වැඩ කරන ජනතාවට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන සේ නිල වශයෙන් දන්වා තිබේ. කොවිඩ් වයිරසයේ බලපෑම ඉදිරියේ පසුගිය වසරේ සෑහෙන කාලයක් සේවයට වාර්තා නොකර සිටි කාර්යමණ්ඩලයට මෙම තීරණය ප‍්‍රබල බලපෑමකි. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු බව සෞඛ්‍ය අංශ තරයේ අවවාද කරන අතර සේවයට පැමිණීමේ දී හා සේවා ස්ථානයේ දී අවදානමක් ඇතිවන බව නොරහසකි. එක පැත්තකින් ජීවිත ආරක්ෂා කරගත යුතු අතර අනෙක් පැත්තෙන් ආර්ථිකය දියුණු කර ගැනීම සඳහා නොනවත්වා කැපවීමෙන් කාර්යය ඉටු කළ යුතුව තිබේ.
ලෝක තරගකාරීත්වය හමුවේ ශ‍්‍රී ලංකාවේ කම්කරු නීති සම්බන්ධ වෙනස්කම් ගැන ද මෙම කාලවකවානුව තුළ අවධානය යොමු වී ඇති බව පෙනේ. සමහර නීති කාලානුරූපව වෙනස් කරන්න යෝජනා කම්කරු අමාත්‍යංශය ඉදිරිපත් කරයි. එහෙත් මෙම සංශෝධනවලට වැඩ කරන ජනතාව සූදානම් නැත. පසුගිය වසරේ අවසාන භාගයේ දී කම්කරැ අමාත්‍යංශය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් තිබුණු අතර දැනට පවතින නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතු කෙරිණි.
නීති වෙනස් කරන පියවරකට නිලධාරීන්ගේ සූදානම
කම්කරු අමාත්‍යංශයේ නිවේදන අනුව දැනට නිසි පරිදි යාවත්කාලීන වී නැති නීති ගණනාවක් අදට ගැලපෙන පරිදි වෙනස් කරන යෝජනාවක් ඇත. වෙන් වෙන්ව සඳහන් නීති හා ආඥා කිහිපයක් වෙනුවෙන් පොදු නීති හඳුන්වාදීම අවශ්‍ය කර තිබේ. වැටුප් මණ්ඩල තීරණ, කාර්යාල, සාප්පු හා වෙළෙඳ අණ පනත්, ගැබිණි මව්වරුන් සඳහා බලපවත්වන සහන සහ කර්මාන්ත ප‍්‍රඥප්ති ගොනුකර යාවත්කාලීන කරන සූදානමක් තිබේ. වසර ගණනාවක් මෙම නීති වෙනස් කළ යුතු බවට සාකච්ඡා සිදුවිය. කම්කරු නිලධාරීහු හා වෘත්තීය සමිති අතර වාද විවාද හටගැනිණි. පවතින සම්ප‍්‍රදායානුකූල රාමුවට අනුව හැසිරෙන වැඩ කරන ජනතාව එයින් ඔබ්බට අවධානය යොමු කරන සූදානමක් නැත. වැටුප් සමාලෝචන මණ්ඩලවල තීරණ දෙස බලන විට නීත්‍යානුකූලව ගෙවන්නට බල කරන වැටුප ඉතාම අඩු එකකි. එහෙත් සමහර වෘත්තීය අංශවල නිරත කාර්යමණ්ඩලය එම වැටුප් දර්ශකවලට සේවය කරන්නේ නැත. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තරගකාරීත්වයක් තිබේ. අවම වැටුප ගැන සඳහන් කරන නමුත් දැනට ගෙවන සාමාන්‍ය වැටුප පවා එම නිර්දේශවලට වඩා දෙතුන් ගුණයකින් ඉහළය. කාලානුරූපව තීරණ ගැනීම සඳහා පැරණි චක‍්‍රලේඛන වෙනස් කළ යුතුය. මෙම වෙනස්කම් පිටුපස තද පාලනයක් සිදුවනු ඇතැයි විරුද්ධ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති චෝදනා කරමින් සිටී. වැඩ කරන ජනතාව සමඟ සාකච්ඡා කර පුළුල් සංවාදයක් නොතිබීම ගැටලුවලට මුල් වන හේතුවක් බව සඳහන් කරන්නට අවශ්‍යය.
