අතීතය ආදර්ශයට ගතහොත් කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අතර පවතින්නේ අනුරූපී සම්බන්ධතාවකි. වෙනත් වචනවලින් කිවහොත් රුපියලේ විදේශ අගය ශක්තිමත් වනවිට කොටස් වෙළෙඳපොළ ආයෝජනය ඉහළ යයි. එයට හේතුව වන්නේ විදේශ හා දේශීය ආයෝජකයන් කොටස් වෙළෙඳපොළ කෙරෙහි විශ්වාසය තබන්නේ රුපියලේ විදේශ අගය මත පිහිටා නිසාය.
එහෙත් පසුගිය සතියේ එක්තරා පුදුම උපදවන අහඹු සිදුවීමක් පිළිබඳ දැනගන්නට ලැබුණි. එය නම් ශ්‍රී ලංකා රුපියලේ විදේශ අගය ඉතාම දුර්වල මට්ටමක තිබියදී කොටස් වෙළෙඳපොළ පිරිවැටුම ඉහළ යාමය. පසුගිය 15දා වනවිට ශ්‍රී ලංකා රුපියල යළිත් වරක් 196 ඉක්මවා පහළ ගොස් තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 196.05 දක්වා පහළ ගිය අතර, ගැනුම් මිල රුපියල් 190.77 දක්වා පහළ ගිය බව වාර්තා විය. 2020 වසරේ අප්‍රේල් 8දා රුපියලේ අගය ප්‍රථමවරට 196 ඉක්මවා ඉහළ ගිය අතර, එයින් පසු 196ඉක්මවා ඉහළ ගියේ පසුගිය අප්‍රේල් මස 20 දිනය. එය 196.65 විය.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පසුගිය අප්‍රේල් 8 වැනිදා ඉතිහාසයේ පළමුවරට ඩොලරය රුපියල් 200.46 දක්වා ඉහළ ගොස් තිබිණ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය රජයවල් මෙන් මේ රජයද රාජ්‍ය භාණ්ඩාගාරය සතු විදේශ සංචිත වෙළෙඳපොළට දැමීමට පටන් ගත්තේ ඒ සඳහා වෙනත් විකල්පයක් නොමැති බැවිනි. ශ්‍රී ලංකා මහ බැංකුව, රුපියල නගා සිටුවීම සඳහා 2020 දෙසැම්බර් වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 22ක් අලෙවිකර තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනවාරි 1දා සිට 8 වැනිදා වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 0.5කින් ඉහළ ගියේය. මෙලෙස තාවකාලිකව හෝ පියවර ගන්නට සිදුව තිබුණේ රුපියල් 200 ආසන්නයට අවප්‍රමාණ වීම නිසා ආනයන භාණ්ඩවල මිල ඉහළ යාමෙන් විදේශ විනිමය අර්බුදයකට තල්ලුවීම මෙන්ම රටේ ජීවන වියදමද ඉහළ යාමට පටන් ගැනීම නිසාය.
පසුගිය යහපාලන රජය සමයේ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 166-168 දක්වා පවතින විට කෑගැසූ වර්තමාන ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට තම පාලන සමය ආරම්භයේදීම එය රුපියල් 200 ඉක්මවා යාම විශාල අභියෝගයක් බවට පත්විය. කෙසේ වුවද මේ වනවිට රුපියල දුර්වල වීම යථා තත්ත්වයට පත්ව නැති අතර එය යළි ගොඩගැනීමට ප්‍රමාණවත් විදේශ වත්කම් මහා භාණ්ඩාගාරය සතුව නොමැත.
මේ අතර සිදුවූ පුදුම සහගත සිද්ධිය වූයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) පසුගිය 18දා වනවිට ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කිරීමය. එදින දිනය අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7922.66ක් ලෙසට ඉහළ ගියේය. 17 දිනට සාපේක්ෂව එම ඉහළ යාම ඒකක 188.09කි. මෙයට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය 2017 වසරේ පෙබරවාරි මස 14දා වාර්තා වූ අතර එය ඒකක 7811.80ක් විය. 18දා පමණක් රුපියල් බිලියන 12.18ක ගනුදෙනු පිරිවැය වාර්තා විය. එහිදී එක්ස් ෆෝ ලංකා සමාගම රුපියල් බිලියන 1.55ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම බිලියන 1.35, එල්.ඕ.එල්.සී. හෝල්ඩින්ස් ආයතනය බිලියන 1.31 ආදී වශයෙන් මෙම සමාගම් තුන පමණක් ඉපැයූ මුළු මුදල බිලියන 4.21ක් වූයේය.
එසේම 18දා කොටස් ගනුදෙනු 67,000කට අධිකව සිදුවීමද වාර්තාගත තත්ත්වයක් විය. එය මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සිදුවූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාව වූවේය. මේ නිසාම රජයට ලැබුණු බදු ආදායමද ඉහළ ගියේය. 2021 ජනවාරි මස පළමු සති දෙක තුළදී රුපියල් බිලියන 428.95ක් හෙවත් රුපියල් කෝටි 4289ක බදු ආදායමක් කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා රජයට ලැබී තිබේ. මෙයද වාර්තාගත බදු ආදායමකි. කොටස් වෙළෙඳපොළේ රුපියල් මිලියන 100 දක්වා ගනුදෙනු සඳහා සියයට 1.12ක ගාස්තුවක් අය කරන අතර, මිලියන 100ට වැඩි ඒවා සඳහා අවම තැරුව්කාර ගාස්තුව 0.6125කි. මෙම ගනුදෙනුවලදී සියයට 0.3 වන රජයේ අයබදු ගාස්තුව ගෙවිය යුතු අතර, එක් ගනුදෙනුවකදී ගැනුම්කාර හා විකිණුම්කාර පාර්ශ්ව දෙකම සියයට 0.3 බැගින් ගෙවිය යුතුවේ. ඒ අනුව ජනවාරි පළමු හා දෙවැනි සතිවල පිළිවෙළින් සිදුවූ රුපියල් බිලියන 33.62 හා බිලියන 37.86ක් වූ ගනුදෙනු සඳහා ගැනුම් හා විකුණුම්කාර පාර්ශ්වයන් රුපියල් මිලියන 428.95ක් රජයට බදු ලෙස ගෙවා තිබේ. මෙය රජය කොටස් වෙළෙඳපොළෙන් ලැබූ ඉහළම බදු ආදායම වේ.
කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය මෙලෙස සියයට 9.88කින් ඉහළ යාම නිසා එය ලොව කොටස් වෙළෙඳපොළවල් අතරින් දෙවැනි ස්ථානයට පත්ව ඇති බව ජාත්‍යන්තර බ්ලූම්බර්ග් (Bloomberg) ආයතනය වාර්තා කර ඇත. මේ තත්ත්වය පිළිබඳ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියේ කොටස් වෙළෙඳපොළ සුවිශේෂ ජයග්‍රහණයක් ලබාගෙන ඇති බවය. මෙය කලාතුරකින් දක්නට ලැබෙන මහඟු අවස්ථාවක් වන අතර මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට උත්සාහ කරන බවද, ඒ සඳහා වන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවද ඔහු කියයි. ශ්‍රී ලංකා රුපියලේ විදේශ අගය පහළ වැටී තිබෙන අවස්ථාවක ඒ පිළිබඳ නොසලකා ආයෝජකයන් කොටස් වෙළෙඳපොළේ ආයෝජනයට පෙළඹීම අනාගතයේ අපේ ආර්ථිකය පිළිබඳ නැවුම් බලාපොරොත්තු තබා ගැනීමේ පෙර නිමිත්තක් බවද ඔහු කියයි.
කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අගය ඉහළ නැගීම පිළිබඳ ප්‍රකාශයක් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසන්නේ මෙය ආණ්ඩුවේ හුදු මවාපෑමක් පමණක් වන බවය. මෙය කිහිප දෙනෙකුගේ කුප්‍රකට ජාවාරමක් වන අතර මේ නිසා කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අමාරුවේ වැටී තිබෙන බවද ඔහු කියයි. මෙම කෘත්‍රිම මවාපෑමේ ප්‍රතිඵලයක් වශයෙන් නුදුරු දිනවල කොටස් වෙළෙඳපොළ පෙරටත් වඩා කඩා වැටෙනු ඇති බවද ඔහු කියා සිටී.
