“අද ගොවින් වන අපට පාරට බැහැලා හරි මේ සටන ජයග්‍රහණය කර ගැනීමට සිදුවෙලා තිබෙනවා. මේ සටන පරාජය වෙලා නම් නැගිටින්නේ නැහැ. බලධාරීන්ගේ තුරුම්පුවලට අපි මේ පාර යටවන්නේත් නැහැ. අලියාට ජීවත්වීමට භූමිය නිදහස් කර දෙන්න. අපේ ඉඩම් අපට වගා කිරීමට නිදහස ලබා දෙන්න. දේශපාලන අධිකාරියත්, මහවැලි අධිකාරියත් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් විනාශ කරමින් ඉන්නවා.”
එලෙස පවසන්නේ සූරියවැව වල්සපුගල වැව් තාවල්ල අසල ආරම්භ කළ මාරාන්තික උපවාසයට එක්වූ ගොවියෝ වෙති. වලව ඒකාබද්ධ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 86ක නියෝජිතයෝ ඉකුත් 18දා සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. සත්‍යග්‍රහය ආරම්භ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසත්, යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙසත් ඉල්ලමිනි. කෙසේ වුවත් පරිසරය ගැන වහසි බස් දොඩන, කෘෂිකර්මය ජාත්‍යන්තරයට ගෙන යාමට දතකන වගකිව යුතු කිසිවෙක් ගොවි ජනතාවගේ හඬ ඇසීමට පැමිණියේ නැත. මේ නිසා සත්‍යග්‍රහයේ නිරත වූ තිදෙනෙක් 20දා මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ. මහින්ද ඇතුළු පිරිසක් එම උපවාසයට එක්ව සිටිති. ප්‍රදේශයේ මහා සංඝරත්නය ද ගොවීන්ට සහාය පිණිස එම ස්ථානයේ රැඳී සිටිති.
මේ ගොවි ජනතාව වර්තමාන ආණ්ඩුව විශාල බහුතරයකින් පත්කර ගැනීමට කැප වූ පිරිසකි. ජනාධිපතිවරණ රැස්වීම්වලදී වන අලි ගැටලුවට මාස තුනක් ඇතුළත විසඳුම් ලබාදෙන බවට පොරොන්දු විය. නමුත් බලයට පැමිණි පසුව කිසිම බලධාරියෙක් ඒ ගැන සොයා නොබැලූ බව ගොවීහු චෝදනා කරති. යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර එම ඉඩම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙස ගොවීහු ඉල්ලා සිටිති.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට යෝජනා කළේ අදින් දශකයකට පමණ පෙරදීය. ඒ ප්‍රදේශයේ සැරිසරන අලි ඇතුන් 450කගේ ජීවිත හා වාසස්ථාන සුරක්ෂිත කර අලි මිනිස් ගැටුම අවම කිරීමටය. (ගජ මිතුරෝ) වැඩසටහන යටතේ 2009 සිට 2011 දක්වා දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතනවල හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ඒ සඳහා සැලැස්මක් සකස් කෙරිණි. එම සැලසුමේ වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම, විදුලි වැට ඉදිකිරීම, අලිමංකඩ විවෘත කිරීම ඇතුළු යෝජනා රාශියක් ඇතුළත් විය. එම සැලසුම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව ඉඩම් අමාත්‍යාංශයට යොමු කර මේ වන විට අවුරුදු අටක් ඉක්ම ගොසිනි. එය හමස් පෙට්ටියේය.
“හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් අද මහා පරිමාණ වගාවලට, සංවර්ධන ව්‍යාපෘතිවලට වෙන් කරගෙන. ගල්වැව, වැලිවැව, කුරුදාන, කැටන්වැව, ගලහිටිය වැවට ඉහළින් අන්දර වැව දක්වා ප්‍රදේශය ඇතුළු විශාල ප්‍රදේශයක කැලෑ ඉඩම් ඩෝසර් කරලා. බුරුතකන්ද අලිමංකඩේ ඉඩම් මහවැලි අධිකාරිය ජනතාවට බෙදා දීලා. මේ නිසා අවට අලි කොටුවෙලා. අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ඉඩම් නින්දගම් ඉඩම් කියලා වනාන්තර කට්ටි කර විකිණීමක්ද සිදුවෙනවා.” ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර කීවේය.
මාරාන්තික උපවාසයට එක්ව සිටින ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ. මහින්ද පවසන්නේ වන අලි ගැටලුව නිසා වගාවක් හේනක් කර ගැනීමට නොහැකි වී ඇති බවත් නැවතත් පාලකයන්ගේ බොරුවලට නොරැවටෙන බවත්ය. “යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් මගින් ප්‍රකාශ කරලා ඒ ඉඩම් වටේට අලිවැට ශක්තිමත්ව ඉදි කරලා ගම්වල ඉන්න අලි ටික රක්ෂිතයට දැමිය යුතුයි. එතෙක් අපි මේ සටන නවත්වන්නෙ නෑ.” ඔහු තවදුරටත් කීවේය.
මෙම යෝජිත අලි රක්ෂිතයෙන් සියයට 40ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වලව බල ප්‍රදේශයේ වනාන්තර ඉඩම්වලිනි. එම ඉඩම් 1981 අප්‍රේල් 16 දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප්‍රදේශය වශයෙන් මහවැලි අධිකාරියට පවරා දී තිබේ.
යෝජිත අලි රක්ෂිතයේ ගොන්නෝරුව ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන අලින්ට බුන්දල ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඇති මාර්ගය මේ වන විට ඇහිරී ඇත්තේ වනාන්තර එළිකිරීම නිසාය. එමෙන්ම මදුනාගල අභය භූමියේ සිට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය දක්වා අලින්ට ගමන් කිරීමට තිබෙන බුරුතකන්ද අලිමංකඩේ ඉඩම් මහවැලි අධිකාරිය විසින් බෙදා දීම නිසා අලි රාශියක් කොටු වී සිටිති. මේ අලි ඇතුන් රාත්‍රියට ගම්වැදීම නිසා වගාබිම් විනාශය මෙන්ම ජනතාවගේ ජීවිත ද අවදානමට ලක්ව තිබේ. මේ නිසා සූරියවැව අවට ගොවි ජනතාවට රාත්‍රියට නිතර යකඩ බටයක සවිකළ පන්දමක් අතැතිව සිටීමට සිදුව ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ තිරසාර පාරිසරික ප්‍රතිපත්තියක් යටතේ ශ්‍රී ලංකාවේ භූමිය භාවිත කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා බවයි. “මිනිසා මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක්‍රියා කළ යුතු”යැයි එහි සඳහන්ය. මේ වචනවලට රජයේ ක්‍රියාකලාපයෙන් වටිනාකමක් එක්ව ඇද්දැයි විමසා බැලීම පාඨකයන්ට බාරය.
කුසුම්සිරි විජයවර්ධන