2021 ජනවාරි 23 වන සෙනසුරාදා

රජ සැප මැද හැදෙන ගුවන් හමුදා සුනඛ බලකාය

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙන්ම රටත්, එහි වෙසෙන ජනතාවත් සුරුකිව රුකගැනීම සඳහා ශ්‍රී  ලංකා ගුවන් හමුදාව සුනඛයන් 146 දෙනකුගෙන් සමන්විත නව ඒකකය ස්ථාපිත කර තිබේ.
මෙම සුනඛයන් 52 දෙනකු  රඳවා සිටින ප්‍රධාන  කඳවුර  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමීපයෙහි ඇති ප්‍රධාන ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පවත්වාගෙන යයි. ඊට අමතරව කටුනායක ගුවන් තොටුපොළ නයිකන්ද ප්‍රදේශයේ ද තවත් සුනඛයන් 25 දෙනකුගෙන් සමන්විත උප කඳවුරක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යමින් තිබේ.

1972 වසරේ අගෝස්තු මස 23 දින සුනඛයන් 02 දෙනකුගෙන් ආරම්භ කර ඇති මෙම බලකාය, 2013 ජූලි මස නිල වශයෙන් ගුවන් හමුදාව විසින් ස්ථාපිත කරනු ලැබීය. 
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති විසින් මෙම ඒකකයට වෙනම අණදෙන නිලධාරිවරයකු යටතේ, සෙසු නිලයන්ගෙන් යුත් නිලධාරීන් පිරිසක් මෙන්ම, මේ සඳහාම වූ පශු වෛද්‍ය නිලධාරීන්ගෙන් ද අංගසම්පූර්ණ තත්ත්වයෙන් මෙය පවත්වාගෙන යයි. 
කටුනායක ගුවන් හමුදා කඳවුරේ මෙහෙයුම් භූමි ප්‍රධානී යටතේ මෙම ගුවන් හමුදා සුනඛ ඒකකයේ අණදෙන නිලධාරී ලෙස වින් කමාන්ඩර් කේ.ඒ.එන්.අයි. කුමාරසිංහ මහතා වර්තමානයේ කටයුතු කරන අතර, ප්‍රධාන පුහුණු භාර නිලධාරී ලෙස බලපන්ති ලුතිතන් ඩබ්ලිව්.පී.කේ.සී.කේ. විතාන මහතා කටයුතු කරයි. මීට අමතරව පුහුණු උපදේශක බලපන්ති සැරයන් එස්.එච්.ඩී. එරංග සහ පශු වෛද්‍ය නිලධාරී ලෙස බලපන්ති ලුතිතන් වෛද්‍ය එස්.එම්.එස්.‍සිල්වා යන මහත්වරු සේවය කරමින් සිටිති.

මෙම නිල සුනඛ ඒකකය පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ රාජකාරි, මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ රාජකාරි, රට පුරා පිහිටි ශ්‍රී ලංකා  ගුවන් හමුදා කඳවුරු ආරක්ෂා කිරීමේ, ගුවන්යානා අංගණවල ආරක්ෂක, ප්‍රභූ ආරක්ෂක, ගුවන් තොටුපොළ ආරක්ෂක, ආපදා අවස්ථාවලදී සොයා ගැනීමේ සහ මුදා ගැනීමේ සහ ඉව පසුපස ලුහුබැඳ හඹා යෑමේ යන අතිශය වැදගත් රාජකාරි රාශියක් ඉටු කරමින් සිටී.

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම  සදහා කටුනායක කඳවුරට අමතරව තවත් රට පුරා පිහිටි කුඩා කඳවුරු 24ක ද මෙම සුනඛ ඒකක මේ වන විට පිහිටුවා තිබේ. 

මෙම සුනඛ ඒකකයේ සුනඛයෝ දවසේ පැය 24 පුරා කටුනායක ගුවන් තොටුපොළ රාජකාරි ස්ථානවල රාජකාරීයේ නියැලී සිටිති. මෙම ඒකකය සඳහා එංගලන්තය, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවලින් පමණක් සුනඛයන් ආනයනය කිරීම සිදු කරන අතර, විශේෂ අවස්ථාවලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ අවසරය ඇතිව දියතලාව සුනඛයන් බෝ කිරීමේ මධ්‍යස්ථානයේ දී අභිජනනය කිරීම ද සිදු කරනු ලබයි.