කෙසේ වුවද මැදහත් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඉහළ ගියා යැයි රටේ ආර්ථිකය ගැන සුබවාදීව බැලිය නොහැකි බවය. ඔවුන් මෙය හඳුන්වන්නේ Pump and Dump වැඩපිළිවෙළ ලෙසටය. එනම් කොටස් වෙළෙඳපොළ උස්සා අතැරිල්ලක් බවය. මෙලෙස ඔසවා අතහැරිය විට විනාශ වන්නේ ඇතුළත සිටින අයය. ඉන්පසු ඔවුන් අපේ කොටස් වෙළෙඳපොළ කෙරෙහි විශ්වාසය බිඳ දැමීමට ඉඩ තිබේ. කොටස් වෙළෙඳපොළ කෘත්‍රිමව ඔසවන බව දැනගත් විට ඔවුන් එහි ආයෝජනය කිරීමට පසුබානවා ඇත. කොටස් වෙළෙඳපොළ යනු සූදුවක් වන අතර කිසිදු පරිශ්‍රමයකින් තොරව මුදල් යොදවා බලා සිටීමට ආයෝජකයන්ට සිදුවේ. අනුන්ගේ උත්සාහය අනුව තම කොටස් ආදායම ඉහළ යනවා ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. එය දෛවයට භාරකරන ක්‍රීඩාවක් බවට පත්ව ඇත.
එහෙත් බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ කොටස් වෙළෙඳපොළ ආක්‍රමණය කරන ප්‍රබල ව්‍යාපාරිකයන් අතළොස්සක් මෙහි බල පරාක්‍රමය පතුරුවා ගෙන සුළු අය අමාරුවේ දමා විශාල ආදායමක් ලබන බවය. ඔවුන් දිගටම එහි නොසිටින අතර ඉහළට ඔසවා තමා ස්වකීය මඩිය තරකරගෙන ඉවත්ව යන නිසා අවසානයේදී කොටස් වෙළෙඳපොළ තිබුණු මුල් තත්ත්වයෙන්ද පහළට කඩා වැටේ. කොටස් වෙළෙඳපොළ පාලනය කරගත නොහැකිවීම නිසා පසුගිය ආණ්ඩු සමවලදී විනිමය කොමිසම් සභාවල සභාපතිවරුන් පවා එකදිගට ඉල්ලා අස්වීමට පෙළඹී සිටි බව අමතක නොවේ.
පාලනයක් නැති වුණොත් ලොකු හානියක් වේවි
කොටස් වෙළෙඳපොළ ඉහළ නැග ඇතැයි මේ දිනවල පුරසාරම් දෙඩීම හුදු ප්‍රලාපයක් පමණක් වන බව ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි. ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙය කිහිපදෙනෙකුගේ මවාපෑමක් වන අතර මෙයින් රටේ ආර්ථිකයට හෝ ජනතාවට කිසිදු යහපතක් සිදු නොවන බවය. මෙය විකෘති තත්ත්වයක්ය යන්න ඔහුගේ අදහසය.
කොළඹ කොටස් වෙළෙඳපොළ මේ වනවිට ඉතිහාසයේ මෙතෙක් නොවූ විරෑ ලෙස ඉහළම අගයට පත්ව තිබෙනවා. මෙය ඉතාම සාධනීය තත්ත්වයකැයි කෙනෙකුට කියන්නට පුළුවන්. එහෙත් අපේ රට අද වනවිට පවතින්නේ එවැනි දෙයක් සිදුවිය හැකි යහපත් පරිසරයකද යන්න සොයාබැලීම වැදගත්. කොටස් වෙළෙඳපොළ වර්ධනය වීමට රටේ මූලික සාධක (Fundamental Factors) බලපාන බව කිවයුතුයි. එනම් මේ වනවිට රටේ ආර්ථිකය වර්ධනය වී තිබිය යුතුයි. උද්ධමනය පහළ බැස තිබිය යුතු අතර විදේශ විනිමය අතින් පොහොසත් වෙන්නට අවශ්‍යයි. එසේම රටේ ව්‍යාපාර දියුණුව පැවතිය යුතුයි. එහෙත් මේ සියලු කරුණු අද අපේ රටේ පවතින්නේ ඍණ තත්ත්වයකින්. එසේම කොටස් වෙළෙඳපොළ දර්ශකය ඉහළ යාමට තවත් සාධකයක් වන්නේ ව්‍යාපාරවල දියුණුවයි. එහෙත් අද වනවිට කොවිඩ් වසංගතය හා වෙනත් හේතු නිසා අපේ රටේ ව්‍යාපාර වැසෙමින් පවතිනවා. ඒවායේ ලාභයද පහළ යමින් තිබෙනවා. රාජ්‍ය ව්‍යාපාරද මුළුමනින්ම වාගේ කඩාවැටිලා. එසේම රටේ ආයෝජන පිළිබඳ මනෝභාවයද ඉතාම දුර්වල මට්ටමකයි පවතින්නේ. රටේ අනාගත ආයෝජනය සඳහා ආයෝජකයන් පැමිණේද යන්න ගැනද සැකසහිතයි. පවතින ආයෝජන පවා බිඳ වැටී තිබෙනවා. ඇතැම් විදේශ ආයෝජකයන් ස්වකීය ව්‍යාපාර අපේ රටෙන් ඉවත්කරගෙන යාමේ ප්‍රවනතාවක් දක්නට පුළුවන්. මේ අවිනිශ්චිතතාවය මත කිසිවෙකුත් ආයෝජනයට එකතු වන්නේ නැහැ.
