කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වර්තමාන ආණ්ඩුවට දෙකොණ පත්තුවන විලක්කුවක් වී ඇති සෙයකි. 2019 මාර්තු මාසයේදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියාවත්, ජපානයත් ශ්‍රී ලංකාවත් එක්ව පිහිටුවාගත් හවුල් ව්‍යාපාරයකි. මෙම කතාවේ අර්බුදයේ ඇරැඹුම එය නොවුණත් මෑතකාලීන අර්බුදයේ තීරණාත්මක සිදුවීම එයයි. ශ්‍රී ලංකා රජය මීට අදාළ මූලික අවබෝධතා ගිවිසුම්වලට ද අත්සන් කර තිබුණි. නව රජය බලයට පැමිණීමත් සමඟම මතු වූ වෘත්තීය සමිති විරෝධතා මධ්‍යයේ එය තාවකාලිකව නවතා දැමීමට තීරණය විය.
එහෙත් මෙය නැවත කරළියට පැමිණියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ඔක්තෝබර් අවසානයේ දී පැවැත්වූ දුරකථන සංවාදයක් හරහාය. ජනපති රාජපක්ෂ ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණගැන්වීමට ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ බව පවසා තිබුණි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කඩිනමින් ඉදිකිරීම ගැන ද කතා කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණි. ඒ සමඟ වරාය වෘත්තීය සමිති නැවතත් කරළියට පැමිණියේය.
ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව ඩොලර් මිලියන 500ත් 700ත් අතර මුදලක් යෙදවීමට තීරණය කර තිබූ බව වාර්තා විය. කෙසේ වෙතත් සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිත වූයේ ජපානයෙන් අවුරුදු 40ක සියයට 0.1ක පොලී අනුපාතයක සහන ණයක් ලබාගැනීම හරහාය. යහපාලන රජය සමයේ කැබිනට්ටුව උණුසුම් කිරීමට මෙම සැලසුම් හේතු විය. හිටපු මෛත්‍රීපාල සිරිසේන ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඔවුන්ට හිතවත් වෘත්තීය සමිති මෙම හවුල් ව්‍යාපෘතියට ඉන්දියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් විරෝධය පෑවේය.
නැවත වර්තමාන රජය මෙම වරාය ගනුදෙනු කෙරෙහි අවධානය යොමු කරන විට වෘත්තීය සමීති පමණක් නොව ජාතික සංවිධානය සහ භික්ෂූහු ද ඊට විරෝධය දක්වන්නට වූහ. පසුගිය ජනවාරි 5 වැනිදා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණීමෙන් පසු තත්ත්වය තවත් නරක අතට හැරුණි. වරාය විකිණීමට සැරසෙන බවට වූ චෝදනාව අතිශය දැවැන්ත අර්බුදයක් නිර්මාණය කළේය. වර්තමාන ආණ්ඩුව ගොඩගැනීමට උපකාර කළ පාර්ශ්ව රැසක් ද මීට සම්බන්ධ වීම හේතුවෙන් ආණ්ඩුව දැඩි අපහසුතාවකට ලක්වන අයුරු පෙනී ගියේය.
අර්බුදයේ පීඩනය වැඩිවන විට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනවාරි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කළමනාකරණය හෝ මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට වත්මන් රජය කිසිදු තීරණයක් ගෙන නැති බව ඔහු අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. නැගෙනහිර ජැටියේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බවද අගමැතිවරයා මෙහිදී පැවසීය. එසේම නැගෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධව ඔහු අදහස් දැක්වීය. මෙහිදී කියැවුණු විශේෂම කරැණ වූයේ පසුගිය යහපාලන රජයේ ගිවිසුම් සහ සැලසුම් අනුව ඉන්දියාවෙන් සහ ජපානයෙන් තම රජය ණය ලබා නොගන්නා බවයි.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ඇවිලෙමින් තිබූ වරාය සටන නවතාලීමට ප්‍රමාණවත් නොවීය. ඉන්දියාවේ බලපෑම මේ සියල්ල පිටුපස වන බව වෘත්තීය සංගම් සහ වරාය සටනට බට සියලු පාර්ශ්ව පැහැදිලි කළේය. ඔවුන්ට අනුව මීටර් 18ක පමණ ගැඹුරක් ඇති මේ පර්යන්තය ලොව මේ වන විට ඇති විශාලතම නෞකා ඉතා පහසුවෙන් ඇතුළු කර නැංගුරම් දැමිය හැකි ලෙස සංවර්ධනය කළ හැකි සුවිශේෂී පර්යන්තයකි. ඉන්දියාව සතුව ප්‍රධාන වරායන් 13ක් ඇතුළු වරාය 200ක් පමණ තිබේ.
