දෙවැනි කොවිඩ් රැල්ල මේ වන විට විශාල ලෙස ඉහළ යමින් ජීවිත රැසක් ද බිලි ගනිමින් තිබේ. කලින් දිනට දෙකකට වරක් මරණයක් වාර්තා වුවද මේ වන විට එක් දිනක් තුළ මරණ කිහිපයක් සිදුවනු දැකිය හැකිය. පසුගිය ජනවාරි 17 දින පමණක් කොවිඩ් මරණ 8ක් වාර්තා වූ අතර වයස අවුරුදු 27ක තරුණයෙක්ද ඒ අතර විය. ජනවාරි 20 දා වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 54000 ඉක්මවා තිබේ. 2021 ජනවාරි 1 දා සිට 18 තෙක් ගතවූ දින 18 තුළ හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10437කි. එම කාලයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 66කි. පළමු කොවිඩ් රුල්ලේදී මරණ 13ක් පමණක් වාර්තා වූ අතර දෙවැනි රුල්ල මේ වන විට ජීවිත 274ක් බිලිගෙන තිබේ.
2021 ජනවාරි 19 වන විට වයස් කාණ්ඩ අනුව සිදුව ඇති මරණ මෙපරිදිය. වයස අවුරුදු 9ට අඩු එක් මරණයක්ද, 10 සිට 30 දක්වා මරණ 5ක්ද, 31සිට 40 දක්වා මරණ 6ක්ද, 41 සිට 50 දක්වා මරණ 25ක්ද, 51 සිට 60 දක්වා මරණ 41ක්ද, 61 සිට 70 දක්වා 59ක්ද, 71 වැඩි මරණ 118ක්ද සිදුවී තිබේ..
කොවිඩ් වසංගතයෙන් වැඩි වශයෙන් මරණයට පත් වන්නේ වැඩිහිටි සහ නිදන්ගත රෝගවලින් පෙළෙන පිරිසය. එහෙයින් ඔවුන් සමාජයට නිරාවරණ වීම අවම කළ යුතු යැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි. පී.සී. ආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීමද රෝගීන් හඳුනා ගැනීමට බාධාවක් වී ඇතැයි ඔහු සඳහන් කරයි. එය තමන්ටම කර ගන්නා හානියක් මෙන්ම තම පවුලේ අනිකුත් සාමාජිකයන්ට කරන හානියක් බවද පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා එමගින් සිදුවන්නේ විශාල සමාජ හානියක් බවද පවසයි.
මේ වන විට ආසාදිතයන් විවිධ ප්‍රදේශවලින් හමු වෙයි. වසංගත රෝග විද්‍යා අංශය තවමත් පවසන්නේ රෝගය සමාජ ගතවී නොමැති බවටය. එහෙත් දිනපතා ආසාදිතයන් විශාල පිරිසක් හමුවන අතර නිදන්ගත රෝග නොමැති තරුණ පිරිස්ද මේ වන විට මරණයට පත්වෙමින් සිටිති. එයට හොඳම උදාහරණය වන්නේ පසුගිය 17 දා මිය ගිය උඩුපුස්සැල්ලාවේ තරුණයාය. ඔහුගේ වයස අවුරැදු 27කි. කිසිදු නිදන්ගත රෝගයකින් නොපෙළුණු ඔහු කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ මෙවැනි අදහසකි.
“කොවිඩ් රෝගීන් වාර්තා වීමේ සුළු වැඩිවීමක් මේ දිනවල දකින්න පුළුවන්. සුළු වෙනස්වීමක් පෙරට වඩා දෛනිකව පෙනී ගියත් තවමත් කොවිඩ් රෝගය පැතිර යාමේ ප්‍රවණාතාවයේ විශාල වෙනසක් වෙලා නැහැ. අපි ජිවත් වන්නේ සමාජයේ. මේ අවස්ථාවේ සමාජයෙන් අපට රෝගීන් හමුවෙනවා. සමාජයේ රෝගීන් ඉන්නවා කියන එකයි කොවිඩ් රෝගය සමාජගත වෙලා තියෙනවා කියන එකයි කියන්නේ කාරණා දෙකක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව අනුව ගත්කල තවමත් රෝගය අපේ රටේ සමාජ ගතවෙලා නැහැ.”
