2021 ජනවාරි 16 වන සෙනසුරාදා

නිල කාලයට පසු ගෙදර යවන දිනය ඉක්මන් වෙයි

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 41

අප සියලු දෙනාටම වගකීම් පවරන නිල කාල පරාසයක් තිබේ. වැඩකළ හැකි කාල සීමාවක් නිශ්චිතය. රුකියාවකට බෙදන විට විශ‍්‍රාම ගත යුතු නියමිත දිනය නියම කර ඇත. කාන්තා හා පිරිමි කාර්ය මණ්ඩලය වෙනුවෙන් වයස් සීමා වෙනස්ය. ඇතැම් රටවල් විශ‍්‍රාම ගත යුතු දිනය අවස්ථාවෝචිතව වෙනස් කරන බව වාර්තා වෙයි. ශ‍්‍රී ලංකාවේ ශ‍්‍රම බලකාය තුළ තරුණ පිරිස ප‍්‍රතිශතයත් සේ ක‍්‍රමානුකූලව පහත වැටී ඇති බව පර්යේෂණ අනාවරණය කරයි. වයස්ගත පිරිස වැඩිවෙමින් තිබේ. එය නිෂ්පාදන කටයුතුවලට බාධාවකි. විශ‍්‍රාම යන වයස මෑතකදී වෙනස් කරන්නට මෙම තොරතුරු පදනම් කරගත් බව නිසැකය. විද්‍යාඥයෝ ලෝකයේ භ‍්‍රමණය වන වේගය වෙනස් වී ඇති බව සොයාගෙන තිබේ. දවස ගෙවී යන කාලය අඩු වී ඇත. එහි ප‍්‍රතිඵලය ගැන කල්පනා කිරීම උචිත බව සඳහන් කළ යුතුය.

තාරකා විද්‍යාඥයන් සඳහන් කරන අන්දමට මෙම වසර තුළ ලෝකයේ කරකැවෙන සාමාන්‍ය වේගය මයික්‍රෝ තත්ත්පර දශම බිංදුවයි පහකින් (0.05) වැඩි වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් අනුව වසර 2021 සාමාන්‍යයෙන් වසරකට ඇති තත්ත්පර ගණනකට වඩා අඩු ගණනකින් ගෙවී යයි. හිරු උදා වී දවස ගෙවෙන කාලය ඉක්මන් වනවිට අපට පැවැරී ඇති වගකීම් ඉටුකරන්නට කාලය සීමා වෙයි. මෙම සියවසේ කාලය අඩුම වසර වශයෙන් මෙම අවුරුද්ද ඉතිහාසයට එක්වනු ඇති බව කාල ගණනය කරන විද්‍යාඥයන්ගේ තීරණය වී තිබේ. ඉතිහාසයේ කාල හෝරාව ගණනය කර ඇති අතර එහි සංසන්දනය අනුව මෙවැනි අඩුවීමක් වාර්තා කරන්නේ 1937 වර්ෂයට පසුව බව දැක්වෙන අතර එය විශේෂත්වයකි. 

කෙසේ වෙතත් වේගය වැඩිවීම පදනම් කරගෙන මිහිතලයේ පැවැත්මට බරපතළ තර්ජනයක් නැත. විශාල අවාසියක් සිදු නොවන බව තහවුරු කර තිබේ. කෙසේ වෙතත් තවදුරටත් කාලවේලාවන් වෙනස් වුවහොත් දින දර්ශනය නියම ප‍්‍රමිතියකට පවත්වා ගැනීම සම්බන්ධයෙන් වෙනස්කම් කරන්නට පියවර ගැනීමට සිදුවිය හැකිය. ගණන් බැලීම අනුව ජූලි 19 වැනිදා කෙටි දවසක් සේ සැලකේ. තත්ත්පර දශම ගණනකින් අඩු දවසක් ගත කරන්නට ලෝකවාසීන්ට සිදුවීම අමුතු එහෙත් දැනෙන්නේ නැති තීරණයක් විය හැකිය. මෙම කාලරාමුව දිගටම පැවැතියහොත් ලෝකයේ ඔරලෝසු නැවත වතාවක් ආපසු කරකැවීමට සිදුවෙයි. එය එසේ වනු ඇතැයි තවමත් තීරණය කර නැත. නමුත් ලෝකයේ භ‍්‍රමණ වේගය සමග ගෝලීය උණුසුම වැඩිවීමට බලපානු ඇති බව දැක්වෙයි. පරිසර විනාශය ඇතුළු සාධක පදනම් කරගෙන සෑම වසරක් පාසා උණුසුම ඉහළ නැගෙන අතර එය ද්‍රුව ප‍්‍රදේශවල අයිස් දිය වී මුහුදු මට්ටම ඉහළ නගින අනතුරකි. සෑහෙන ගොඩබිම් ප‍්‍රමාණයක් අහිමිවනු ඇති බවට අනතුරු අඟවා තිබේ. පැරිස් සම්මුතිය අනුව උණුසුම වැඩිකරන හේතු පාලනය කිරීමට ලෝකයේ සෑහෙන රටවල් ප‍්‍රමාණයක් එකඟ වී ඇත. මීතේන් වායුව උත්පාදනය කරන්නට බලපාන මනුෂ්‍ය සාධක පාලනය එයින් ප‍්‍රධාන කාරණයකි. 