එහෙත් ඉන්දියාවේ වරාය වෙත සමීප වීමට වඩා අඩු වියදමකින් කොළඹට ළඟා විය හැකිය. ඊට හේතුව ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගයට වඩාත් සමීපව කොළඹ වරාය පිහිටා තිබීමයි. එසේම වෘත්තීය සමිති පෙන්වාදෙන ආකාරයට බහාලුම් ප්‍රති නැව්ගත කිරීමේදී ශ්‍රී ලංකාව වරාය පහසුකම් ඉතා අඩු තරගකාරී මිලකට සපයයි. එනිසාම ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන සැලකිය යුතු නැව් ප්‍රමාණයක් සේවාවන් ලබාගැනීමට කොළඹ වරාය වෙත ආකර්ශනය වෙයි. ඉන්දියාවේ අවධානය කොළඹ වරාය වෙත යොමුකිරීමේ පදනම මේ අනුව එක් පසෙකින් පැහැදිලි වෙයි.
අනෙක් පසින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව භූ දේශපාලනික හේතූන් ද මෙම තීන්දුව පිටුපස වෙයි. නැගෙනහිර බහාලුම් පර්යන්තය පිහිටා තිබෙන්නේ චීනයේ ආයෝජනයක් වන කොළඹ මුහුද ගොඩකර නිර්මාණය කෙරුණු "වරාය නගරය" හෙවත් ජාත්‍යන්තර මූල්‍ය නගරයට කිලෝමීටර තුනක් ඔබ්බෙනි. එසේම චීනය විසින් හසුරුවන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය නැගෙනහිර පර්යන්තයට ඉතාම ආසන්නයෙන් පිහිටා තිබේ. මෙම ආයෝජනය භූ දේශපාලනික හේතු සහිතව සිදු කරන්නක් බව ඒ අනුව පෙනී යයි.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ප්‍රතිඵලයක් නොවූ බව පෙනී ගියේ ඉකුත් ජනවාරි 11 දින නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය වෘත්තීය සමිති, භික්ෂු සංවිධාන, කතෝලික සභාව, ආණ්ඩුව බලයට පත් කිරීමට දරදිය ඇදි ජාතිකවාදීන් සම්බන්ධ කර ගනිමින් පුළුල් සභාවක් ගොඩනැගීමට තීරණය කිරීමත් සමඟයි. ආණ්ඩුව මෙම අර්බුදයට විවිධ අංශ ඔස්සේ විසඳුම් සෙවීමට උත්සුක වෙමින් සිටියේය. මැතිවරණයට පෙර වරාය වෘත්තීය සමිති සත්‍යග්‍රහයක නිරත වෙමින් වැඩවර්ජනය කරද්දී ඉල්ලූ සාකච්ඡා ලබාදීමට මැලි වූ ආණ්ඩුව මේ වන දැඩිව පීඩනයට පත්ව සිටියේය. වරාය වෘත්තීය සමිති වැඩවර්ජන වළකාලමින් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වරාය කටයුතු නම් කරන්නට ද ආණ්ඩුවට සිදු විය.
අවසානයේ වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනවාරි 13 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබුණි.
ශ්‍රී ලංකා රජයට 51%ක අයිතිය සහ ඉතිරි 49% ඉන්දියාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනපති පවසා තිබුණි. ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නැයි කී ජනපති සියලු වෘත්තීය සමිති නියෝජිතයන්ට එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි දැන්වීය. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන් බව කියැවුණි.
