2021 ජනවාරි 16 වන සෙනසුරාදා

අමෙරිකාවට ක්‍රිකට් ගහන්න ලංකාව හැරගිය ෂෙහාන් ජයසූරිය

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

ෂෙහාන් ජයසූරියගේ තුන් ඉරියව් දස්කම් නිසා ඇමරිකානු ක‍්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් විය’ ලෙස ඉදිරියේදී මාධ්‍ය වාර්තා දකින්නට, කියවන්නට ලැබුණහොත් එහි පුදුමවීමට දෙයක් නොමැත. 

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් ජාතික ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයට පැමිණි ‘ෂෙහාන් ජයසූරිය’ නම් මොරටු පුත‍්‍රයා පසුගියදා ඇමරිකාව බලා පිටත්ව ගියේ නිකම්ම නිකන් ඇමරිකාවේ පුරවැසිභාවය ලැබීමේ අරමුණින් නොවේ. ඔහුගේ එක් අරමුණක් වූයේ ඇමරිකානු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගවලට සහභාගි නොවන බව පසුගියදා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම්දීමත් සමඟ ෂෙහාන් බොහෝ දෙනකුගේ කථාබහට ලක්විය. ඔහු 29 වැනි වියේ සිටියදී ශ්‍රී ලංකාව හැර යෑම පිළිබඳව එහිදී දැඩි අවධානය යොමුවිය. ෂෙහාන් ජයසූරිය යනු ශ්‍රී ලංකා වයස 19න් පහළ ක‍්‍රිකට් කණ්ඩායමේ සිට ක‍්‍රම ක‍්‍රමයෙන් ජාතික කණ්ඩායම දක්වා පැමිණි තුන් ඉරියව් ක‍්‍රීඩකයෙකි. වමත් ප‍්‍රවේගකාරී පිතිකරැ වන ෂෙහාන් පිට දඟපන්දු යවන්නෙක් ලෙසද සාර්ථකව සිටියේය.

ෂෙහාන් 2015 වසරේ එනම් ඔහුට වයස 24ක් වනවිට විස්සයි20 සහ එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් වරම් දිනාගැනීමට සමත්විය. ඉන් වසර පහකට පසුව ඔහු පසුගියදා ශ්‍රී ලංකාවෙන් පිටව යනවිට විස්සයි20 ජාත්‍යන්තර තරග 18 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 12 කට පමණක් ක‍්‍රීඩාකර තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් ෂෙහාන්ට අඛණ්ඩව අවස්ථාව දුන්නේ නම් ඔහු මේ වනවිට ජාත්‍යන්තර තරග 50 කට අධික සංඛ්‍යාවකට සහභාගි වී තිබිය යුතුය. නමුත් එය එසේ නොවීය. කාලයෙන් කාලයට පත්වන ක‍්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ගේ කැමැත්ත අකමැත්ත මත ෂෙහාන්ගේ ක‍්‍රිකට් දිවිය එහාට මෙහාට පැද්දුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගියදා ශ්‍රී ලංකාවේදී අවසන් වූ එල්.පී.එල්. තරගාවලිය වනවිට ෂෙහාන්ගේ දස්කම් තරමක් පහත බැස තිබුණි.  

ජනප‍්‍රිය නිළියක් වන මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටින ඩිලානි අබේවර්ධන මහත්මියගේ දියණිය වන කවීෂා කාවින්දි සමඟ විවාහ වීමෙන් පසුව ෂෙහාන්, ඇමරිකාවේ පදිංචියට වරම් ලැබීය. ඇමරිකාව විදේශ ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත ක‍්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. එහිදී පළමුවෙන්ම විස්සයි20 කණ්ඩායමක් සකස් කිරීම ඔවුන්ගේ සැලැස්මය.

ශ්‍රී ලංකාවේ හිටපු ප‍්‍රබල පළමු පෙළ ක‍්‍රීඩකයකු මෙන්ම හිටපු තේරීම් කමිටු සාමාජිකයකු වන සජිත් ප‍්‍රනාන්දු, ඇමරිකානු යොවුන් ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු වීම නිසා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට ඇමරිකාවෙන් ආරාධනා ගලා ආවේය. විස්සයි20 ක‍්‍රීඩකයන්ට පමණක් නොව ටෙස්ට් ක‍්‍රීඩකයන්ට පවා ඇමරිකාවෙන් ආරාධනා පැමිණියේය. එම ආරාධනා අනුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සහ නොකරන ක‍්‍රීඩකයන් රුසක් ඇමරිකාව බලා පිටත්ව යෑමට සූදානමින් සිටි බවද දැනගන්නට තිබේ. 

