ස්පර්ශක රෝග (බෝ වන රෝග - contagious disease) ආඥා පනත
1866 අංක 08
1946 අංක 03
මෙම ආඥා පනත 1866 සම්මත කර ඇති අතර, අවසන් වශයෙන් මෙම ආඥා පනත සංශෝධනය කර ඇත්තේ 1946 වසරේය. එනම්, දැනට වසර 155කට පෙර සම්මත කරන ලද පනතකි. එසේ වුවත්, මෙම පනත මේ දක්වා ක‍්‍රියාත්මකව පවතී. මෙම ආඥා පනත බෝ වන රෝග (ස්පර්ශක රෝග) වශයෙන් හඳුන්වා දීම සහ පැතිරීමට විරුද්ධව පනවන ලද ආඥා පනතකි.
එමෙන්ම, මෙම පනත පිළිබඳව සාකච්ඡා කිරීමට හොඳම අවස්ථාව මෙය බව පැහැදිලිය. මන්ද, දැනට ලෝකය පුරා පැතිරී යන කොවිඩ් 19 නමැති රෝගයත් බෝ වන රෝගයක් වන බැවිනි. මෙම පනත හඳුන්වා දී ඇත්තේ එවකට පැවති වසූරිය, කොළරාව සහ වෙනත් බෝ වන රෝග වැළැක්වීම සඳහාය.
මෙම පනත ලුහුඬු නාමයෙන් හඳුන්වන්නේ බෝ වන රෝග (ස්පර්ශක රෝග) පනත යනුවෙනි.
මෙම ආඥා පනත අනුව අමාත්‍යවරයාට එක් එක් පළාතකට එකී පළාත සඳහා සෞඛ්‍ය සේවා මණ්ඩලයක් පිහිටුවා එම ස්ථානයට සෞඛ්‍ය සේවා නිලධාරීන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පත් කිරීමට මෙන්ම එම නිලධාරීන් ඉවත් කිරීමටද හැකිය.
මෙම පනතින් ඒ ඒ පළාතේ ඇති ටවුන් කවුන්සිලයට, නගර සභාවට හා මහ නගර සභාවට මෙම ආඥා පනත, පීඩාකාරී ආඥා පනත හෝ වෙනත් ආඥා පනත් යටතේ ක‍්‍රියා කළ යුතු බව සඳහන් කර ඇත.
එමෙන්ම, එම ආඥා පනත විධිවිධාන අනුව ශ‍්‍රී ලංකාවේ වෙසෙන සෑම නිවැසියෙකුම ඔහු ජීවත්වන නිවසේ කොළරාව, වසූරිය හෝ වෙනත් බෝවන වන රෝගයකින් පෙළෙන තැනැත්තෙකු සිටිනවා නම් ඒ පිළිබඳව අප‍්‍රමාදව එම නගරයේ ග‍්‍රාමයේ පොලිස් අධිකාරවරයාට, පොලිස් පරීක්‍ෂකවරයෙකුට හෝ ග‍්‍රාම සේවක මහතාට ඒ පිළිබඳව දැන්වීමට බැඳී සිටින අතර, එසේ දැන්වීම නොකර හැරීම වරදක් වන අතර, එම වරද සඳහා රුපියල් 20/= ට නොවැඩි දඩයකට යටත් වන්නේය.
එමෙන්ම, එම නිවැසියා හෝ වෙනත් තැනැත්තෙකු හෝ එම ගමේ, නගරයේ එවැනි සිද්ධියක් පවතින දන්නා වෙනත් තැනැත්තෙකු විසින් ඒ පිළිබඳව වාර්තා කරන සෑම පොලිස් පරීක්‍ෂකවරයෙක්, පොලිස් කොස්තාපල්වරයෙක් හෝ ග‍්‍රාම නිලධාරීවරයෙක් එම කාරණාව එම නගරයේ හෝ ග‍්‍රාමයේ හෝ දිස්ත‍්‍රික්කයේ හෝ පළාතේ පොලිස් අධිකාරිවරයාට හෝ මහේස්ත‍්‍රාත්වරයාට දැන්විය යුතුය.
මෙම රෝගය දැනට සමාජයේ නොතිබුණද, එම නීති ප‍්‍රතිපාදනවලින් පැහැදිලි වන්නේ මෙම රෝගයේ භයානක ස්වරූපයයි. වර්තමානයේ පොලිස් අධිකාරවරයෙකුට හෝ මහේස්ත‍්‍රාත්වරයෙකුට මේ පිළිබඳව දැන්වීම කිසිසේත් පහසු කටයුත්තක් නොවේ.
කෙසේ වුවද, එම කාලය තුළ පැවති මෙම රෝගයේ දරුණු ස්වභාවය නිසා මෙවැනි විධිවිධාන එම පනත මගින් හඳුන්වා දී ඇති බව පෙනේ.
එමෙන්ම, එවැනි තොරතුරක් දන්නා වෛද්‍ය සහයකයෙක් එම තොරතුරු ගමේ පොලිස් පරීක්‍ෂකවරයකුට, පොලිස් කොස්තාපල්වරයකුට හෝ ග‍්‍රාම නිලධාරියකුට එම තොරතුර දැන්විය යුතු අතර, එසේ නොදෙන්නේ නම් ඔහු වරදකට වරදකරු වන අතර, රුපියල් 50/= කට නොවැඩි දඩයකට යටත් විය යුතුය.
