2021 ජනවාරි 23 වන සෙනසුරාදා

චීන අයිස්ක්‍රීම්වල කොරෝනා

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 23

නැගෙනහිර චීනයේ ටියැන්ජින් හි ඩැකියාඩෝ ෆුඩ් සමාගම මගින් නිෂ්පාදනය කළ අයිස්ක්‍රීම් තොගයක කොරෝනා වෛරසය අන්තර්ගතව ඇතැයි හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් වෙළෙඳපොළට නිකුත් කර ඇති අයිස්ක්‍රීම් පෙට්ටි යළි ලබා ගැනීමට එම සමාගම කටයුතු කරමින් සිටී. 

වාර්තා වන අන්දමට වෛරසය සහිත අයිස්ක්‍රීම් පෙට්ටි 4836ක් පමණ හඳුනාගෙන ඇති අතර මේ වන විට ඉන් පෙට්ටි 2089ක් පමණ විනාශ කිරීමට පියවර ගෙන තිබේ. වෛරසය අන්තර්ගත බවට හඳුනාගන්නා විට අයිස්ක්‍රීම් පෙට්ටි 935කට ආසන්න ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කර තිබූ අතර ඉන් පෙට්ටි 65 ක් පමණ අලෙවි වී ඇති බැවින් ඒවා සොයා ගැනීමට බලධාරීහු උපරිම උත්සාහයක් දරමින් සිටිති. ඔවුන් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ අයිස්ක්‍රීම් මිල දී ගෙන ඇත්නම් සෞඛ්‍ය අංශ වෙත වාර්තා කරන ලෙසටය. 

මෙම වෛරසය සහිත අයිස්ක්‍රීම් තොගය හඳුනාගෙන ඇත්තේ ටියැන්ජින් මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරී විසින් සිදුකරන ලද පරීක්ෂණයකදීය. අයිස්ක්‍රීම් සාම්පල තුනකින් කොරෝනා වෛසරය හඳුනා ගැනීමට ඔවුනට හැකි වී ඇති අතර. අයිස්ක්‍රීම් නිෂ්පාදනය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය නවසීලන්තයෙන් හා යුක්රේනයෙන් ආනයනය කර ඇතැයි වාර්තා වේ.

මේ වන විට ඩැකියාඩෝ ෆුඩ් සමාගම මුද්‍රා තැබීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.. එහි සේවකයින් 1662 දෙනකු පමණ නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන් .කොරෝනා ආසාදිතයන් ද යන්න සොයා බැලීම සඳහා පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කිරීමට නියමිත බව පැවසේ. කොරෝනා වෛරසය ආහාර මගින් මිනිසාට ආසාදනය වන බවක් මෙතෙක් තහවුරු වී නොමැති වුවද සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර ගත් බව චීන සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති. අයිස්ක්‍රීම් මිල දී ගත් ගනුදෙනුකරුවන්ට  ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන්ට වාර්තා කරන ලෙස දැනුම් දී ඇති අතර, ටියැන්ජින් වලින් පිටත ප්‍රදේශවලට ද එම අයිස්ක්‍රීම් පරිභෝජනයට නොගන්නා ලෙසට බලධාරීන් දැනුම් දී තිබේ. අයිස්ක්‍රීම් පරිභෝජනය කළ කිසිදු පුද්ගලයකුට කොරෝනා වෛරසය ආසාදිතව ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති යැයි එම ප්‍රදේශයේ පාලනාධිකාරිය සඳහන් කර ඇත.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03