ශ‍්‍රී ලංකාව මැදි ආදායම් රටක තැනකට පැමිණීම සමඟ ශ‍්‍රමයට අය කරන ගාස්තු වැඩි වී ඇත. වෙනදා දෛනික කුලියකට සේවය කරන ශ‍්‍රමිකයකු පවා යම් කාර්යයක් වෙනුවෙන් අය කරන ගාස්තුව ඉහළ නැග තිබේ. වැටුප් වියදම වැඩිවන විට නිෂ්පාදන පිරිවැයට එකතු වෙයි. ලෝක වෙළෙඳපොළට කරන අපනයනයට බලවත් අවහිරයකි. ආයෝජකයන් රටට එන විට රට තුළ පවතින ආර්ථික සහ සමාජ පසුබිම නිරීක්ෂණය කරයි. ආයෝජනය කරන ධනයට ප‍්‍රතිලාභ අවශ්‍යය. නිපදවන දේ වෙනුවෙන් වෙළෙඳපොළක් සකස් කරගත නොහැකි අවස්ථාවල තීරණ ගන්නේ නැත. රජය හා ආයෝජන මණ්ඩලය බලවත් මහන්සියක් දරණ නමුත් දෙස් විදෙස් ආයෝජකයන් රට තුළ කරන නිෂ්පාදනයට වඩා වෙනත් රටකින් ගෙන්වා අලෙවිය පැත්තට නැඹුරු වීම එහි ප‍්‍රතිඵලයකි.
ආර්ථිකය නංවන්නට පරිවර්තනයක් අවශ්‍ය කෙරේ
කොවිඩ්-19 වයිරසයේ බලපෑම ඉතාම තියුණු තත්ත්ව මතු කර ඇති අතර ආදායම අඩු කර වියදම ඉහළ නංවන බරපතළ තත්ත්ව නිර්මාණය කර ඇත. රට නැවතත් සාමාන්‍ය තත්ත්වයට එන්නට කාලයක් ගත විය හැකිය. සංචාරක, ඇඟලුම්, ආහාරපාන අලෙවිසල්, රෙදිපිළි වෙළෙඳාම යන අංශ තියුණු පිරිහීමකය. වසර 2020 වන විට මෙරටට සංචාරකයන් ලක්ෂ විසි පහක් ගෙන්වා ගැනීමට සැලසුම් තිබුණි. පසුගිය වසරේ සංචරණය සීමා විය. මෙම වසරේ පවා ජෛව බුබුල යන ක‍්‍රමෝපාය යටතේ ගෙන්වන ලද සංචාරක පිරිස දහස ඉක්මවන්නේ නැත. එම වැඩපිළිවෙළට ද විශාල විරෝධයක් තිබේ. සංචාරකයන් ආශ්‍රිත කොවිඩ් පොකුරක් නිර්මාණය වීම ගැන ජනතාවට භීතියක් ඇත. එය සාධාරණය. එහෙත් සංචාරක හා ගුවන් සේවා අංශයන්හි සේවය කරන සහ එයින් යැපෙන පිරිසගේ පැවැත්ම ආරක්ෂා කරන්නේ කෙසේද? සංචාරක, ගුවන් සේවා සහ හෝටල් ක්ෂේත‍්‍රයේ ආදායම පිරිහීම රැකියා අවදානම ඇති කරයි. මේවායේ සේවය කරන පිරිස් ආරක්ෂා කර ගැනීමට රජය විශේෂ කාරක වියදම් ණය ක‍්‍රමයක් ඉදිරිපත් කළේය. එහෙත් එම ණය වලින් ද ගෙන යා හැකි සීමාවක් තිබේ. සියලු කාර්යමණ්ඩලය ඔවුන්ගේ පහසුකම් සහිතව ව්‍යාපාර පවත්වාගෙන යන්නට අපහසු අවස්ථාවල ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යය. දැනට ඇති නීති අනුව ස්ථිර සේවකයන් ඉවත් කිරීම පහසු නැත. අවම වන්දි වැඩි කරන යෝජනාව සේවයෙන් කැමැත්තෙන් ඉවත් වීමට ගෙන එන ලද නමුත් එයට ද විරුද්ධත්වයක් පැන නැගී ඇත. වෘත්තීය සමිති, කාර්යමණ්ඩලය හා ආයතන අතර පොදු එකඟතාවයක් අවශ්‍යය.
