“ප්‍රතිසංධානයේ බීජ මුල් බැසගනු ඇත්තේ සමාවදීම් සහ කරුණාව දැක්වීම් තුළින් පමණි. සෑම පාර්ශ්වයකම නායකයන් නිහතමානීව එකිනෙකා මුණගැසිය යුතුය. මේ අරගලයෙන් සිය ජීවිත අහිමි වූ සියලු අහිංසක පුරවැසියන්ගෙන් සමාව අයැදිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කළ යුතුය. මෙවන් අරගලයක් ඇතිවීම වළක්වා ගැනීමට අරගලයේ පාර්ශ්ව වල දේශපාලන නායකයන් සාමූහිකව අසමත්වීම හේතුවෙනි.”
මේ කියමන උපුටා ගත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් වසරකට පසුව 2010 මැයි මාසයේ පත්කරනු ලැබූ “උගත් පාඩම් සහ ප්‍රතිසංධාන” කොමිෂන් සභා වාර්තාවෙනි. එල්.එල්.ආර්.සී. වශයෙන් කෙටියෙන් හඳුන්වනු ලැබූ මේ කොමිෂන් සභාව පත්කරනු ලැබුවේ යුද ජයග්‍රහණයට දේශපාලන නායකත්වය ලබාදුන් එවකට මේ රටේ ජනාධිපතිවරයා වී සිටි වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාය. ඉන්පසුවද තවත් වසර 10ක් ගතවුණද සියලුදෙනාගේ පිළිගැනීමට ලක්වූ මේ වාර්තාවේ නිර්දේශ අදත් පවතින්නේ හමස් පෙට්ටියේය. වචනවලට සීමා වී පවතින මේ වාර්තාවේ සඳහන් කරුණු යළිත් මතකයට නැගෙන්නේ පසුගිය දිනවල යාපනය සරසවියේ ස්මාරකයක් කඩා බිඳ දැමීමේ සිද්ධිය සමඟිනි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නේ මේ රටේ අති බහුතරය වන සිංහල, බෞද්ධ ජනතාවගේ ඡන්දයෙනි. ඒ බව සිය මංගල කතාවේදීම සිහිපත් කළත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් මේ රටේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා බවය. තමන්ගේ ඡන්දය ඔහුට ලබා නොදුන්නත් තමන් පෙළන ප්‍රශ්නවලට රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය මහතා කන්දෙනු ඇති බවට විශ්වාසයක් මේ රටේ සුළු ජන කොටස් තුළද තිබෙන්නට ඇත. ඔවුන්ද මේ රටේම පුරවැසියන් වන නිසාය. ඔවුන් භුක්ති විඳිය යුත්තේ රටේ සෙසු ජනතාව භුක්ති විඳින නිදහස සහ වරප්‍රසාද නිසාය.
එසේ වුවද බලයට පත්වී වසරක් ගත වනවිට රටේ සුළු ජන කොටස් තුළ ඒ හැඟීම එලෙසම නොපවතින බව පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයාට දෙස් විදෙස් හැම තැනින්ම ප්‍රශංසා හිමිවූ කොරෝනා පළමු රැල්ල පාලනය කර ගැනීමේදී රටේ සියලුදෙනාගේ ඉහළම ප්‍රසාදය ජනාධිපතිවරයාට හිමි විය. එසේම කොරෝනා සියලු ජන කොටස්වල පොදු සතුරකු වනවිට ඊට එරෙහිව සිදුකරන සටනට සියලුදෙනාගේම දායකත්වය ලබාගනු ඇතැයි යන බලාපොරොත්තුවද තිබිණි. පළමු රැල්ලේදී එය බොහෝදුරට සිදුවුවත් දෙවැනි රැල්ලේදී එම සහයෝගය දිනාගැනීමට භූමදානයද? ආදාහනයද? ගැටලුව හරස් වීමෙන් එම බලාපොරොත්තුව බිඳ වැටුණේය. එහිදී මුස්ලිම් ජනතාව විසින් කෙරුණු ඉල්ලීම ප්‍රතික්ෂේප විය. පළමු අවස්ථාවේදී ඒ පිළිබඳ ලොවපුරා තිබූ දැනුම අඩුකම නිසා මේ ගැටලුව පසෙක තැබුණත් ඉන් මාස කිහිපයකට පසුව එළඹුණු දෙවැනි රැල්ලේදී ලොවේ සියලුම රටවල් පාහේ අනුගමනය කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය. ඒ සම්බන්ධයෙන් මෙරට වෛද්‍ය විශේෂඥයන් සහ විද්‍යාඥයන් පළකළ මත අනුවද අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදයක් සකසා ගැනීමට ඉඩ තිබිණි. එහෙත් ඒ ඉඩකඩ දේශපාලනය විසින් වසාදමනු ලැබිණි. “උගත් පාඩම්” අමතක කිරීමක් මෙහිදී සිදුවී දැයි කියන්නත් බැරිය.
