2021 ජනවාරි 23 වන සෙනසුරාදා

උදෑසනම කුරුල්ලන්ට කතා කරපු දේවගැතිතුමා

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

උන්වහන්සේ අපේ නිවෙසට වැඩියාම තාත්තා නැගිටලා පුටුවට සුදු රෙද්දක් දාලා ගෞරවයෙන් පිළිගන්නවා. උන්වහන්සේත් තාත්තාට ගෞරවාදරය කළා. තාත්තා අප අතට අසුවන හැම පොතක්ම කියවන්න අනුබලය දුන්නා. ඇතැම් විට වැඩිහිටියන්ට පමණක් සීමා වූ ලිංගික කරුණු ඇති පොත් පවා අම්මාට හොරෙන් මටත්, මල්ලීටත් කියවන්නට දුන්නා. කියමින් වරක් වර්නන් වීරසිංහ මහතා තම පියා ගැන කේරි විද්‍යාලයේ විදුහල්පති කාර්යාලයේදී මට කීවේය. එවකට ඔහු කේරි විද්‍යාලයේ විදුහල්පතිය.

වීරසිංහ දේවගැතිතුමා බොහෝ ඇසූ පිරූ තැන් ඇති බුද්ධිමතෙකි. කිතු දහම මෙන් බොදු දහමත්, හින්දු ආගම හා ඉස්ලාම් ආගම ගැනත් හොඳ හැටි දැන සිටියේය. එකල ගුවන්විදුලියෙන් උදෑසන ප්‍රචාරය වන දවසේ සිතුවිලි කතාවෙන් කතා කරන විනාඩි පහ ඇසිමට ක්‍රිස්තියානි භක්තිකයන් මෙන්ම බෞද්ධ අබෞද්ධ සියලු දෙනා සැදී පැහැදී සිටි බව අපට මතකය. එපමණක් නොව බුද්ධිමතුන්ගේ සාකච්ඡාවක් ගුවන්විදුලියෙන් පවත්වන්නට උපදේශක සභාවේ දී යෝජනා කළේය. එයට අනුමැතිය ලැබූ දේවගැතිතුමා මහාචාර්ය ගුණපාල මළලසේකරගෙන් සුදුසු නමක් විමසීය. තව මොනවටද වෙන නමක්. ඔබතුමා කිව් බුද්ධි මණ්ඩලය කියන නමම හොඳා. කියා ඇත.

ගුවන්විදුලියේ බුද්ධි මණ්ඩලයෙන් මළලසේකර, පරණවිතාන, අධිකාරම්, සරච්චන්ද්‍ර ආදී වියතුන් සමඟත් සෝරත, සීවලී, කොටහේනේ පඤ්ඤාකිත්ති වැනි පැවිදි උගතුන් සමඟත් කළ සාකච්ඡා ශ්‍රාවකයා තුළ බුද්ධි සරසවියක් මැවීය. බුද්ධි මණ්ඩලයේ සභාපති වූයේ දේවගැතිවරයාණෝය.

වීරසිංහ දේවගැතිතුමාගේ විවේක කාලය, විනෝදාංශ වැනි තොරතුරු ඇසීමට මා මුලින් බිය වූයේ එතුමා බොළඳ ප්‍රශ්න අසන්නකු ලෙස සලකතැයි සැකයෙනි. එතුමා පුස්තකාල කාමරයේ සැදී පැහැදී හිඳගෙන කුඩා දරුවකු ලෙස සිනාසෙමින් නිහතමානීව කතාව පටන් ගත්තේය.

මම කුරුල්ලන්ට ආදරෙයි. මම උදේ පාන්දර අවදි වෙලා කෝපි කෝප්පය බිරිය ගෙනෙන තෙක් ගෙවත්තේ ඇවිදිනවා. අපේ වත්තට කුරුල්ලෝ ජාති විසි ගණනක් එනවා. ඔවුන්ගේ ගායනා අහලා ඒවා මට මතකයි. මිහිරියි. ඒ හඬ අනුකරණය කළාම කුරුල්ලෝ මට ප්‍රතිචාර දක්වනවා. මිතුරු වෙනවා. උන් සමඟ මම ගී ගයනවා. කොයි තරම් නිදහස් ජාතිකයක් ද මේ? 

විටෙක මට සුනිල් සාන්තයන්ගේ හෝ සී.ටී. ප්‍රනාන්දුගේ ගීයක් මතක් වෙනවා. මගේ කුඩා කාලයේ ගත කළේ අගලවත්තේ හද්දා පිටිසර ගමක නොවැ. ගමේ ජීවන සුවඳ විඳ විඳ, වැඩිහිටියකුගෙන් සීපදයක් ගැමි කතාවක් අහනවා තරම් සතුටක් තවත් තිබුණේ නෑ. තාත්තා වෙදකමට අවශ්‍ය ඖෂධ වර්ග ගේන්න කළුතර ගිහිල්ල බක්කි කරත්තයෙන් එන තෙක් මම මඟ බලා සිටිනවා. බක්කි කරත්තයේ ඇති සීනු හඬ ඇසෙනකොට මම ඉඳි කඩුල්ල දක්වා දුවනවා. තාත්තා කරත්තයෙන් බහින්නේ සීනි බෝල පොදියක් අරන්. ඒකෙ සීනි බෝල මෙන්ම බොම්බයි මොටයිත් අනිවාර්යෙන්ම තියෙන බව මම දන්නවා. තාත්තා පොදිය මට දීලා හිස පිරිමදිමින් ගෙට යනවා. කොපමණ සුන්දර කාලයක් ද ඒ. දේවගැතිතුමාගේ දෙඅත හිසේ තබා හාන්සි පුටුවට බර දෙමින් කීවේය.