මේ අනුව අපට පෙනී යන්නේ ආර්ථික න්‍යායාත්මකව තත්ත්වය යහපත් නොවන බවයි. ආර්ථික වර්ධනයකට හේතුවක් පෙනෙන්නේ නැහැ. එවැනි පසුබිමක එකවරම කොටස් වෙළෙඳපොළ මෙවැනි වර්ධනයක් ඇතිවිය නොහැකියි.
අද වනවිට කොටස් වෙළෙඳපොළේ සියලුම ශාඛා වසාදමලයි තිබෙන්නේ. ගනුදෙනු සිදුවන්නේ මාර්ගස්ථ (Online) ක්‍රමයටයි. මෙලෙස මාර්ගස්ථ ක්‍රමයට ප්‍රවිශ්ට වීමට හැකි අය අද අපේ රටේ අඩුයි. ඒ ගැන දැනුම තිබෙන අය අවමයි. ඒ නිසා මාර්ගස්ථ ගනුදෙනු ක්‍රමය සාර්ථක නැහැ. ඒ මත විශ්වාසය තැබිය නොහැකියි.
මේ අනුව අපට පෙනීයන්නේ රටේ ඉතාම සුළු පිරිසක් මහා පරිමාණ ව්‍යවසායකයන් අතලොස්සක් මේ සෙල්ලමට පටන්ගෙන ඇති බවයි. මේ අය කෘත්‍රිමව කොටස් වෙළෙඳපොළ පිරිවැටුම ඉහළට ඔසවන්නට කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. 2014 වසරේදීද මෙයට පෙර මෙවැනි තත්ත්වයක් ඇතිවී කොටස් වෙළෙඳපොළ පිම්බිලා ගියා. මහා පරිමාන ව්‍යවසායකයන් කිහිපදෙනෙකු තමා මෙතැන ඉන්නේ. ඒ අය බැංකුවලට මුදල් නොයොදවා වෙනත් ආයෝජනවල යොදවනවා. පොලී අනුපාත අඩු බැවින් බැංකුවල මුදල් තැන්පත් නොකර කොටස් වෙළෙඳපොළට ආයෝජනය කරනවා.
තවද ආණ්ඩුව ආනයන සීමා කිරීම නිසා ආනයනකරුවන් තම මුදල් තාවකාලිකව මෙතැන ආයෝජනය කරනවා. සාමාන්‍යයෙන් අමෙරිකානු ඩොලරයේ අගය වැඩිවූ විට කොටස් වෙළෙඳපොළට ආකර්ෂණය විය යුත්තේ විදේශ ආයෝජකයන් තමා. එහෙත් අද වනවිට කොටස් වෙළෙඳපොළ ඇත්තේ විදේශ ගනුදෙනු නොව දේශීය ගනුදෙනුයි. මෙහිදී වංචනික ගනුදෙනු සිදුවෙනවාදැයි සැකයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. සුරුකුම්පත් කොමිෂන් සභාව මේ ගැන සොයාබැලිය යුතුයි. මෙහිදී සිදුවන්නේ කොටස් වෙළෙඳපොළ ගැන වැටහීමක් නැති අහිංසක කුඩා අයෝජකයන් අමාරුවේ දැමීමක්. ඒ අය මෙම ඉහළයාමට රුවටී තම මුදල් කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරනවා. අන්තිමට සිදුවන්නේ කුමක්ද මේ බැලුම්බෝලයේ හුළං බැස්ස විට ඔවුන් විපතට පත්වෙනවා. මෙයට පෙරද අවස්ථා ගණනාවකදීම මේ තත්ත්වය ඇතිවූ බව අපට අමතක නැහැ. අද ඇතිව තිබෙන්නේද එවැන්නක්.
