අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සඳහා අනිවාර්යයෙන් හමුදා පුහුණුවක් ලබාදීම සම්බන්ධයෙන් යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පසුගියදා ප්‍රකාශ කළේය. මෙය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වූ අතර ඇතැම් අයට මෙය හුදු විනෝදයක් වූ අතර තවත් අයට මෙය බරපතල ප්‍රකාශයක් විය. ඒ සියල්ල සමාජ මාධ්‍ය තුළ කරට කර සංවාදයට ලක්වුණු අතර ඒ අතරින් හමුදා පුහුණුව දෙන්නම ඕනෑ යැයි සිටින අදහසේ සිටින්නෝද වූහ.
සරත් වීරසේකර අමාත්‍යවරයා පවසන්නේ පරිදි විනය සහිත සමාජයක් සැකසීමේ අරමුණින් මේ යෝජනාව ඉදිරිපත් කරන බවත් එයට කිසිවකු බියවිය යුතු නැති බවත්ය. මීට පක්ෂග්‍රාහී අයගේ මතයද එයමය. ඔවුන් කියන්නේද විනය සහිත සමාජයකට හමුදා පුහුණුව කමක් නෑ කියාය. මේ අතර එම සංවාදයට විරුද්ධ මතයක් දරන අය සඳහන් කරන්නේ යුද හමුදා පුහුණුවකින් විනය සහිත සමාජයක් හැදෙනවා නම් ඇතැම් පාතාලයේ අයගේ ඉදිරියෙන් ආමි, නේවි, එස්.ටී.එෆ්., පොලිස්, එයාර්ෆෝස්* වැනි විශේෂණ පද වැටුණේ කෙසේද කියාය. මේ සංවාදය ඉතාම රසවත් සංවාදයක් වුවත් මේ ගැන තවම රජයේ නිල ප්‍රකාශයක් ජනතාව හමුවේ සිදුකර නැත. ඒ නිසා යුද හමුදා පුහුණුව ලැබෙන්නට හෝ නොලැබෙන්නට ඇති ඉඩකඩ 50/50 කි.
කෙසේ වෙතත් ඔබ අප මේ සම්බන්ධයෙන් නොදන්නවා වුණාට ඉතාම දියුණු රටක් වන ස්විට්සර්ලන්තය තුළද එරට පුරවැසියන්ට යුද හමුදා පුහුණුව ලබාගත හැක. එහෙත් ඔවුන් අප අසා ඇති කාලයක යුද්ධයක් කර නැත. ඊට අමතරව දකුණු කොරියාව, උතුරු කොරියාව, බ්‍රසීලය, ඊශ්‍රාලය, සිරියාව වැනි රටවල් රැසක් මෙම යුද පුහුණුව ලබාදෙනු ලබයි. ඒ නිසා ඇතැම් අයට මේ ගැන විවිධ මත ප්‍රකාශ කළ හැක.
එහෙත් මේ සම්බන්ධයෙන් ලියුම්කරු ලෙස මා දරන මතය නම් මෙවැනි පුහුණුවක් ලබාදුන් පමණින් විනයක් හෝ සමාජයක් හැදෙන්නේ නැත. මේ රටේ සිදුවන අපරාධ සහ ඒවායේ ස්වභාවයත් සහ එහි ම්ලේච්ඡත්වයත් දිනෙන් දින වැඩිවූවා මිස අඩුවුණේ නැත. පොඩිදේට පවා මරාගන්න, පිහියෙන් අනින්න, වෙඩි තියන්න මේ සියල්ල ක්‍රමිකව දරුණු වූයේ මෙරට පැවති තිස් වසරක යුද්ධයත් සමඟය.