කාලය සීමාවන බව තේරුම් ගැනීම එදිනෙදා පැවැත්මට බලපාන කරුණකි. අප සියලුදෙනා දෛනික කාලය ප‍්‍රමාණවත් නැති තරමට කාර්යබහුල ජීවිතයක් ගත කරන පිරිසකි. ආර්ථික සහ සමාජ දියුණුව සමඟ එවැනි වාතාවරණයක් උදාවෙයි. විශාල වේගයකින් ගමන් කරමින් තිබුණ සමාජ පසුගිය වසරේදී යම් ප‍්‍රමාණයකට නිසොල්මන්  විය. එයට හේතුව කොවිඩ්-19 වසංගත තත්ත්වයයි. මහත් ධාවනකාරී ස්වභාවයක් ගෙන තිබුණ පැවැත්ම පාලනය කරන සොබා දහමේ පණිවුඩයක් සේ මෙම වෛරසය ගැන අවධානය යොමු කරන්නට ඇතැම්ම ජන සමාජ නැඹුරු විය. මනුෂ්‍යයා මහ පො‍ළොවේ පවතින සම්පත් වේගයෙන් පරිභෝජනය කරමින් සිටි අතර එයින් සමස්ත පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල වෙමින් තිබුණි. කාර්මීකරණය හා සොබාදහම ගැන නොසලකා ගන්නා සංවර්ධන තීරණ මහත් විවේචනයකට හේතු වී තිබුණි. කොවිඩ් වෛරසය සමඟ සමාජ දුරස්ථභාවය සහ ශ‍්‍රී ලංකාව ඇතුළු සමහර රටවල් සෑහෙන කාලයක් වසා තිබීම ගමන ගැන අලුතින් හිතන තරමට සංකීර්ණ පසුබිමක් සකස් කළේය. කෙසේ වෙතත් කොවිඩ් සඳහා එන්නතක් සොයාගැනීම සමඟ පැවැති ව්‍යුහයට නැවතත් ඇතුළුවනු ඇති බව පර්ෙය්ෂකයෝ පෙන්වා දෙන කරුණකි. එම පසුබිම තුළ ලෝකයේ භ‍්‍රමණ වේගය ගැන එන අලුත් තොරතුර වෙනත් මානයකින් පවා අවධානයට ගැනීම සුදුසුය.

ඇතිවීම හා නැතිවීම ලෝක ස්වභාවයයි. විශ්වයේ පවතින පොදු ධර්මතාවලට අනුකූල විය යුතුය. ආගම්වලින් සපයන දර්ශනය පැවැත්ම කෙරෙහි ඉතා වැදගත්ය. ලෝකයේ භ‍්‍රමණ වේගය සුළු වශයෙන් වෙනස්වීම කෙසේ නමුත් රට හා සමාජය වෙනුවෙන් පැවැරී ඇති වගකීම්  වෙනුවෙන් වේගයෙන් තීරණ ගත යුතු අවධියකි. පසුගිය වසර ගත වූ වේගය අප කිසිවෙකුට හිතා ගැනීමට හෝ පුළුවන්කමක් නැත. දින ගෙවී ගියේ වේගයෙන් යැයි අපටම දැනේ. ඉලක්ක කරන ලද කාර්යයන්ගෙන් සෑහෙන කොටසක් සාක්ෂාත් කරගත නොහැකි විය. වසර 2021 උදා වූ දිනයේ සිට අවසන් වූ දවස් ගණන අප නොසලකා හරින වැදගත්ම සාධකයක් වන කාලය ගතවීම ගැන පාඩමකි. අප සියලු දෙනාම වියපත්වන හා රාජකාරි ජීවිතය අවසන් කරන මොහොත තත්ත්පරයක් පාසා ළඟාවෙමින් තිබේ. නවීන විද්‍යාව එය තවත් තහවුරු කරමින් සිටී.

ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

මිලින්ද මොරගොඩ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03