දේවගැතිතුමා විසින් ළමා චිත්තය පිළිබඳ විමර්ශන හා ලිංගේන්ද්‍රිය හා ස්ත්‍රී පුරුෂයෝ නම් ග්‍රන්ථ ලියා ඇත. වරක් ජ්‍යෙෂ්ඨ පුවත්පත් ලේඛකයකු වූ අමුණුගොඩ තිලකරත්න (කේ.ඒ.ටී. පෙරේරා) විසින් දේවගැතිතුමා ගැන ලියූ ලිපියකදී ලිංගේන්ද්‍රිය හා ස්ත්‍රී පුරුෂයෝ කෘතිය ගැන විමසා තිබුණි. අප හා කළ සාකච්ඡාවේ ද එයට සමාන පිළිතුරක් ලැබුණ ද අමුණගම තිලකරත්නට දුන් පිළිතුරම මෙහි බහාලීම උචිත යැයි සිතේ.

අප රට තරුණ තරුණියන් කාමෝන්මාදයෙන් පෙළෙන්නේත් වැරදි ආචාරධර්මයන් නිසා විපත්වලට ගොදුරු වන්නේත් ලිංගික කරුණු සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඔවුන් තුළ නොමැති නිසා. ලිංගික විද්‍යාව මව්පියන්ට හා තරුණ තරුණියන්ට ඉගැන්විය යුතුයි. එය පාසල් විෂයයක් වශයෙන් ඉතාම භාරධූර කාර්යයක් වන නිසා සමහර විට කුඩා ළමයින්ට ඉගැන්වීමෙන් අර්ථයකට වඩා අනර්ථයක් විය හැකි නිසා එය පාසල් විෂයයක් වශයෙන් නොඉගැන්වීම වඩා ප්‍රඥාගෝචරයි.

අම්මේ මල්ලි ගෙනාවෙ කොහෙන්ද? කියලා පොඩි ළමයකු අසන ප්‍රශ්නයට ඉස්ප්‍රිතාලෙන් ගෙනාවෙ. දෙවියෝ ඇඳෙන් ගෙනත් තියලා තිබුණා. වැනි ළමයින් මුලා කරන පිළිතුරු දීම ඉතාම හානිකරයි. අපට හාල් ලැබෙන්නෙ කොහෙන්ද කියන ප්‍රශ්නයට උත්තර දෙන්න වාගේ ළමයාට තේරෙන වචනවලින් පැහැදිලි උත්තරයක් දෙන්න ඕනෑ. නමුත් බොරුවෙන් ළමයා මුලා කරන්න හොඳ නෑ.

දේවගැතිතුමාගේ සමීප මිතුරකු වන මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහයන් හා මහා පත්‍ර කලාවේදී ඩී.බී. ධනපාල මහතා ගැනත් මම එදා එතුමාගේ මතකය අවදි කළෙමි.

වික්‍රමසිංහ මහතාගේ මනස ඈත අහස් ගැබෙහි පියාසර කරමින් පාත මහ පොළොව දෙස බලන උකුස්සකුගේ අවලෝක ශක්තිය හෙළි කරන මනසක්. වික්‍රමසිංහ මනසෙහි පෘථූලත්වය, සාරවත් විවිධත්වය මනා ලෙස පැහැදිලි කරන කවියක් මම කියන්නම්.

තිරසර ගුණෙන් යුතු මහතකු හට පවර

සමුදුර සියල් කිඳලෙකි තුඹසෙකි සුනෙර

පුවතර මෙ දඹදිව මළුවෙකි සිය ගෙදර

ඔහු කර නොවන සැපතක් එබැවින් කවර

ඩී.බී. ධනපාල 1947 ලංකාදීප පත්‍රය ආරම්භ කරන කාලේ සිටම මගේ ලේඛන කලාවට අතහිත දුන්නා. සිංහල සංස්කෘතියට, කලාවට, සාහිත්‍යයට සිය පුවත්පතින් අතහිත දුන් වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම මහා පත්‍ර කලාවේදියෙක්. දේවගැතිතුමා කීවේය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මුල් බිරිය වූ අයිලින් සරච්චන්ද්‍ර (බෙලාත්)ගේ වැඩිමහල් සොහොයුරිය වූ ඊඩිත් කොන්ස්ටන් බෙලාත් දේවගැතිතුමාගේ බිරියයි. විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයකු ලෙස සේවය කළ ක්ලිෆර්ඩ් වීරසිංහ දේවගැතිතුමාගේ බාල පුත්‍රයාය.

ඇස්.ජේ. ද එස්. වීරසිංහ දේවගැතිතුමෝ 1991 සැප්තැම්බර් මස 23 වැනිදා ස්වර්ගස්ථ වූහ.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03