ඇමරිකාවෙන් ආරාධනා ලැබූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකුගෙන් ‘දේශය’ කළ විමසුමකදී ඔහු පැවසුවේ වැඩි කාලයක් ක‍්‍රීඩා කිරීමට හැකියාව ඇති තරැණ ක‍්‍රීඩකයන්ට ඇමරිකාව වැඩි අවධානයක් යොමුකර ඇති බවයි. 

ඇමරිකාවෙන් මටත් ආරාධනාව ආවා. එයාලා වැඩි අවධානය යොමුකරලා තිබුණේ වයස 20, 22 වගේ ක‍්‍රීඩකයන්ට. ඒත් මේ වනවිට ඇමරිකාවේ පවතින තත්ත්වය නිසා ඒ කටයුතු නැවතිලා තියෙන්නේ* යැයි එම ක‍්‍රීඩකයා වැඩිදුරටත් පැවසීය. ‘කොවිඩ් 19’ වයිරස් අවදානම සහ පසුගිය දෙසැම්බර් මස පැවැති එල්.පී.එල්. තරගාවලියත් නිසා එම බොහෝ ක‍්‍රීඩකයන්ගේ ඇමරිකානු ගමන නතර වී ඇති බව වාර්තා වේ. 

දකුණු අප‍්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම්ද ලැබූ මිනෝද් භානුකද ඇමරිකාවට යන ලැයිස්තුවට ඇතුළත්ව සිටි බව ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ. පා දඟපන්දු යවන අමිල අපෝන්සුද ඇමරිකාවට යෑමට සූදානම්ව සිටි බව දැනගන්නට තිබේ. 

ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට නවසීලන්ත පිතිකරැ කොරී ඇන්ඩසන් සහ එංගලන්ත වේගපන්දු යවන ක‍්‍රීඩක ලයාම් ප්ලන්කට් මේ වනවිටත් ඇමරිකාවට ගොස් සිටිති. ප්ලන්කට්ගේ බිරිඳ ඇමරිකානු ජාතික කාන්තාවක් වන්නීය. වර්තමාන ඇමරිකානු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දීය, දකුණු අප‍්‍රිකානු, පාකිස්තාන් සහ  ඕස්ටේ‍්‍රලියාව යන රටවල්වල ජාතික කණ්ඩායම, වයස 19න් පහළ සහ පළමු පෙළ ක‍්‍රීඩකයෝ රුසක් ඇතුළත්ව සිටිති.
වෙනත් රටවල්වල දක්‍ෂ ක‍්‍රීඩකයන්ට පුරවැසිභාවය ලබාදී ක‍්‍රීඩාකරවීම ඇමරිකාවට අලුත් මෙන්ම නුහුරැ නුපුරැදු දෙයක් නොවන බව මුළු ලෝකයම දක්නා කරැණකි. ඇමරිකාව ශක්තිමත් විස්සයි20 කණ්ඩායමකින් අරඹන ගමන ටෙස්ට් කණ්ඩායමක් දක්වා යාමට සැලසුම් කර තිබේ.  

ෂෙහාන් මේ දක්වා ඇමරිකාවේදී ක‍්‍රිකට් පුහුණුවීම් ආරම්භ කර නොමැති බවත් ඇමරිකාවේදී පැවැත්වීමට නියමිත ලීග් තරගාවලියකට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත් දැනගන්නට තිබේ. වර්තමාන ඇමරිකානු කණ්ඩායමේ ක‍්‍රීඩකයන් දෙස බැලීමේදී ෂෙහාන්ට පහසුවෙන් කණ්ඩායමේ ස්ථානය හිමිකරගත හැකි බව පෙනේ. මේ අනුව ඇමරිකානු ක‍්‍රිකට් කණ්ඩායමට තවත් ශ්‍රී ලාංකික ක‍්‍රීඩකයන් ඉදිරියේදී එකතුවීමට ඉඩ නැතුවාම නොවේ.  

 යොහාන් භාසුර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03