බටහිර රටවල් දැඩි ලෙස බලාපොරොත්තු තබා බලා සිටි ෆයිසර් එන්නත පිළිබඳ නරක ආරංචියක් හදිසියේම පැතිර ගියේය. බටහිර ජනමාධ්‍ය නොබෝදා එය කටගැස්මට ගෙන තිබුණේ බ්‍රසීලයේ ක්‍රියාත්මකව තිබූ චීන එන්නත පිළිබඳ සමූහ පරීක්ෂාවෙන් එහි සඵලතාවය සිතූ පැතූ මට්ටමට පැමිණ නැති බවට වූ වාර්තාවයි. ඒ අතරේ බටහිර මහා බලාපොරොත්තුව බවට පත්ව තිබූ ෆයිසර් එන්නත ජීවිත 23ක් බිලිගත් කතාව එළියට ආවේය.
ජර්මන් සමාගමක් වන බයොන්ටෙක් සහ ඇමෙරිකාවේ ෆයිසර් ආයතනය එක්ව නිපදවූ අලුත්ම මාදිලියේ එන්නත 95%ක සඵලතාවක් දක්වන බව කියා තිබුණි. මෙය සති 3ක විරාමයක් සහිතව ලබාගත යුතු මාත්‍රා දෙකකින් සමන්විතය. ඒ ගැන කියා තිබූ එකම අඩුපාඩුව වූයේ ඉතා අධි ශීත තත්ත්වයක එය ගබඩා කර තබාගත යුතු වීමය. නෝර්වේ රටද මෙම එන්නත තෝරාගත් පුරවැසියන්ගේ අනුපිළිවෙළ අනුව ලබාදීම අරඹා තිබුණි. 2021 ජනවාරි 14 වැනිදා වනවිට එරට 42,000කට ආසන්න පිරිසක් මෙම එන්නතේ මුල් මාත්‍රාව ලබාගෙන තිබුණි. එරට සාත්තු නිවාස කිහිපයකින් මරණ 23ක් පිළිබඳව වාර්තාවක් එළියට ආවේ ඒ අතරය. මේ මරණවලට ලක්වූ 23න් දෙනා ඉහළ වයස් කාණ්ඩයේ වූ අතර, ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් සහ වෙනත් නිදන්ගත රෝගාබාධ සහිතව සිටි අය බව දැන් වාර්තා වී තිබේ
ෆයිසර් සමාගම මෙන්ම නෝර්වේ රජයද එන්නත සම්බන්ධයෙන් වූ සිය මාර්ගෝපදේශන වහාම වෙනස් කරන්නට කටයුතු කළේ මේ සිද්ධිය නිසාය. පසුව ජර්මනියෙන්ද මෙබඳු මරණ 7කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. නමුත් මේ සම්බන්ධයෙන් නෝර්වීජියානු රජයේ ඖෂධ ඒජන්සිය ප්‍රකාශ කර තිබුණේ සාමාන්‍යයෙන් සිය රටේ වැඩිහිටි සත්කාරක නිවාසවලින් සතියකට මරණ 400ක්වත් වාර්තා වන බවයි. ඒ අනුව දැන් ගොඩාක් දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් සහිත වැඩිහිටි පුද්ගලයන්ට එන්නත ලබාදීම සඳහා අවසන් තීන්දුව ගතයුත්තේ මනා සෞඛ්‍ය පරීක්ෂාවකින් පසුවය.
මෙම එන්නත නිසා හටගත හැකි අලකංචි ගැන නිෂ්පාදකයන් කලින්ම අනතුරු අඟවා තිබුණි. එන්නත ලබාගත් මුල් දිනයේ එයට දක්වන ප්‍රතිවාදී ප්‍රතික්‍රියාවක් හැටියට එන්නත ලබාදුන් ශරීරයේ එම ස්ථානයේ ඉදිමීමක් සිදුවිය හැකි බවත්, සමහර පුද්ගලයන්ට උණ සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ හටගත හැකි බවත් එසේ කලින් හඳුනාගත් අතුරු ආබාධයන්ය. සෞඛ්‍ය තත්ත්වය දුර්වල අයෙකු මරණය කරා ගෙනයාමට මේ තාවකාලික උණද ප්‍රමාණවත්ය.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකය ෆයිසර් බයොන්ටෙක් එන්නත විශ්වකර්ම එන්නතක් ලෙස සෙසු ලෝකයාට පෙන්වා දුන්නේය. එයට සාධාරණ හේතූන්ද නැතිවා නොවේ. ඇත්තෙන්ම මෙම එන්නත, එන්නත් නිපදවීමේ තාක්ෂණයේ නව හැරවුම් ලක්ෂයකි. මෙම ෆයිසර් එන්නතත් ඇමෙරිකාවේම මොඩෙර්නා සමාගමේ නව එන්නතත් යන දෙකම හැඳින්වෙන්නේ MRNA එන්නත් හැටියටය. ෆයිසර් එන්නත ඒ අතරින් කලින්ම නිපදවා සමූහ පරීක්ෂණ සඳහා යොමුවූ මුල්ම එන්නතයි. ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් ගණනාවක් කලින්ම අනුමැතිය ලබාදී එන්නත්කරණයට යොදාගත් ප්‍රථම එන්නත ෆයිසර් එන්නතයි. ඒ අනුව ලෝකයේ භාවිතයට එක්වූ ප්‍රථම සහ නවතම MRNA එන්නත එයයි.