දැනට මෙම කටුනායක කඳවුර තුළ රොට්වයලර්, ජර්මන් ෂෙපර්ඩ්, බෙල්ජියම් මැල්නොයිස්, ඉන්ග්ලිස් ස්ප්‍රින්ගර් ස්පෑනියල්, ලැබ්‍රඩෝර් යන සුනඛ විශේෂ සිටිති. එසේම 2020 ජනවාරි මස 20 දින මෙම සුනඛ ඒකකය තවත් ශක්තිමත් කිරීම සඳහා නෙදර්ලන්තයේ සිට සුනඛයන් 20 දෙනකු ආනයනය කර තිබේ. ඔවුන් අතර ලැබ්‍රඩෝර් 05 දෙනකු, ඉන්ග්ලිස් ස්ප්‍රින්ගර් ස්පෑනියල් 05 දෙනකු, බෙල්ජියම් මැල්නොයිස් 05 දෙනකු සහ ජර්මන් ෂෙපර්ඩ් 05 දෙනකු ද වෙති.
මෙසේ මෙම සුනඛ ඒකකය වෙත රුගෙන එනු ලබන සුනඛයන් දියතලාව පුහුණු කඳවුරේ මූලික පාඨමාලාව සඳහා යොමු කෙරේ. එහිදී සුනඛයා භාර හසුරවන්නා ද මෙම පාඨමාලාවට සහභාගී කරවයි. මාස 06 ක කාලයක් පවත්වන මෙම පුහුණු පාඨමාලාව තුළ මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම, බුද්ධිය සහ හැකියාව වර්ධනය කිරීම සිදු කරනු ලබයි. මෙම කටයුතු මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ අංශයේ අධීක්ෂණය යටතේ සිදු කරයි. ඉන්පසුව පාඨමාලාව නිම කළ සුනඛයන් යළිත් කටුනායක කඳවුර වෙත රැගෙනවිත් ඒ තුළ පුහුණු වීම් සිදු කරයි.

එයින් පසු මෙම සුනඛයන් යළිත් උසස් පුහුණු පාඨමාලාව සඳහා යොමු කෙරේ. එම පාඨමාලාව ද සාර්ථකව නිම කළ සුනඛයන් මෙසේ රාජකාරි සඳහා අනුයුක්ත කිරීම සිදු වේ. එහිදී මෙම සුනඛයන් මාර්ග බාධකවල රාජකාරි කිරීම සඳහා මෙන්ම ගුවන් හමුදා කඳවුරු ආරක්ෂා කිරීමේ රාජකාරි සඳහා ද යොදවනු ලබයි. එහිදී රොට්වයලර්, ජර්මන් ෂෙපර්ඩ් සිට ඩොබර්මන් වර්ගයේ සුනඛයන් ඒ සඳහා යොමු කෙරේ. 

එනිසා මෙම ඉදිරි පෙළ බංකර තුළ සෙබළුන් වෙනුවට මෙම සුනඛයෝ රඳවා තැබේ. එහිදී ඉතා කුඩා සිදුවීමකටත් මොවුහු ප්‍රතිචාර දක්වති. ඒ අනුව සෙබළුන්ට අවශ්‍ය ක්‍රියාන්විතය දියත් කළ හැකිය. එමෙන්ම මෙම සුනඛයන් නිසා විශාල සෙබළුන් ප්‍රමාණයක් ඉදිරි පෙළ බංකර සඳහා යෙදවීම අවශ්‍ය නොවේ. මෙයින් විශාල සෙබළුන් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට ද හැකි වී තිබේ.

මෙම සුනඛ ඒකකයේ සියලු සුනඛයන්ට නියමිත නමක් සහ එක් එක් සුනඛයා වෙනුවෙන් විශාල ඉඩ පහසුකම් සහිත කාමර සකස් කර තිබේ. එම සුනඛයන් අතර කැලී, රයිලි, ලයන්, හයිඩ්, චාලි, ඕෂන්, ජෙසී, පිලිප්, ටිලී, බෙන්, ටියෝ, මෙරෙන්ඩි, පැස්ටෝ යන නම්වලින් හඳුන්වන අය සිටිති.