රජය මෙම වසරේ අයවැයට අලුත් අදහස් එකතු කළේය. එයට අනුව විධායක නොවන ශ්‍රේණිවල කාර්යමණ්ඩලයට රජයේ සේවයට අමතරව වෙනත් තැන්වල සේවය කර ආදායමක් ලැබීමට බාධාවක් නැත. ආර්ථික දුෂ්කරතා මත රජයෙන් ලැබෙන අතිරේක ආදායම අඩුවන විට වෙනත් තැනකින් ලබා ගැනීමට පහසුකම් සැපයීමකි. යෝජනාව අනුව නීති වෙනස් කරන්නට සිදුවෙයි. එවැනි අංශ රටක ඉදිරි ගමනට වුවමනා කෙරේ.
ලිහිල් බව හා සමාන්තරව තද සුපරීක්ෂාවක්
චීනයේ ප‍්‍රකට අලිබාබා ව්‍යාපාරය මුහුණදුන් අත්දැකීමක් පසුගියදා ජගත් ප‍්‍රජාව කම්පාවට පත් කළේය. එහි සේවය කර පසුව ඉවත් වූ භාණ්ඩ ප‍්‍රවාහන අංශයේ නිරත වූ සේවකයෙක් ගිනි තබාගෙන දිවි නසාගන්නට තැත් කළේය. තමන්ගේ රුධිරය වෙනුවෙන් වන්දි ගෙවිය යුතු බව අවසන් අවස්ථාවේ දී ඔහු කියා ඇත. චීනයේ කම්කරු නීති තද නමුත් භාණ්ඩ බෙදාහරින හා වෙළෙඳසල්වල සේවය කරන පිරිසට ගෙවන වැටුප ඉතා අඩු බව සඳහන්ය. වැඩ කළ යුතු පැය ගණන සීමාවක් නැත. 2019 සිට අද දක්වා වන විට එක ඩිලිවරි රියැදුරකු ප‍්‍රවාහනය කළ යුතු ප‍්‍රමාණය හාරසිය ගුණයකින් වැඩි වී ඇති බව ජාත්‍යන්තර සඟරාවක් වන බිස්නස් ඉන්සයිඩර් වාර්තා කර ඇත. අඩුම වැටුපට වැඩිම පැය ගණනක් මහ පාරේ ගත කරන ජීවිත ඉතාම නිස්සාර වී තිබේ. මෙම සිද්ධියට කලින් දිගින් දිගටම රාත‍්‍රී කාලයේ සේවා කිරීම ගැන කලකිරීමට පත් අයකු දිවි නසාගෙන ඇත. තවත් වාර්තාවක සඳහන් වන පරිදි චීනයේ තාක්ෂණික ආයතනවල 996 වශයෙන් වැඩ කරන සංකල්පයක් තිබේ. සතියේ දින හයක් පෙරවරු 9 සිට රාත‍්‍රී 9 දක්වා එක දිගට වැඩ කළ යුතුය. ගිනි තබා ගත් ඩිලිවරි සේවකයාගේ වෛද්‍ය ප‍්‍රතිකාර වෙනුවෙන් පමණක් යුවාන් මිලියනයක් දැනට වියදම් වී ඇති අතර අලිබාබා ආයතනයට අනුව සිද්ධිය ගැන පරීක්ෂණයක් කෙරෙමින් පවතී. එහෙත් සමාජය තුළ ප‍්‍රශ්න පැන නැගී ඇත. බංගලාදේශය, මලයාසියාව, වියට්නාමය වැනි රටවල පවා කම්කරු නීති හා වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම ගැන බලවත් විවේචන තිබේ. චීනයේ සිද්ධිය මහත් ආන්දෝලනයකට මුල පුරා තිබේ.
ශ‍්‍රී ලංකාවේ පවා මහ මග බලවත් අනතුරුදායක ආවේශයකින් භාණ්ඩ බෙදාහරින යතුරුපැදි ගමන් නිරීක්ෂණය කළ හැකිය. නියමිත වේලාවට නියමිත තැනට භාරදිය නොහැකි වුවහොත් දීමනා කපා හැරේ. අවවාද සහිත බැණුම්ය. වාහන අතරින් රිංගා යන යතුරුපැදිකරුවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැත. සුපිරි වෙළෙඳසල්වල සේවයේ නිරත පිරිස ද එයට නොදෙවැනිය. දවස පුරා ගනුදෙනුකරුවන් ඉදිරිපිට සිට ගෙන සේවා කළ යුතුය. කලින් ඇඟලුම් කම්හල්වල ඇතුළාන්තය ගැන විශාල ආන්දෝලන තිබුණු හා සමානව මෙරට කර්මාන්ත හා ව්‍යවසායවල සේවයේ නිරත පිරිසගේ ජීවිත දෝමනස්ස වලින් පිරි ඇති බව පැහැදිලි කරුණකි. වැඩට එන්නට ගත කරන කාලය හා වැඩ කරන ස්වභාවය ගැන පර් යේෂණයක් කළ යුතුය. ජනතාවගේ සතුට හා තෘප්තිය ගැන සොයා බැලීම සුදුසුය. පහසුකම් සහිතව සේවය කළ හැකි රාමුවක් ගැන අවධානය අවශ්‍යය.