එසේ වුවද MRNA එන්නත් තාක්ෂණය ලෝකයට අලුත් වූවක් නොවේ. MRNA එන්නත් මීට පෙරද මිනිසුන් යොදා පරීක්ෂාවට ලක්කර තිබේ. ඒ ඉන්ෆ්ලුවෙන්සා උණ, සීතා වෛරස් රෝගය, රේබීස් සහ සයිටොමොගාලෝ වෛරස් රෝගය, යන ආසාදනයන් සඳහාය. ජර්මනියේ එන්නත් නිපදවන ආයතනයක් වන බයෝටෙක් වසර 2017දී ජලභීතිකාව සඳහා ඔවුන් නිපදවූ ප්‍රථම MRNA එන්නතේ මුල් පර් යේෂණ වටය ඇරඹීය. එහි ප්‍රතිඵල නිකුත් වූයේ මෙම වසර මුලදීය. පසුගිය වසරේදී මොඩෙර්නා සහ ජර්මන් පර් යේෂණ ආයතනයක් ඉන්ෆ්ලුවෙන්සා උණ සඳහා තැනූ නව MRNA එන්නතක පළමු අදියරේ පර් යේෂණ ප්‍රතිඵල ලබා දුන්නේය. මොඩෙර්නා ජනවාරි වනවිට තවත් වෛරස රෝගයක් වන සයිටොමොගාලෝ වෛරස් රෝගය සඳහා නිපද වූ MRNA ඒනනතේ මුල් සායනික ප්‍රතිඵල නිකුත් කළේය. බ්‍රසීලයෙන් වාර්තා වෙන්නට ගත් භයානක රෝගයක් වන සීතා වෛරස් රෝගයටද මොඩෙර්නා MRNA එන්නතක් නිපදවා පරීක්ෂණ අරඹා හමාරය. මෙනිසා MRNA එන්නත් නිපදවීමේ තාක්ෂණය දැන් වඩාත් දියුණු මට්ටමකට පැමිණ තිබේ.
ලෝකයට මෙතෙක් හුරුව තිබූ එන්නත් නිපදවීමේ තාක්ෂණයට වඩා MRNA තාක්ෂණය බොහෝ වෙනස්ය. අපට හුරුපුරුදු බොහෝ එන්නත් නිපදවා ඇත්තේ රෝගයට මුල් වන විෂබීජයම දුර්වල කර යොදා ගැනීමෙන් හෝ එයට බොහෝදුරට සමානව තැනූ විෂබීජයන් යොදා ගැනීමෙනි. නමුත් MRNA එන්නත්වලදී විෂබීජ වෙනුවට භාවිතා කරන්නේ රසායනික පණිවුඩයකි. මිනිස් සෛල තුළට ලැබෙන මේ රසායන පණිවිඩය මගින් ලැබෙන තොරතුරු අනුව මිනිස් සිරුරේ සෛල, ප්‍රෝටීන කොටසක් නිපදවයි. මේ ප්‍රෝටීන කොටස එන්නත මගින් මර්දනය කිරීමට බලාපොරොත්තු වන රෝග කාරක වෛරසයට අයත් ප්‍රෝටීන කොටසකි. එම ප්‍රෝටීන තමන්ට ආගන්තුක නිසා අපේ සෛල එය පිටතට වමාරයි. සිරුර තුළ මේ ආගන්තුක ප්‍රෝටීනවල පැවැත්ම හඳුනාගන්නා අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එයට එරෙහිව ප්‍රතිදේහ නිපදවයි. ඉදිරියේදී සැබෑ වෛරසය සිරුරට ඇතුළු වුවහොත් එයට එරෙහිව ක්‍රියා කිරීමට දැන් අපේ සිරුර සූදානම්ය. එම MRNA තාක්ෂණයට අනුව සාදා ඇති ෆයිසර් එන්නත මගින් ගෙන යන MRNA පණිවුඩයේ සඳන්ව ඇත්තේ, කොවිඩ් 19 වෛරසයේ ඇති Spike Protein කොටස තැනීමට අවශ්‍ය තොරතුරයි. කොවිඩ් 19 සාදන කොරෝනා වෛරසය අපේ සෛල හා සම්බන්ධ වන්නේ මේ කියන Spike Protein හරහාය. මේ නිසා සිරුරට එන කොවිඩ් වෛරස හඳුනා පහර දෙන්නට ෆයිසර් එන්නත සිරුර සවිබලගන්වන්නට සමත් නිසැක ප්‍රතිකර්මයක් බවට පත්ව තිබේ.
MRNA එන්නතක ඇති ප්‍රධාන විශේෂත්වයන් වනුයේ ඒවායේ සජීවී වෛරස භාවිතයට නොගැනීමත්, පණිවුඩය ගෙන යන MRNA කොටස, සෛලයේ ජාන හෙවත් DNA සහිත න්‍යෂ්ටිය තුළට ඇතුළු නොවීමත්, එමෙන්ම සිරුරේ සෛල MRNA මගින් ගෙන ආ පණිවුඩය ලබාගත් පසු එය රුගෙන ආ පණිවිඩකරුවා වන MRNA සටහන විනාශකර දැමීමත්ය. මේ නිසා එම එන්නත් මගින් අපේ ජානවලට නැතිනම් DNA වලට කිසිදු බලපෑමක් වන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ ඇඩ්‍රස් නැති ප්‍රහාරයක් සූදානම් කිරීමය. ඒ නිසාම, දැනට ඇති වඩාත් කාර්යක්ෂම සහ ඉතා ඉක්මනින් රෝග කීපයකට වුවද ප්‍රතිකාර ලෙස යොදාගත හැකි බහුකාර්ය එන්නත් නිපදවීමට හැකියාව ලබාදෙන තාක්ෂණය මෙයයි.
සුගත් පී. කුලතුංගආරච්චි