යම් කිසි ප‍්‍රදේශයක, ගෘහයක රෝගියකු සිටී නම්, එම නිවසේ බිත්තියේ හෝ දොරේ එම රෝගය පවතින බවට යම්කිසි නිවේදනයක්, සලකුණක් පොලිස් අධිකාරීවරයෙක් හෝ මහේස්ත‍්‍රාත්වරයෙකු ඒ බව දැන්විය යුතු අතර, එම පොලිස් අධිකාරිවරයාගේ හෝ මහේස්ත‍්‍රාත්වරයාගේ අනුමැතියක් නොමැතිව ඉවත් කිරීමට හෝ මකා දැමීම වරදක් වන අතර, වරදකරුවකු වීමේදී රුපියල් 50/= කට නොවැඩි දඩයකට යටත් විය යුතුය.
එමෙන්ම, වසූරිය, කොළරාව හෝ වෙනත් රෝගයන්ගෙන් පෙළෙන තැනැත්තෙක් සිටින පවුලක ප‍්‍රධානියා හෝ නිවසේ හිමිකරු එම රෝගයට ගොදුරු වූ තැනැත්තා රජය විසින් එවැනි තැනැත්තන් ඇතුළු කිරීම සඳහා සාදා ඇති රජයේ රෝහලකට හෝ වෙනත් ස්ථානයකට නිසි ප‍්‍රතිකාර ලබා දීම සඳහා එම නිවසේ හිමිකරු හෝ ප‍්‍රධානියාගේ ඉල්ලීම මත එම රෝගියා ඉවත් කිරීම සඳහා පොලිස් අධිකාරවරයා හෝ මහේස්ත‍්‍රාත්වරයා ලිඛිත නියෝග දීම නිත්‍යානුකූලය. එවැනි නියෝගයක් අනුව එම තැනැත්තා ඉවත් කිරීම ප‍්‍රතික්‍ෂේප කරන හෝ වළක්වාලන කිසියම් තැනැත්තා වරදකරු වන අතර, වරදකරු කිරීමේදී රුපියල් 50/= කට නොවැඩි දඩයකට යටත් වේ.
සෑම නගරයකම, ගමකම, යම්කිසි වීදියක, මාර්ගයක හෝ පොදු ස්ථානයක වසූරිය වැළඳී ඇති රෝගීන් ඇතුළත් කිරීම සඳහා රජය විසින් පිහිටුවා ඇති ස්ථානයකට එම නගරයේ හෝ ගමේ රාජකාරි කරන සෑම පොලිස් පරීක්‍ෂකවරයෙකුම පොලිස් නිලධාරියෙකුම හෝ ග‍්‍රාම සේවා නිලධාරියෙකුම ඇතුළත් කිරීම නිත්‍යානුකූලය. වසූරිය වැළඳී පීඩා විඳින බව දන්නා යම්කිසි වීදියක, මාර්ගයක හෝ පොදු ස්ථානයක සිටිමින් දරුවකු හෝ වෙනත් තැනැත්තෙකු හිතාමතාම සමාජයට නිරාවරණය වෙන තැනැත්තෙකු වරදකරුවෙක් වන අතර, එසේ වරදකරු කිරීමේදී රුපියල් 50/= කට නොවැඩි දඩයකට යටත් වේ.
මෙම පීඩාකාරී පනතේ 05 වැනි වගන්තිය යටතේ බලපත‍්‍රයක් නිකුත් කිරීමේ බලය ඇත්තේ ඉහත සඳහන් කරන ලද සෞඛ්‍ය බලමණ්ඩලයටය. එසේ වුවද, පීඩාකාරී ආඥා පනත යටතේ එවැනි බලපත‍්‍රයක් නිකුත් කිරීමේ බලය එම පරිපාලන කලාපයේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා සතුය.
පීඩාකාරී ආඥා පනතේ 05 වන වගන්තිය අනුව, යම්කිසි නගර සීමාවක් තුළ, ආසන්නයේ හෝ සෞඛ්‍යයට අහිතකර සුවඳක් සහිත නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන නොයා යුතු අතර, එවැනි බලපත්‍රයක් ලබාදිය හැක්කේ අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිවය.
මෙයින් අදහස් කර ඇත්තේ මිනිස් වාසස්ථානයක් ඇති ජනගහන ඝනත්වයක් ඇති ප‍්‍රදේශවල මිනිසාට අහිතකර නිෂ්පාදන ව්‍යාපාර සීමා කිරීම බව පැහැදිලිය.
බෝ වන රෝග ආඥා පනතේ ඉහත සඳහන් විධි විධාන මගින් වසූරිය, කොළරාව මෙන්ම වෙනත් බෝ වන රෝගද පැතිරීම වැළැක්වීම සඳහා ප‍්‍රතිපාදන සපයා ඇත.
මෙම පනත මගින් දැඩි දඬුවම් නියම කර ඇත්තේ බෝ වන රෝගවලින් පොදු ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා බව පැහැදිලිය. එමෙන්ම, ග‍්‍රාම සේවා නිලධාරීන්ට ප‍්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට බලය පවරා ඇත්තේ ඔවුහු ඒ ඒ ගම්වල පොදු ජනතාව සමග ගැවසෙන නිසා බව පෙනේ.
මෙම පනත වසූරිය සහ කොළරාවට පමණක් සීමා වී නැති අතර, අනෙකුත් බෝ වන රෝග, මෙම පනතින් ආවරණය කර ඇත.
එමෙන්ම, දණ්ඩ නීති සංග‍්‍රහයේ ජීවිතයට අන්තරාදායක වූ යම් රෝගයත් පැතිරවිය හැකි වූද, එසේ පැතිර විය හැකි බව තමා දන්නා වූ හෝ එලෙස විශ්වාස කිරීමට කරුණු තිබෙන්නා වූද යම් ක‍්‍රියාවක් ද්වේශ සහගත ලෙස කරන තැනැත්තෙකුට අවුරුදු 02ක කාලයක් සඳහා බරපතළ වැඩ සහිත ඇතිව හෝ නැතිව බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු බව සඳහන් කර ඇත.