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ගේ මතය මීට පටහැනිය. “පසුගිය කාලයේ අපට දිනපතා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් සුව කර ගෙවල්වලට යැව්වා. ඒ නිසා පද්ධතියට තිබූ බර සැහැල්ලු වුණා. එහෙත් පහුගිය දින දෙක තුන තුළ සුව කර නිවෙස්වලට යන පිරිසට වඩා වැඩි රෝගීන් පිරිසක් වාර්තා වීමේ රටාවක් දකිනවා. ආසාදිත වීමේ ප්‍රතිශතය 5.25% වැනි අගයක පවතිනවා. අවදානම් සහිත රෝගීන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අවශ්‍ය ඇඳන් සංඛ්‍යාවේ ලොකු අර්බුදයක් මේ වන විට ඇතිවෙමින් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සත්‍ය තත්ත්වය පැහැදිලි කළ යුතුයි.”
පසුගිය කාලය තුළ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදියන් අතුරින් වැඩිම පිරිස බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් වාර්තා වී ඇති අතර දෛනිකව වාර්තා වන සංඛ්‍යාවද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතී. බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් ස්ථාන හතරකදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරන අතර පසුගිය දෙසැම්බර් 21 දින සිට මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 103 දෙනකු හඳුනාගෙන තිබේ. ඒ අනුව බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට කොවිඩ් පැතිරයාමේ අවදානමක් පවතී
“බස්නාහිරට කේන්ද්‍රගත වෙලා තිබූ අවදානම මේ වන විට බස්නාහිරෙන්. බැහැරට ක්‍රමක්‍රමයෙන් ගමන් කරමින් තිබෙනවා. ඇතැම් ප්‍රදේශවලට දැනටමත් එය ව්‍යාප්ත වෙලා.. යම් යම් සාධක මත බස්නාහිරට කේන්ද්‍රගතවී තිබූ අවදානම බස්නාහිරෙන් පිටතට යන්නට නොදී වළක්වා ගැනීමට අපි අසමත් වෙලා කියන එක පෙනෙන්නට තිබෙනවා. රටේ සංචරණ සීමා පිළිබඳව මීට වඩා සමාලෝචනය කළ යුතුයි. නගර අතර සංචරණ සීමා ඇති කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුයි. දෛනිකව හමුවන සමස්ත රෝගීන්ගෙන් 10%ක් ඔවුන්ගේ ප්‍රදේශය හඳුනාගත නොහැකි රෝගීන් නම් එතනම අපට ගැටලුවක් තිබෙනවා. තවමත් අපි බලාගෙන ඉන්නේ සමාජ ව්‍යප්තියක් කරා යන තෙක්දැ”යි වෛද්‍ය හරිත අලුත්ගේ විමසා සිටී.
පසුගිය 17 දින හඳුනා ගත් රෝගීන් සංඛ්‍යාව 763ක් වූ අතර ඉන් වැඩිම ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ අතුරින් පදිංචි ප්‍රදේශය තහවුරු නොකළ පිරිස 89ක් සිටියහ. “මේ පිරිස ඉන්නෙ කොහෙද කියලා සෞඛ්‍ය අමාත්‍යංශය දන්නේ නැහැ. ඒ අය කොවිඩ් බෙදා හරිමින් රට පුරා ගමන් කරන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ වන විට මරණ 270ක් සිදුවී තිබෙනවා. ඒ අනුව දළ වශයෙන් මසකට මරණ 80කට වැඩි ප්‍රමාණයක් සිදුවන බව පෙනෙන්ට තිබෙනවා. පාර්ලිමේන්තුව තුළත්, දළදා මාලිගය තුළත් වැඩ බිම් ආශ්‍රිතවත් කොවිඩ් තර්ජන මතුවී තිබේනම් තවමත් මේ රෝගය සමාජගත වෙලා නැහැ කියන්න අපිට පුළුවන්ද?” යනුවෙන් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රශ්න කරයි.
සෞඛ්‍ය බලධාරින් කොවිඩ් 19 තත්ත්වය පිළිබඳව වැරැදි චිත්‍රයක් සපයන බවත් ඉදිරි සතිවලදී කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අපගේ සහෝදර පුවත්පත වන ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තිබේ. උත්සව සමයේ සංචරණ සීමා කිරීමට හෝ අධි අවදානම් සහිත ප්‍රදේශ අගුලු දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රජයෙන් ඉල්ලා සිටින විට රජය එම අනතුරු ඇඟවීමට අවනත නොවූ බවද ඔහු සඳහන් කර තිබේ.. “දැන් තත්ත්වය අතහැර දමා ඇති අතර ඒ සඳහා වන්දි ගෙවිය යුත්තේ ජනතාවයි. තම තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සහතික කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ”යි ඔහු සඳහන් කර තිබේ. පසුගිය වසරේ අග භාගය වන විට බස්නාහිරට පමණක් සීමා වූ කොවිඩ් ආසාදිතයන් ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර, අනුරාධපුර, පොළොන්නරැව, කුරැණෑගල සහ පුත්තලම යන සියලුම දිස්ත්‍රික්කවලටද ව්‍යාප්ත වී ඇති අතර එය මේ වන විට වෛරසය සමාජගතවීමේ තත්ත්වයට පත්ව ඇති බවට ලකුණකැයිද ප්‍රකාශ කර තිබේ.
ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන එන්නතක් මෙරටට ගෙන ඒමට හැකි වනු ඇතැයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර තිබේ. “ශ්‍රී ලංකාවට එන්නතක් ලබා ගැනීමට රජයක් ලෙස අපි මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ලෝක සෞඛය සංවිධානයත් එන්නත් නිපදවන අදාළ සමාගම් සහ රජයන් සමගත් මේ වන විට සාකච්ඡා පවත්වනවා. දෙසතියක පමණ කාලයක් තුළ කොරෝනා සඳහා එන්තක් මෙරටට ලබාගත හැකියි. ප්‍රධාන එන්නත් දෙකක් වෙත අපේ අවධානය යොමු වී තිබෙනවා. ඒ ෆයිසර් එන්නත සහ ඔක්ස්ෆර්ඩ් එන්නත.”යැයි ඔහු සඳහන් කරයි.
කෙසේ නමුදු චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත ශ්‍රී ලංකාවට ලබා දීමට එය නිෂ්පාදනය කළ චීන සමාගම් කැමැත්ත පළකර තිබේ. එම එන්නත ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින් පින් වෙත ලිපියක් යොමු කර තිබේ. ඒ අනුව එම එන්නත් නිෂ්පාදනය කරන චීන සමාගම් එම එන්නත ලංකාවට ලබා දීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.
දිනෙන් දින කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයක් සිදුවෙමින් පවතින වාතාවරණයක් තුළ පසුගිය 21 දා කටුනායක හා මත්තල ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කෙරිණි. එලෙස පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගැනීම සඳහා Safe and Secure ක්‍රමවේදය යටතේ පළමු පෙළ හෝටල් 55කට සංචාරක මණ්ඩලය සහතික නිකුත් කර තිබේ. විදෙස් සංචාරකයන් එම හෝටලවල රුඳී සිටින කාලය තුළ දේශීය සංචාරකයන්ට තහනම් කලාප බවට පත් කර තිබේ. ඒ අනුව දිකට මෙරටට ගෙන එන සංචාරක පිරිස 2500ක් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරයි. සෑම සංචාරකයෙක්ම Safe and Secure ක්‍රමවේදයට අනුකූල හෝටලයක් කලින් වෙන්කර ගත යුතු වන අතර මාසයකට ඇමෙරිකානු ඩොලර් 12ක විශේෂ සෞඛ්‍ය රක්ෂණාවරණයක් හා ගුවන් යානයට ගොඩවීමට පැය 72කට පෙර ලබාගත් පීසීආර් පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතුය. එමගින් කොවිඩ් නොමැති බවට තහවුරු වී තිබිය යුතු අතර මෙරටට පැමිණි පසුවද පීසීආර් පරීක්ෂණයක් සිදු කළ යුතුය.
මෙම සංචාරකයන් මෙරටට ගෙන්වීම ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ යුක්‍රේන සංචාරකයන් පිරිසකගෙනි. මේ වන විට ගමන් වාර නවයකින් යුක්‍රේනයේ සිට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරක සංඛ්‍යාව 1485කි. ඔවුන්ගෙන් උපයාගත් සමස්ත ආදායම රුපියල් මිලියන 420කට අධික යැයි පැවසේ. එහෙත් යුක්‍රේනයේ සිට පැමිණි සංචාරකයන්ගෙන් කිහිප දෙනෙක්ම කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා විය. මේ වන විට කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා යුක්‍රේනය ලොක් ඩවුන් කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ යුක්රේන ගුවන් සේවකයන් කිහිප දෙනකුගෙන් බවටද වාර්තා විය. එහෙයින් සංචාරක කර්මාන්තය තුළින් විදේශ විනිමය උපයන්නට ගොස් කොවිඩ් තුන්වැනි රුල්ලක් ඇතිවිය හැකිද යන යන බිය මෙරට ජනතාව තුළ පවතී.
මේ අතර ලන්ඩනයේ කිංග්ස් කොලෙජ් ආයතනයේ විශේෂඥ වෛද්‍යවරැන් පිරිසක් කොවිඩ් 19 වෛරසයේ නව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගෙන තිබේ. එම රෝග ලක්ෂණවලට අනුව දිව රතුපැහැ වීම, වණ වීම, හිසරදය සහ සමේ කුෂ්ඨ ඇතිවන බව ඔවුහු සඳහන් කරති.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා