අලුත් අවුරුද්දට ගහකොළ, පරිසරය සේම අපගේ ජීවිතවලද ඇතිවන්නේ නවමු පිබිදීමකි. අවුරුදු උදාවට දින කිහිපයක පෙර පටන්ම අවුරුදු කෑමට ලකලෑස්ති වන අපේ ජනතාව අවුරුදු දින කිහිපය බොහෝවිට සතුටින් හා නිවී සැනසිල්ලේ ගෙවා දැමීමට කටයුතු කළද ඒ සතුට සැනසිල්ල එක් නිමේෂයක සිදුවන සුළු අතපසුවීමක් නිසා නැත්තටම නැතිවී යන්නට ඉඩ ඇත්තේ අවුරුදු කාලයේ සිදුවන හදිසි අනතුරු නිසාය.
සාමාන්‍යයෙන් වසරේ අනෙකුත් කාලවලට සාපේක්ෂව අවුරුදු කාලයේදී සිදුවන අනතුරු ප්‍රමාණය වැඩිවන අතර මේවායින් බොහෝමයක්ම සිදුවන්නේද නොසැලකිල්ල හා හදිසිය නිසාවෙනි.
ගතවූ වසර කිහිපය පුරාවටම අප්‍රේල් මාසයේ අවුරුදු දින දෙක තුන හා ඊට පෙර දින කිහිපයකදී වාර්තා වූ අනතුරුවල සංඛ්‍යාවන් ඇත්තේ ඉහළ අගයකය. විශේෂයෙන්ම රිය අනතුරු, කලකෝලහල නිසා ඇතිවන අනතුරු හා ගෙදර දොරේ වැඩකටයුතුත් සමඟ සිදුවන අනතුරු මේ අතර බහුල වූ අතර මෙම අනතුරු නිසාම ජීවිත හානිවීම්ද සිදුවිය.
එක්තරා අවස්ථාවකදී අවුරැදු සමයේ අපට වාර්තාවූයේ කැවුම් පිසින්නට ගොස් දරුණු ලෙස පිලිස්සී මරණයට පත්වූ කාන්තාවත් පිළිබඳවය. එය වාර්තා වූ ආකාරයට එක් නිවෙසක පොල්තෙල් හා පෙට්‍රල් එක සමාන බඳුන් දෙකක දමා එම නිවෙසෙහි අනෙකුත් භාණ්ඩ සමඟ තබා ඇත. එම නිවෙසේ කාන්තාවක් කැවුම් පිසීමට සූදානම්වී ළිපද පත්තු කර තාච්චියට පොල්තෙල් බඳුන යැයි සිතා පෙට්‍රල් දමා තිබූ බඳුනෙන් තෙල් වක්කරන්නට සැරසෙද්දීම ගිනිගෙන දැඩි ලෙස තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇත. මෙය නොසැලකිලිමත්භාවය නිසා සිදුවූ අනතුරක් වන අතර මෙවැනි අනතුරු පහසුවෙන්ම වළක්වා ගත හැකිව තිබූ ඒවාය.
මුල්කාලීනව රතිඤ්ඤා අනතුරු අවුරුදු කාලයේ සිදුවන බහුලතම අනතුරු යටතට අයත්විය. රතිඤ්ඤා අනතුරු නිසාද සුළු තුවාල වීම්, මහා පරිමාණයේ තුවාල වීම් හා ජීවිත හානි පවා සිදුවූ අවස්ථා ඇත. මෙම අනතුරු බොහොම තැන්වල සිදුවන්නේ අතේ තබාගෙන රතිඤ්ඤා දැල්වීම, රතිඤ්ඤා පෙට්ටියක් එකවර දැල්වීම, බීමත්ව සිටියදී රතිඤ්ඤා පත්තු කිරීම ආදිය නිසාය. වරෙක අවුරුදු සමයේද ඇවිලුණු රතිඤ්ඤා කිහිපයක් බස් රථයට විසිකර දැමීම නිසා එම බසයේ රැඳීවුන් යුවතියක අසල එය පිපිරී ගොන් යුවතියගේ දෑසෙහි පෙනීමද අහිමි විය. එසේම උස ස්ථානවලින් රතිඤ්ඤා, අහස් කූරු ආදිය විසිකිරීම නිසාද අනතුරු සිදුවේ. මීට අමතරව මෙම කාලයේදී රිය අනතුරුද බහුලව සිදුවන අතර මේ සඳහා බොහෝවිට හේතුසාධක වන්නේ රියදුරන්ගේ බීමත් බවයි. එසේම අවුරුදු කාලයේදී සාප්පු සවාරියේ යෙදෙන පදිකයින්ගේ නොසැලකිල්ල නිසාද අනතුරු සිදුවේ.
අවුරුදු සමයේ සිදුවන අනතුරු සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණි සොයිසා මහත්මියගෙන් කළ විමසීමකදී ඇය අදහස් ප්‍රකාශ කළේ මෙලෙසිනි.
සාමාන්‍යයෙන් අවුරුදු සමයට ඉහළ යන අනතුරු වන්නේ මහමඟ අනතුරු, නිවසේදී සිදුවන අනතුරු, වැටීම්, හිංසන ක්‍රියා, ගිනිකෙළි අනතුරු හා ක්‍රීඩා අනතුරුයි. 2015 හා 2016 අවුරුදුවල මෙම අනතුරු සිදුවීමේ වෙනස අනු එම වර්ෂ දෙකේම අවුරුද්දට පෙර දවසේ සිට අවුරුදු දිනය හා ඊට පසු දින දෙකක් ගත්විට 2015 දී අනතුරු 1021ක්ද 2016දී අනතුරු 938ක්ද ලෙස වාර්තා වුණා. එහෙත් 8%ක අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම 2015 දී නේවාසිකව ප්‍රතිකාර ගන්නා 435ක් 2016 දී 430 යි ප්‍රතිකාර ගත්තේ. ලංකාව පුරාම සිටින රෝගීන්ගෙන් 2015 දී කොළඹ ජාතික රෝහලට පැමිණියේ රෝගීන් 125ක්. 2016දී 139ක් ඇවිල්ලා තියෙනවා.
මහාමාර්ග අනතුරැ ගත්විට 2015 186ක්ද, 2016 දී 226ක්ද නිවසේදී සිදුවූ අනතුරු 2018 දී 218, 2016දී 159ක්ද වැටීම් 2015 දී 259ක්ද 2016 දී 212ක් ද, හිංසන ක්‍රියා 2015දී 92ක්ද, 2016දී 98ක්ද, ගිනිකෙළි අනතුරු 2015 දී 9ක්ද, 2016දී 5ක්ද, සියදිවි නසාගැනීම් 2015දී 3ක්ද, 2016 දී 3ක් ලෙස එම අනතුරු බෙදී යාම සිදුවෙනවා.
අවුරුදු සමයේදී පාසල් නිවාඩුවත් රැකියාවල නිවාඩුවත් නිසා පුද්ගලයින්ගේ ජීවන රටාව වෙනස් වෙනවා. වැඩිදෙනා සාප්පු සවාරියේ යනවා. යාළුවෝ තමන්ගේ නිවෙස්වලට එනවා. මේ ආදී ක්‍රියාකාරීත්වයක් නිසා අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවයක් මතුවෙලා තියෙනවා.
එබැවින් විශේෂයෙන්ම මත් වතුරවලට මුල්තැන් නොදී ආගමික චාරිත්‍රවලට මුල් තැන ලබාදී අලුත් පියවරක් ලෙස ජීවිතය ආරම්භ කරනවා නම් අනතුරු ඇතිවීම අපිට හැකිතාක් දුරට අවම කරගන්න පුළුවන්.
අනිත් දේ අවුරුද්ද කිට්ටු වෙද්දී තමයි ගොඩක් අය ගෙවල් දොරවල් අස්පස් කරන්නට සැරසෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවලදීත් උස් ස්ථානවලින් වැටීම, වහලයෙන් වැටී අතපය කැපීම ආදී ඕනෑම ආකාරයේ අනතුරුත් සිදුවීමේ හැකියාව තියෙනවා. නමුත් හැම රාත්‍රියකම ගෙවල් දොරවල් අස්පස් කරලා හිඳින්නට හැකියාව ඇත්නම් අවුරුද්ද ළංවෙද්දි අස් කරන්න දෙයක් නෑ. හැමදාම අවුරුදු වගේ ගෙවල් තියෙන්නේ. මෙන්න මේ සංස්කෘතියයි අපි ඇතිකරන්න ඕනෙ. නිවාස සුද්ද කිරීම, තීන්ත ගෑම ආදී ක්‍රියාවන්හි නියැලෙමින් සිටියදී අනතුරුවලට ලක්වී තුවාල ලැබූ පිරිස් අපට අවුරුදු කාලයේදී විශාල වශයෙන් හමුවෙනවා. මේ තත්ත්වය නැති කරගන්න ඕන.
අවුරුද්ද කියන්නේ තවත් එක දවසක් විතරයි. එම දිනය යථාවාදීව පිළිඅරගෙන සිහි කල්පනාවෙන්, තමන්ගේ දරුවනුත් ආරක්ෂා කරගෙන, ජීවත්වීමට හැකියාව තියෙනවා නම් අනතුරු වළක්වාගන්නට හැකියි කියන එක ගැන තමයි අවධානය යොමුකරන්නට ඕනෙ.
නොවිමසිලිමත්කම, අධික වේගය, මානසික ආතතිය, අධික වෙහෙස, නිදිමත ආදී නොයෙක් හේතු නිසා මහමඟ අනතුරු සිදුවීමේ හැකියාව වැඩිවන අතර මෙම කාලය තුළදී ඇතිවන රිය අනතුරු අඩුකර ගැනීමට නම් මේ සියලු දේ ගැනම අවධානය යොමුකළ යුතු වෙනවා. මෙහිදී රියදුරා පමණක් නොව පදිකයා තුළද මහමඟ භාවිතාව පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා නම් පමණක් මහමඟ අනතුරු අවම කිරීමේ හැකියාව ලැබෙනවා.
මීට අමතරව ගිනිකෙළි අනතුරුවලින් වැළකීමට නම් ඒවා අතේ තබාගෙන දැල්වීමෙන් වැළකීම, පුංචි දරුවන්ට භාවිත කිරීමට ඉඩ ලබානොදීම ආදිය සිදුකළ යුතුයි. රතිඤ්ඤා පත්තු කිරීමේදී ඒවා ඈතින් තබා පත්තු කිරීමේදී අනතුරුවලින් වැළකී සිටින්නට පුළුවන්. තවත් වැදගත් කාරණයක් තමයි රතිඤ්ඤා දැල්වීමෙන් පසුව එය පිපිරී ගියේ නැත්නම් ආයෙත් ඒක ළඟට ගිහින් බැලීම භයානකයි. මොකද අවසන් මොහොතේ හරි එම රතිඤ්ඤාව පිපිරීයාමට ඉඩ තිබෙනවා. මේ හැමදෙයක්ම පිළිබඳවම අවධානය යොමුකිරීම තුළින් අවුරුදු අනතුරු වළක්වාගෙන එම දින කිහිපය සතුටින් ගත කිරීමේ හැකියාව තිබෙනවා.
♦ හේමමාලා කුමාරි රාජකරුණා