ඒ සෑම කාමරයකම එම සුනඛයාගේ නම උපන් දිනය, ඔහු අයත් වර්ගය ආදී වැදගත් තොරතුරු ඇතුළත් පුවරුවක් සවි කර ඇත. සුනඛයන් නහවා පිරිසුදු කිරීමට විශේෂ බේසම් සහිත වෙනම ස්ථානයක් සකස් කර තිබේ. ඔවුන් සඳහා උදෑසන 9.00ත් 9.30ත් අතර සහ සවස 3.00ත් 4.00ත් අතර කෑම වේල් දෙකක් ලබාදීම සිදු කරන අතර, එහිදී එක් සුනඛයකු සඳහා අවම වශයෙන් ග්‍රෑම් 550ක ආහාරවේලක් ලබා දෙනු ලැබේ. 

මෙම ආහාර ඉකුනුබා, පෙඩිග්‍රී වැනි කලින් සකස් කර සැකසූ ආහාර වන අතර, ඊට අමතරව විටමින් වර්ග ද අවශ්‍ය පරිදි ලබා දීම සිදු කරනු ලබයි. සෑම පැයකට වරක්ම සුනඛයන් සිටින කූඩු වෙත ගොස් අධීක්ෂණය සහ නිරීක්ෂණය කිරීම සඳහා නිලධාරීහු යොදවා සිටිති.

එසේම මෙම සෑම කූඩුවක්ම දිනපතා විෂබීජ නාශක දියර යොදා, උණු වතුර යොදා පිරිසුදු කිරීම සිදු කරන අතර, දිනපතා ගෑස් මගින් ගින්දර උපදවන උපකරණ භාවිත කරමින් මෙම කූඩු සියල්ලම විෂබීජහරණය කිරීමට ද ලක් කරයි.
එසේම සුනඛයන්ගේ කායික සහ මානසික යෝග්‍යතාව නිසි පරිදි පවත්වාගෙන යෑමට සහ නඩත්තු කරගෙන යෑම සඳහා ඔවුන් වෙනුවෙන් බාධක සහිත ධාවන පථවලින් යුතු විශේෂ ක්‍රීඩා පිටි දෙකක් තිබේ. එසේම මෙම සුනඛයන් අවශ්‍ය ස්ථාන කරා රුගෙන යෑමට ඒ සඳහා විශේෂයෙන්ම සකස් කළ වායු සමනය කළ සුඛෝපභෝගී බස් රථ දෙකක් ද මෙම ඒකකය සතුව පවතී.

මේ ආකාරයට මෙම සුනඛයන් රුකබලා ගැනීම සඳහා මෙම ඒකකයේ අණදෙන නිලධාරීවරයාගේ නායකත්වය යටතේ තවත් ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයන් සිය ගණනක් පැය 24 පුරා සේවයේ යෙදී සිටිති. ඒ සඳහා විශේෂයෙන්ම සුනඛයන්ට ආදරය, කරුණාව, සෙනෙහස ඇති ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් ඉදිරිපත් වී සිටිති. ඔවුහු මෙම ඒකකය තුළ රාජකාරියට එහා ගිය උදාර සේවයක් රට වෙනුවෙන් ඉටු කරති. 

එමෙන්ම මෙම සුනඛයෝ සිලෝන් කැනල් ක්ලබ් සහ කැනල් ඇසෝසියේෂන් ඔෆ් ශ්‍රී ලංකා යන කීර්තිමත් සුනඛ සමාජවල ලියාපදිංචි වී සිටිති. එම සමාජවල විවිධ තරග, ප්‍රදර්ශන, ඉදිරිපත් කිරීම් මෙන්ම රටේ විවිධ ක්‍රියාන්විත රාජකාරී සඳහා සහභාගී වී කුසලාන, පදක්කම්, සහතික විශාල ප්‍රමාණයක් දිනාගෙන ඇති අතර, ඒවා මෙම ඒකකයේ අණදෙන නිලධාරීවරයාගේ කාර්යාලය තුළ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබේ.

එහිදී සොයා ගැනීම් සහ මුදවා ගැනීමේ රාජකාරි සඳහා ශ්‍රී ලංකාවේ අංක එකට සම්මාන දිනූ හයිඩ් නැමැති සුනඛයා ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුවීම එම ඒකකයේ ප්‍රෞඪත්වයට අභිමානයට හේතු වී තිබේ.
මෙම ලිපිය සම්පාදනය කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා දැක්වූ කාර්යක්ෂම සහයෝගිතාවය මෙසේ අගය කරමි.

 කටුනායක ටී.කේ.ජී. කපිල

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03