ඒ කෙසේ වුවත් පක්ෂ දේශපාලනය තුළ ජාතික සහ ආගමික ගැටලු අර්බුද බවට පත්කර ගැනීමේ අවදානම අපේ රටේ ඉතිහාසය විසින් පෙන්වා දී තිබේ. විශේෂයෙන් පොදු අරගලයකදී සියලු ජනකොටස්වලට වගකීමක් තිබෙන බවද එය අවබෝධ කරගෙන කටයුතු කිරීම යහපත් බවද වන වටිනා පණිවුඩය ආණ්ඩුව අමතක කර ඇති බව පෙනේ. ඕනෑම ආණ්ඩුවක් තුළ අන්තවාදී අදහස් තිබෙන විවිධ දේශපාලන පක්ෂ තිබිය හැක. එය මේ ආණ්ඩුවටත් පොදු කරුණකි. එහෙත් ප්‍රමුඛත්වය දිය යුත්තේ එම අන්තවාදී පක්ෂ සැනසීමටද නැතහොත් සියලු ජන කොටස් සැනසීමටද යන තීන්දුව ජනාධිපති - අගමැති ප්‍රමුඛ ආණ්ඩුව මගින් ගත යුතුය. එය දුරදිග බලා ගතයුතු තීන්දුවක් මිස ආවේගශීලී ලෙස ගතයුතු තීන්දුවක් නොවීමත් අවශ්‍යය.
මීළඟට පසුගිය 08 වැනිදා යාපනය සරසවියේ ගොඩනංවා තිබූ යුද්ධයෙන් මියගිය පිරිස් සැමරුම් ස්මාරකය ගලවා දමනු ලැබීය. මෙය යාපනය සරසවියේ උපකුලපතිවරයා විසින් රාත්‍රී කාලයේදී පොලීසිය ගෙන්වාගෙන සිදුකර තිබූ අතර එයට එරෙහිව දැඩි විරෝධයක් මතු විය. 2017 වසරේදී ඉදිකර තිබූ මේ ස්මාරකය විශ්වවිද්‍යාල භූමිය තුළ තිබීම නුසුදුසු බවට උප කුලපතිවරයා තීන්දු කළ බවත් එය ගලවා දැමුවේ ඒ අනුව බවත් ප්‍රකාශ විය.
කෙසේ වුවද එයට එරෙහිව දැඩි විරෝධයක් උතුරේත් නැගෙනහිරත් ක්‍රියාත්මක කෙරුණේ දින දෙක තුනක් ඇතුළතදීය. එයට පෙරමුණ ගෙන තිබුණේ විශ්වවිද්‍යාලයේම සිසුන් වූ අතර උතුරේත් නැගෙනහිරත් සුළු ජන කොටස්වල සහාය ඇතිව ක්‍රියාත්මක වූ හර්තාලය හේතුවෙන් ඒ පළාත් දෙකම අකර්මණ්‍ය විය. ශිෂ්‍යයෝ කිහිප දෙනෙක් එක්ව උපවාසයක් ඇරඹූ අතර ඉන් එක් ශිෂ්‍යයෙක් මාරාන්තික උපවාසයක් කරන බවද ප්‍රචාරය විය.
සිද්ධිය අවසන් වූයේ තිබූ තැනම ස්මාරකය යළි ඉදිකිරීමට පියවර ගැනීමෙනි. ශිෂ්‍යයන්ගේ ඉල්ලීම වූයේ එම ස්මාරකයට මුල්ගල තැබිය යුත්තේ උපකුලපතිවරයාම බවය. එය ඒ ආකාරයටම සිදුවීමෙන් දුරදිග යාමට තිබූ අරගලයක් නිම විය.