කොටස් වෙළෙඳපොළට විදේශ ආයෝජකයන් ඇදීගෙන පැමිණ විදේශ විනිමය ගලා එනවා නම් රටට යහපතක් සිදුවෙනවා. එහෙත් මෙතැනදී එවැන්නක් සිදුවන්නේ නැහැ. රටේ ජනතාවට හෝ රටට මෙයින් යහපතක් සිදුවන්නේ නැහැ. මෙතැනදී සිදුවන්නේ කිහිපදෙනෙක් ලාභ බෙදාගැනීම පමණයි. ඒ ලැබෙන මුදල් කුඩා ආයෝජකයන්ගේ වත්කම්. මෙය කිහිපදෙනෙකුට පෞද්ගලිකව ලැබෙන ලාභයක් මිස රටට හෝ ජනතාවට සිදුවන යහපතක් නම් නොවෙයි. කොටස් වෙළෙඳපොළට ආයෝජනය කරන මුදල් ප්‍රාග්ධන බද්දෙන් නිදහස් නිසා මේ කුප්‍රකට ආයෝජකයන් එයින් ප්‍රයෝජන ගන්නවා. රටක කොටස් වෙළෙඳපොළ ශක්තිමත් වන්නේ රටේ ආර්ථිකය යහපත් නම් පමණයි. එහෙත් අපේ රටේ ආර්ථික වර්ධනයක් නොමැතිව කොටස් වෙළෙඳපොළ සාර්ථකයි යන්න පිළිගත නොහැකියි.
අපේ රට අද ආර්ථික වශයෙන් විශාල ප්‍රපාතයකටයි තල්ලු වී තිබෙන්නේ. එක පැයකට ණය ගෙවන්න පමණක් රුපියල් කෝටි 14ක් අවශ්‍යයි. සංචාරකයන්ගේ පැමිණීම බින්දුවට බැහැලා. පසුගිය දිනවල යුක්රේන සංචාරකයන් ගෙනැල්ලා ලැබුණේ රුපියල් හාරකෝටි විසි ලක්ෂයක ආදායමක් පමණයි. ඔවුන්ට සෞඛ්‍ය සහ වෙනත් පහසුකම් සැලසීමට විශාල මුදලක් වැයවුණා. ඉදිරියේදී රටේ ආර්ථිකය කවදා යහපත් වේදැයි කියන්න බැහැ. කොටස් වෙළෙඳපොළ මේ තත්ත්වය දිගටම තබාගැනීම අසීරුයි. මෙය කෘත්‍රිමව ගෙනා එකක් නොවේ නම් වෙළෙඳපොළ යම් මට්ටමක නැවතිය හැකියි. මෙය කෘත්‍රිමව සිදුවූ දෙයක් නම් තිබුණු තත්ත්වයටත් වඩා පහළ වැටීම නැවැත්විය නොහැකියි. බොහෝ අය මේ වනවිට ආයෝජන ලාභ උපරිමයෙන් ලබාගෙන අවසන්.
කොටස් වෙළෙඳපොළ මේ වනවිට සූදුවක් බවට පත්වී හමාරයි. කිහිපදෙනෙක් එකතුව කරන ව්‍යාපාරයක්. මවාපෑමක් පමණයි. මේ තත්ත්වය විනිමය හා සුරුකුම් කොමිසමෙන් පාලනය නොකළහොත් විශාල අයහපතක් සිදුවේවි. කොවිඩ් සමයේ ආරම්භ කර පැයකින් විනාඩි ගණනාවකින් වැසීගිය අසාර්ථක කොටස් වෙළෙඳපොළ රටේ පරිසරය වෙනස් වී නොමැතිව තිබියදී මෙලෙස පිම්බෙන්නේ ඇයිද යන්න අභිරහසක්. මෙය ඇතැමුන්ගේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් බවට මේ වනවිට සැකයක් ඇතිව තිබෙනවා. මෙය ඉක්මනින් පාලනය කළ යුතුයි.
යසවර්ධන රුද්රිගු