළානිකවය. සියලු වැඩ සිදුකළේ එහෙන් මෙහෙන්ය. ඒ නිසා 2020 වසර ගතවුණ හැටි කාටත් පුදුමය. එහෙත් ඒ ආකාරයෙන්ම මේ වසරත් ගෙවන්නේද? නැතිනම් වෛරසය සමග සටන් කර ඊට අභියෝගයක් වන්නේද? සිතිය යුතු කාලය එළඹ ඇත.
පසුගිය 11දා සිට සියලුම රාජ්‍ය සේවකයන්ට සුපුරුදු පරිදි රැකියාවලට පැමිණෙන ලෙසට රජය දැනුම් දී තිබේ. ඒ අනුව මේ වනවිට රාජ්‍ය සේවකයෝද සුපුරුදු පරිදි සේවයට වාර්තා කරමින් සිටිති. එසේම ඒ අතරතුර ඇතැම් පාසල්ද ආරම්භ කර ඇත. මෙතෙක් කල් ඉතාම සීමාසහිත සේවක සංඛ්‍යාවකින් රැගෙන ගිය පෞද්ගලික අංශයද සුපුරුදු ක්‍රමවේදයට සිය රැකියා ස්ථානය කරගෙන යාමට පටන් ගෙන ඇත. ඒ නිසා ක්‍රමයෙන් රට සාමාන්‍ය තත්ත්වයට පෙරළෙමින් තිබේ.
එහෙත් මේ සියල්ල සිදුවන්නේ කොවිඩ් වසංගතය ඉතාම දරුණු තැනට පැමිණි මොහොතකය. එදා දවසට රෝගීන් දෙන්නෙක් තුන්දෙනෙක් හමුවූ අවස්ථාවේ රට ක්‍රියා කළ ඉතාමත් දැඩි ක්‍රමවේද දැන් ඉතාම ලිහිල් තැනට පත්ව ඇත. එහි යථාර්ථය නම් දැන් කොරෝනාවද සාමාන්‍ය අතට පත්ව තිබීමය. එසේ වී ඇත්තේ මේ වනවිට කොරෝනා සමඟ කාලයක් ගතකර ඇති නිසාය. මිනිස් ස්වභාවයේ හැටිය.
කෙසේ වෙතත් ලෝකයේ අනෙකුත් රටවල් මෙන් නොව අප වැනි තුන්වැනි පන්තියේ මැදි ආදායම් ලබන රටක් ලෙස කොරෝනා නොව ඊට වඩා දරුණු වෛරසයක් පැමිණියත් ඊට අනිවාර්යයෙන් මුහුණ දියයුතුමය. පාලකයන් නොබියව කොරෝනාවලට එරෙහිව කටයුතු කරමු යැයි කීවත් ඇත්තම කතාව නම් බය වුවත් කොරෝනා සමඟ කටයුතු කිරීම අනිවාර්යයෙන්ම අප වැනි රටක් සිදුකළ යුතු වීමය.
ආර්ථික උද්ධමනය, නිෂ්පාදන ආර්ථිකය බිඳවැටීම, රැකී රක්ෂා අහිමිවීම, විදෙස් ණය ආදී මේ සියලු ගැටලු හමුවේ ජනතාවට වගකීමට එහා ගිය අවියෝජනීය බැඳීමක් මේ ගැටලු සමඟ එකතුව ඇත. ඒ නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ බැඳීමට මැදිහත් වියයුතුව ඇත. ඒ නිසා අප වැනි රටක් පසුගිය කාලයේ ලබාගත් නිවාඩුව තවත් වසර දෙක තුනකින් ආපස්සට යාමක් හා සමානය. එය පළමු කරුණය.
දෙවැනි කරුණ නම් කොරෝනා නිම වනතෙක් කවදා තෙක් මේ රට වසා දැමීමට හෝ සීමාසහිතව පවත්වාගෙන යා හැකිද යන්න ගැටලුවය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මේ කොරෝනාවල අවසානයක් නැත. වෛරසයේ ප්‍රබේද රාශියකි. ඖෂධ සොයාගත්‍තත් ඒ ඖෂධ ලෝකය පුරාම බෙදී ගොස් එය සෑම මනුස්සයකුටම ලැබෙන්නට මේ වසරම ගතවනු ඇත. එතෙක් සියල්ල වෙනතුරු බලාසිටිය යුතුද යන්න පිළිබඳ ගැටලුවක් ඇත. ලෝක අර්බුද හෝ රටේ අර්බුද නොව තමන්ගේ පවුල් ආර්ථික අර්බුදයට හෝ විසඳුමක්, පිළියමක් සොයන්නට කොරෝනා අවසන් වනතෙක් සිටිය යුතුද? නැත. කිසිසේත් නැත. ඊට අභියෝග කරමින් ජීවත්වන්නට සිදුවනු ඇත.
ඔබ රැකියා කරන ස්ථානය පාඩු ලබා වසා යනතෙක් ඔබට බලාසිටිය නොහැක. ඔබේ ව්‍යාපාරය කොරෝනා නිසා අත් හැරිය නොහැක. දරුවන්ගේ අධ්‍යාපනය සදාකාලික ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ කළ නොහැක. කොරෝනා අවසන් වනතෙක් ගෙදරට වී සිටිය නොහැක. මේ සියල්ල සාමාන්‍ය පරිදි සිදුකළ යුතුය. අභියෝගවලට මුහුණ දීම, සටන් කිරීම මනුස්ස වර්ගයාගේ ප්‍රධානම ලක්ෂණය නිසා මෙවැනි අවස්ථා හමුවේ ඒවා යොදාගත යුතුය. සටන් කළයුතුමය.