මේ ස්මාරකය ගලවා දැමූ අවස්ථාවේ ප්‍රකාශ වූයේ එය මියගිය එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් සිහිපත් කිරීමට ඉදිකරන ලද්දක් බවය. එහෙත් එය යුද්ධයෙන් මියගිය උතුරේත් නැගෙනහිරත් සියලු දෙනා සිහිපත් කිරීම සඳහා ඉදිකරන ලද ස්මාරකයක් බවත් එම ස්මාරකය යාපනය විශ්වවිද්‍යාලයේ පමණක් නොව උතුරු පළාතේම ජනතාවගේ අවධානයට ලක්ව තිබුණු බවත් සඳහන්ය. එවැනි ස්මාරකයක් ගලවා දැමීම උතුරේ ජනතාවගේ හැඟීම්වලට එල්ල කරන බරපතළ ප්‍රහාරයක් බව අවබෝධ කර නොගැනීම අනවශ්‍ය ගැටුමකට මගපාදා තිබිණි. එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් අනුස්මරණය කිරීමට අයිතියක් නැතිවුවද එල්.ටී.ටී.ඊ.යේ බලපෑමට හසුවීමෙන් මියගිය සෙසු පිරිස් අනුස්මරණය කිරීමට ඒ පළාතේ ජනතාවට අයිතියක් තිබෙන බවද තේරුම් ගත යුතුය.
මෙම ස්මාරකය ඉදිකරන ලද්දේ කුමන අදහසක් පෙරදැරිවදැයි කීම අමාරුය. එසේ වුවද එවැන්නක් හදිසියේම මෙසේ ගලවා දැමීම තමන්ගේ අයිතිවාසිකම් පාගා දැමීමක් හැටියට උතුරේ වැසියන් සැලකීම ගැන පුදුම විය යුතු නැත. තවත් අතකට මේ ස්මාරකය ඉදිකිරීමේදී ඊට විරුද්ධ නොවී වසර දෙකකට පසුව එය වැරැද්දක් හැටියට දකිමින් එය ඉවත්කළ යාපනය සරසවියේ උපකුලපතිවරයා මේ සම්බන්ධයෙන් වගකිව යුතුය. මේ වැඩ කවුරු කළත් ඒවා අවසානයේ යන්නේ ආණ්ඩුවේ කරපිටිනි.
කොවිඩ් සහ ආර්ථික ගැටලු හේතුවෙන් අමාරුවේ වැටී සිටින අවස්ථාවක මේ රටට තවත් ප්‍රශ්න අවශ්‍ය නැත. මේ රටේ ආණ්ඩුව දේශපාලන පක්ෂයක දෙකක දැඩි මතධාරී කණ්ඩායම්වල සිරකරැවකු වීමෙන් සිදුවන්නේ එවැනි ප්‍රශ්න අනාගතයේදී ඇතිවීමට දොර විවෘත කර ගැනීමක් පමණි. කොවිඩ් ගැටලුව පාලනය වනවිට රටේ සියලු ජනකොටස් අතර තිබිය යුතු සමගිය සහ අවබෝධය දුරස්ව ගොස් තිබුණොත් රට වැටෙන්නේ ලොකු අමාරැවකය. එම තත්ත්වයට යා නොදී තමන්ගේ කට්ටිය පාලනය කර ගැනීමට ආණ්ඩුව තවමත් ප්‍රමාද නැත.
මේ අතර ආණ්ඩුව මුහුණ දෙමින් සිටින තවත් ගැටලුවක් වන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමේ වැඩපිළිවෙළට එරෙහි විරෝධය දිගටම ගෙනයාමට එහි වෘත්තීය සමිති සූදානම් වීමය. එයට හේතුවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සමිති කැඳවා නැගෙනහිර ජැටිය කාටවත් විකුණන්නේ නැති බවත් බදු දෙන්නේ නැති බවටත් ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකාවට 51%ක කොටස්ද ඉන්දියාවේ අදානි සමාගමට 49%ක කොටස්ද අයිති වනසේ ගිවිසුමකට එළඹෙන බවට කළ ප්‍රකාශයයි. එය රජයේ මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව බව පැහැදිලිය. වරායේ සමිති තවදුරටත් මේ ගැන සටන් කළහොත් එය රජයට හිසරදයක් වන බවත් පැහැදිලිය. නමුත් ඉන්දීය විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ සිදුකළ දැඩි රාජ්‍යතාන්ත්‍රික බලපෑම ඔස්සේ ආණ්ඩුවට ගතහැකි වෙනත් තීන්දුවක් තිබුණේද නැත.