අදටත් ආරක්ෂක අංශ අයගෙන් විමසුවොත් පාතාලයට ආයුධ ගියේ කොහෙන්ද කියා, එක්කෝ එල්ටීටීඊයෙනි, නැත්නම් ආරක්ෂක අංශවලනි. ඉලක්කයට වෙඩි තැබිය හැකි පාතාලයන් මෙරට බිහිවූයේ පාතාලයෙන් නොව හමුදා පුහුණුවෙන්ය. ටී56, පිස්තෝලයක්, රිවෝල්වරයක්, අත්බෝම්යක් භාවිත කරන හැටි දැනගත්තේ පාතාලයෙන් නොව ආරක්ෂක අංශ තුළ රුකියා මගිනි. ඒ නිසා නොහික්මුණු සමාජයක හික්මීම ඇතිකිරීම සඳහා යුද හමුදා පුහුණුවක් ලබාදීම කෙතරම් ප්‍රායෝගිකද යන්න ගැටලුවක් ඇත. ඊට අමතරම එක කාලයක කඳවුරු තුළ ලබාදුන් නායකත්ව පුහුණු පිළිබඳ අත්දැකීම් පවා ඇත. ඒ සිදුකළ දෙයින් සිදුවූ සෙතේ කුමක්ද යන්න අදටත් ගැටලුවක් ඇත.
විශේෂයෙන් මේ සියල්ලට වඩා ඇති ප්‍රශ්නය වන්නේ ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයක් ඇති මොහොතක සියල්ල වෙනස් වෙමින් පවතින මොහොතක මෙවැනි යෝජනා ගෙන ඒමය. ඊටත් වඩා ඉතාම අමාරු අඩියක රටේ ආර්ථිකය ඇදගෙන යන මොහොතක විශාල පිරිවැයක් දරා මෙවැනි පුහුණු සිදුකිරීමට යෝජනා කිරීමය. ඒ නිසා මේ අදහස් මාර අදහස්* නොව මේ නිසි පදනමක් නැති යෝජනාය. මේ යෝජනා සිදුකිරීමට පෙර නිවැරදි අධ්‍යයනයක් අවශ්‍ය වුවත් එවැනි කිසිම දෙයක් ගැන සොයා බැලීමකින් තොරව සිදුකරන ප්‍රකාශය. මේවා හුදු ගැලරිය ඇවිස්සීම හෝ පිනවීම සඳහා සිදුකරන ප්‍රකාශදැයි එක විටෙක සිතේ. එහෙත් එය දන්නේ ඒ අයමය. ඒ නිසා අප මේ ගැන මැතිසබේ මැති ඇමැතින්ගෙන් විමසුවෙමු.
යුද මානසිකත්වයේ අවුලක්
පාඨලී චම්පික රණවක - (පා.ම.) සමගි ජන බලවේගය
සරත් වීරසේකර මහත්තයා ඉන්නේ 2005 කාලේ. යුද්ධයක් තියෙනවා කියලා හිතාගෙන. මේ වගේ දේවල් යෝජනා කළාට කමක් නෑ යුද සමයකදී සහ යුදමය වාතාරණයකදී. හැබැයි ඒ වගේ නැති මොහොතක යුද පුහුණුවක් අවශ්‍ය නෑ. මම එක දෙයක් කියනවා. යුද පුහුණුව නෙමෙයි දෙන්න අවශ්‍ය ආයතන මට්ටමින් දෙන්න ඕන නායකත්ව පුහුණුව. ඒක මම ඉන්න කාලේ අමාත්‍යංශවල කළා. ඒක නම් ඉතාම ප්‍රායෝගික සහ සාර්ථක ක්‍රමවේදයක්. හැබැයි මෙවැනි දේවල් කිසිම පළක් නෑ. මතකනේ කැම්පස් ළමයින්ට දුන්නා. මොකද වුණේ? සාර්ථක වුණාද? නෑ. ඒ නිසා ආර්ථික වශයෙන් හානිවෙලා ඉන්න මොහොතක මෙවැනි දේවල් නෙමෙයි අරමුණු කරගන්න ඕන. ආර්ථික අවපාතයෙන් මිදෙන්න ක්‍රමවේදයක් සකසන එක. ඒක නොවී මෙවැනි දේවල් කිරීම යුද මානසිකත්වයේ අවුලක්. අපි ආණ්ඩුවට කියනවා යුද ජයග්‍රහණයෙන් ත්‍රිවිධ හමුදාවට ලැබුණු ගෞරවය නැති කරන්න එපා.