එහෙත් අප සටන් කළ යුත්තේ පැරණි උපක්‍රමයටද? නැත. දැන් එළඹ ඇත්තේ ලෝක වසංගත සමයකි. ලෝක වසංගතය වෙනම සංස්කෘතියක් බවට පත්ව ඇත. ඒ සංස්කෘතිය සෞඛ්‍ය සංස්කෘතියකි. අපේ ජීවිතයේ ආගමිකව, ජාතිකත්වය, රටවල් අනුව සංස්කෘතීන් තිබුණත් අද සියලුදෙනාටම එකම සංස්කෘතියකට යටත්ව සිටීමට සිදුව ඇත.
ඒ නිසා ඔබේ ජීවිතය මේ කොරෝනා වසංගතය සමඟ ආරම්භ වන්නේ අලුත් සංස්කෘතියක් සමඟය. අලුත් විනයක් සමඟය. අලුත් නීති රෙගුලාසි සමඟය. එළියට යන විට මාස්ක් එකක් පැළදීම, කොහේ හෝ ගිය පසු දෑත් සබන්දා සේදීම, යන එන සෑම තැනක විෂබීජහරණය ළඟ තබාගැනීම, මීටරයේ පරතරය තබාගැනීම, නිකරුණේ ජනතාව එක්රුස් නොවීම මේ සියල්ල අලුත් ජීවිතයේ සංස්කෘතික ලක්ෂණ බවට පත්ව ඇත. එය සැමදෙනාටම පොදුය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ සංස්කෘතිය හෝ නීති සඳහා ඔබ එකඟ විය යුතුව තිබේ.
එහෙත් ජනතාව පමණක් නොව ඒ අභියෝගය, ඒ අවදානම ආණ්ඩුවද එසේ තබාගත යුතුය. ඒ නීති, ඒ සංස්කෘතීන් පාලකයන්‍ට, පාලකයන්ගේ හිතවාදීන්ට වෙනස් විය නොහැක. සරලවම කිවහොත් නීතිය නැවිය නොහැක. ජනතාව තමන්ගේ කැපවීම ඒ සඳහා යොදවනවා නම් එකී ජනතාවගේ ඕනෑ එපාකම් ගැන රජය මීට වඩා මැදිහත්ව කටයුතු කළ යුතුමය.
හොඳම උදාහරණය වන්නේ ජනතාව අඩුවෙන් පොදු මගී ප්‍රවාහනය භාවිත කරන සමයේ සිදුකළ බස්ගාස්තු සංශෝධනයයි. එහිදී සාමාන්‍ය පරිදි මගීන් රැගෙන යනවා නම් බස්ගාස්තු සාමාන්‍ය පරිදිය. ආසන ගණනට ගෙන යනවා නම් 1.2 කින් ගාස්තු වැඩි විය. ඒ අනුව 12 ගාස්තුව 14 දක්වාත්, 14 ගාස්තුව 17 දක්වාත් වැඩිවිය. එහෙත් දැන් ජනතාව රැකී රක්ෂාවලට පිටව යන නිසා එහි යන එන පිරිස අධිකය. ඒ නිසා බස් රථ යන්නේ ආසන ගණනට නොව අපේ භාෂාවෙන් කියනවා නම් පොල් පටවාගෙනය. ඒත් අයකරනු ලබන්නේ ආසන ගණනට අයකරන මුදලය. සෞඛ්‍ය ආරක්ෂිත නැත. අවදානම වැඩිය. ඊටත් වඩා ජනතාව මුලාකරන මෙවැනි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමුකළ යුතුය.
බොහෝ දෙනා එල්ලකරන චෝදනාව වන්නේ මේ කොවිඩ් වසංගතය බොහෝ අයගේ ආදායම් මාර්ගයක් බවට පත්ව ඇති බවය. මහා පරිමාණ ව්‍යාපාරිකයන් පමණක් නොව කුඩා කඩවල සිටින ඇතැම් ව්‍යාපාරිකයෝද මේ කොවිඩ් වසංගතය ඔවුන්ගේ ආදායම බවට පත්කරගෙන සිටිති. මාස්ක් එකක මිල දෙගුණයක්ය. විෂබීජහරණවල ප්‍රමිතියක් නැත. මේ සියල්ල එක් එක් කළුකඩ මුදලාලිලාගේ සිතැඟි අනුව තීරණයවී ඇත. ඒ නිසා දැන්වත් මේ සටනට එක්වන්නන් සියලුදෙනා අඩුම තරමේ තමන්‍ටවත් අවංක විය යුතුය. හැකි උපරිමයෙන් මේ වෛරසය එරෙහි ජීවන සටනට අවශ්‍ය සහාය ලබාදිය යුතුය.
සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මේ සඳහා දිවා රෑ නොබලා කටයුතු කරන විට ජනතාව වන අප ඒ සඳහා උපරිම සහාය අප ආරක්ෂා වෙමින් ලබාදිය යුතුය. අප ආරක්ෂාවීම තරම් වෙනත් සහායක් නැත. මේ සියලුදෙනා එක්ව කටයුතු කරනවිට රජය ඒ වෙනුවෙන් සහයක් මේ සියල්ලට ලබාදිය යුතුය. එවිට කොවිඩ් සමඟ අලුත් සංස්කෘතියක්, ජීවිතයක් ගෙවන්න හැකිවනවා පමණක් නොව හැකි ඉක්මනින් එය මර්දනය කරන්නත් හැකිවනු ඇත.
I ගයාන් ගාල්ලගේ