ව්‍යවසායකයන්ගේ පැත්ත අතරවාරයේ ශ‍්‍රමික අයිතිවාසිකම්
ශ‍්‍රී ලංකාවේ කම්කරු නීති බලවත්ය. ආයතනයක කටයුතු ඈවර කරන්නට පිළිවෙළ දුෂ්කරය. එක සේවකයකුට පවා සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය දිය යුතුව තිබේ. රට තුළ ව්‍යාපාර කිරීම පහසු නැත. ලෝක බැංකු දර්ශකය එය මැනවින් අවධාරණය කරයි. බදු අය කරන තරම සහ අනෙක් වියදම් අලුත් ව්‍යවසායවලට අවහිර කරයි. සෑහෙන කාලයක් තිස්සේ මෙරට කම්කරු නීති ගැන සාකච්ඡා කර තිබේ. කම්කරු ප‍්‍රඥප්තියක් ගැන දශක ගණනක් තිස්සේ කරුණු හුවමාරු වෙමින් තිබේ. අද වන විට ශ‍්‍රමය සම්බන්ධ අලුත් නීති රීති ඉදිරියට එන බව සඳහන් කළ යුතුය. කාලානුරූප බව හා අලුත් පැතිවලට යොමු විය යුතුව තිබේ. කර්මාන්ත නීති සේවා අංශයට ගැලපෙන්නේ නැත.
පවතින ව්‍යුහය අනුව පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය ව්‍යාප්ත වී තිබේ. කම්හල්වල වැඩ කරන්නේ රොබෝවරුය. රොබෝ වේගයෙන් ජනතාවට සේවය කරන්නට පුළුවන්කමක් නැත. නිෂ්පාදනය හා ඵලදායීතාව සලකා බලා ඒකක ප‍්‍රමාණය වැඩි කර නිවාඩු අඩු කරන තීරණ යුක්ති සහගත නැත. ශ‍්‍රී ලංකාව තරුණ ජවය අඩු රටකි. ඉදිරි කාලය තුළ වයස්ගත පිරිස වැඩිවන බව දැක්වෙයි. ජනගහණය සම්බන්ධ රටා වෙනස් වන ස්වභාවය තුළ වැඩ කරන කාන්තාවන්ගේ ප‍්‍රසූති නිවාඩු සහ අනෙක් පහසුකම් තවත් පුළුල් කළ යුතුව ඇත. යෝජනා අනුව දෙවැනි දරු ප‍්‍රසූතියේ දී නිවාඩු දින ගණන අඩු කරන බව පැවසේ. දියුණු රටවල බිරිඳ හා සමානව ස්වාමි පුරුෂයාට ද ප‍්‍රසූත නිවාඩු දෙන ක‍්‍රමයක් ඇත. එය රටක අනාගතය ගැන අවධානය යොමු කර තීරණ ගැනීමකි. ශ‍්‍රමයට අනුරූපව නීති වෙනස් කරන විට නිවෙසේ සිට සේවය කරන ප‍්‍රමාණය ද වැඩි කළ හැකිය. රජය හා පෞද්ගලික අංශයට කොවිඩ් වසංගත තත්ත්වය සමඟ නිවෙසේ සිට සේවය කරන රාමුවක් සකස් කරගත හැකි විය. එහෙත් එය වෙනස් කර තිබේ. සියලුම සේවකයන්ට වැඩට එන සේ නියම කරන්නේ අවසානව තිබියදීය. නීති තද කරන්නට හා නිෂ්පාදනය ගැන පමණක් අවසානය යොමු කරන අතරවාරයේ සිදුවිය යුතු සාධනීය වෙනස්කම් ගැන ද අවධානයක් අවශ්‍යය.
ගාමිණී සරත් ගොඩකන්ද