මේවාද රටේ තියෙන ප්‍රශ්න
නලින් බණ්ඩාර - (පා.ම) සමගි ජනබලවේගය
මට නම් ඒ යෝජනාව ප්‍රශ්නයක් නෑ. හැබැයි මට තියෙන ප්‍රශ්නය ඒ දේවල් කරන්න කොහෙන්ද සල්ලි කියන එක. කොවිඩ් වෛරසය හැදිච්ච රෝගියෙක්ට පවා වියදම් කරන්න සල්ලි නැතුව කොහොමද මේ දේවල් කරන්නේ. එහෙම තියෙනවා නම් පෙන්නන්න.
අනික මම සරත් වීරසේකර මහත්තයට කියනවා රටේ මිනිස්සුන්ගේ විනය හදන්න කලින් ආණ්ඩුවේ විනය හදන්න කියලා. ආණ්ඩුවේ අයගේ විනය නැතුව රටේ මිනිස්සුන්ගේ විනය හදන්න යන එක විහිළුවක්. අනික මේවාද මේ රටේ තියෙන ප්‍රශ්න.
ඇමැතිතුමා අදහස් කළේ නායකත්ව පුහුණුවක්
සෙහාන් සේමසිංහ - රාජ්‍ය අමාත්‍ය, සමෘද්ධි, ගෘහ ආර්ථික, කුෂුද්‍ර මුල්‍ය, ස්‍වයං රුකියා හා ව්‍යාපාර සංවර්ධන
සරත් වීරසේකර අමාත්‍යතුමා අදහස් කළේ යුද හමුදා පුහුණුවක් නෙමෙයි. එතුමා අදහස් කළේ ආකල්පමය, නායකත්ව පුහුණුවක්. ඒක විනය හදන්න හොඳ දෙයක්. අද තාක්ෂණයත් එක්ක යන ලෝකයක්. තරුණ ප්‍රජාව ඒවායෙහි ජීවත් වෙන්නේ. ඒ වගේ ප්‍රජාවක් ඉදිරියේ වැඩිවෙනවා. ඒ නිසා මෙවැනි ආකල්පමය, නායකත්ව පුහුණුවක් අවශ්‍යයි. එහෙම නැතුව බංකොලොත් විපක්ෂය කියන වගේ ආයුධ පුහුණුවක් නෙමෙයි දෙන්නේ. ඒක ඒ අය හදපු එකක්. ඒ නිසා අනවශ්‍ය බයක් සැකක් තියාගන්න අවශ්‍ය නෑ.
මේක රට රවටන පිස්සු අදහසක්
සුනිල් හඳුන්නෙත්ති - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණ
මේක මේ පිස්සු අදහසක්. මේ රටේ මේවද ප්‍රශ්න? තරුණයෝ ඉල්ලන්නේ මේවද? තරුණ ශක්තිය වැය කරන්න තැනක් නෑ. රුකියාවක් ගන්න ඔය කියන අයගේ පස්සෙන් යන්න. මේ දේවල්වලට විසඳුම් නැතුව ඒ අය හොයන්නේ වෙන වෙන දේවල්. මේවා රටක් රවටන කතා. මොකද මේ අය ඉන්නේ මිලිටරීකරණ මානසිකත්වයෙ. ඒවායේ ප්‍රතිපල තමයි මෙවැනි අදහස්. රටේ මිනිස්සු බඩුමිල නිසා ප්‍රශ්නවල, රස්සා නෑ, ව්‍යාපාර කඩා වැටිලා. ආර්ථිකය වශයෙන් සම්පුර්ණ අවුලක. ඒවට විසඳුම් නෑ. මේවා තමා ඒ අයගේ විසඳුම්.
ගයාන් ගාල්ලගේ