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙන බවද මෙහිදී ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණි. වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම්, වරාය සභාපති ඇතුළු නිලධාරීන් සහ වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනාධිපති සමඟ පැවති සාකච්ඡාවෙන් ද තත්ත්වය සමනය නොවූ බව පෙනී ගියේය. නැගෙනහිර පර්යන්තයේ අයිතිය මුළුමනින්ම වරාය සතු විය යුතු බව පිරිස අවධාරණය කළහ. මේ අතර නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කොට සම්මුතියකට එළැඹීම සඳහා අමාත්‍ය මණ්ඩලය 07 දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබීය. ඒ සදහා යෝජනා බාරගැනීම ඉකුත් 15 වැනිදා ආරම්භ විය. මෙම කමිටුවේ ප්‍රධානී වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා සඳහන් කළේ, අදාළ යෝජනා කමිටුව මගින් පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයට වෙත ලබාදීම සඳහා සකස් කරන වාර්තාවට ඇතුළත් කරන බවයි. එය කඩිනමින් සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කර තිබුණි.
මේ අතර වරාය වෘත්තීය සමීති පාර්ශ්වයෙන් ද නිරන්තර පුවත් ගලා ආවේය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය සේවක වෘත්තීය සමිති 23ක් මේ වන විටත් වෘත්තීය සමිති එකමුතුවක් ලෙස සංවිධානය වී සිටී. මෙයින් පුමුඛ පෙළේ වෘත්තීය සමිතියක් ලෙස කියැවුණු සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම්වරයාට ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධව පුවතක් ද වාර්තා විය. එය වරාය සටනේ ප්‍රතිඵලයක් බව වෘත්තීය සමිති චෝදනා කරන්නට විය.
මේ වන විට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ එක්ව පිහිටවූ වරාය සුරැකීමේ ජාතික සභාව ද ශක්තිමත්ව ගොඩනැගී තිබුණි. මේ සඳහා ජාතික එකමුතුව, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, රාජ්‍ය කළමනාකරණ සේවා සංගමය, ගුරු සංගම්, ගුරු සහ ස්වාධීන සංගමය, වෘත්තීයවේදීන්ගේ ජාතික එකමුතුව ඇතුළු පක්ෂ සහ සංවිධාන රැසක් ඇතුළත් විය.
ජනවාරි 19 වැනිදා කළ සාකච්ඡාවේදී ඔවුහු විශේෂ කමිටුව පත්කර ගත්හ. දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමිගේ නායකත්වයෙන් නිර්මාණය වූ මෙම කමිටුවට වෘත්තීය සමිති සාමාජිකයන් 8 දෙනකු මෙන්ම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන සාමාජිකයෝ 13 දෙනෙක් ඇතුළත් වූහ. කමිටුව කැබිනට් අනු කමිටුවට යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත විය. කෙසේ වෙතත් නිසි විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් බව මෙම සියලු කණ්ඩායම් දැනටමත් පවසා තිබේ.
ඒ අනුව වරාය අර්බුදය විසින් වර්තමාන ආණ්ඩුව “මඟ සිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී” තත්ත්වයට පත් කර ඇත. කිසි විටෙක ඉන්දියාව පියවරක් පසුපසට ගන්නට සූදානම් බවක් පෙනෙන්නට නැත. ආර්ථික මෙන්ම භූ දේශපාලනික හේතුද ඒ පිටුපස තිබේ. නැගෙනහිර ජැටිය පිළිබඳ පමණක් නොව පළාත් සභා ක්‍රමය, මැතිවරණ පැවැත්වීම සම්බන්ධව ද ඉන්දීය සාධකය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව උගත යුතුය. එසේම ආණ්ඩු හිතෛශීන්ව කළමනාකරණය කර ගැනීමට ද වර්තමාන ආණ්ඩුව සමත් විය යුතුය. රටේ අනාගතය සැබවින්ම ඒ මත රැඳී තිබේ.
චමිඳු නිසල් ද සිල්වා