රාජ්‍ය - පෞද්ගලික ආයතනයක් වශයෙන් නැගෙනහිර ජැටිය පවත්වාගෙන යාම මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර හැඳින්වූයේ රාජ්‍ය සම්පත් විකිණීමක් හැටියටය. හම්බන්තොට වරාය යහපාලන ආණ්ඩුව විසින් චීනයට සම්පූර්ණයෙන් ලබාදුන් අවස්ථාවේ පොහොට්ටුවේ නායකයන් කියා සිටියේ මේ ගිවිසුම අවලංගු කර හම්බන්තොට වරාය ආපසු පවරා ගන්නා බවය. එහෙත් දැන් ආණ්ඩුවට සිදුවන්නේ හම්බන්තොට වරාය චීනය සතුව තිබියදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවත් සමඟ හවුලේ බෙදාගැනීමටය. ඒ හැර රජයට ගතහැකි වෙනත් මගක් නැත.
විපක්ෂයේ සිටිමින් සටන් පාඨ ඔස්සේ දේශපාලනය කරනවාට වඩා ආණ්ඩුවක් කරගෙන යාම කොතරම් දුෂ්කරදැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දැන් නොදැනෙනවා නම් පුදුමය. හරීන් පාර්ලිමේන්තුවේදී කළ කතාවත් එයට අම්පාරේ ගම සමඟ පිළිසඳර වැඩසටහනකදී ජනාධිපතිවරයා විසින් ලබාදුන් පිළිතුරත් මේ කාසියේම තවත් පැත්තකි.
දේශපාලනයේදී විවේචනය ඉවසීමට පුරුදු විය යුතුය. මීට පෙරද හිටපු ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට එරෙහිව පාර්ලිමේන්තුවේදී මේ ආකාරයේ විවේචන සිදුවී තිබේ. ඒවාට එළියට ගොස් පිළිතුරු දීම දේශපාලන වශයෙන් නොකළ යුතු දෙයක් බව සිහිකටයුතුය. මේ විවේචනය හරීන් කළේ සිතාමතාව ජනාධිපතිවරයා පටලවා ගැනීමට නම් ජනාධිපතිවරයා පිළිතුරු දීමට යාමෙන් සිදුවුණේ හරීන්ගේත් විපක්ෂයේත් අරමුණ ඉටුවීමය. මේ පිළිතුරට එරෙහිව හරීන් පොලිස් පැමිණිල්ලක්ද කළ අතර විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විරෝධතාවක්ද පැවැත්විණි. යූ.එන්.පී.යද හරීන්ට එරෙහි ජනාධිපතිගේ පිළිතුර විවේචනයට ලක් කළේය.
සජිත් විපක්ෂයේ නායකයා වශයෙන් තම කටයුතු මාධ්‍ය සාකච්ඡා සහ වොයිස් කට් දේශපාලනයට පමණක් සීමා නොකර පාරට ගෙන යන වැඩපිළිවෙළක නිරතව සිටින බව පෙනේ. මේවාට තවමත් එතරම් ජනතා ආකර්ශනයක් නැත. ආණ්ඩුවද ඉතා ශක්තිමත් තත්ත්වයක සිටීම හේතුවෙනි. එහෙත් ආණ්ඩුව ඉදිරියේදී වැඩ අනා ගතහොත් මේ අද පටන්ගෙන ඇති විපක්ෂයේ විරෝධතා මහා පෙළපාළි බවට පත්විය හැකිය. මහජනතාවද ඒවාට විශාල වශයෙන් සහභාගී වනවිට ඒවා මර්දනය කරන්නට යාම පහසු නැත. මේ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා නම් හොඳින්ම දැන සිටී. “උගත් පාඩම්” මතකයේ රඳවාගෙන කටයුතු කළොත් ගොඩය. එසේ නොවුණොත් කුමක් වනු ඇතිදැයි කියන්න නම් අමාරුය.
- ශශීන්ද්‍ර