2021 ජනවාරි 23 වන සෙනසුරාදා

පටන් ගත්තේ ලන්ඩන් ඩිග්‍රියෙන්: ගාස්තුව රුපියල් 15යි කොළඹ සරසවියට වසර 100යි

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

විශ්වවිද්‍යාල යනු විශ්ව දැනුමක් ලබාදෙන තැනකි. එවන් වූ විශ්වවිද්‍යාල 14ක් මේ වනවිට අප රටේ පිහිටා තිබෙන අතර, ඒ අතරින් පැරණිම උසස් අධ්‍යාපන අයාතනය කොළඹ සරසවියයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා විද්‍යාපීඨය පසුගිය 21දා සිය ශතවර්ෂ පූර්ණය සැමරුවේය. සියවසක් තිස්සේ සිසුන් දස දහස් ගණනක් ශාස්ත්‍රවන්තයන් බවට පත් කළ තක්සලාවක් වූ කොළඹ සරසවියේ අද පශ්චාත් උපාධි සිසුන්ද සමඟ පූර්ණකාලීන සිසුන් 23,000කට අධික සංඛ්‍යාවක් සහිතය. ලොව හොඳම විශ්වවිද්‍යාල දහස අතරටද මේ සරසවිය අයත් වේ.

1921 ජනවාරි 21 දින කොළඹ විශ්වවිද්‍යාල කොලීජිය වශයෙන් එය ආරම්භ විය. සිසුන් 115 දෙනෙකු ලියාපදිංචි කර ආරම්භ කරන ලද එහි සිසුන් සංඛ්‍යාව වර්ෂය අවසාන වනවිට 166 දක්වා ඉහළ ගියේය. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට කලා සහ විද්‍යා උසස් අධ්‍යාපනය විධිමත් ආකාරයකින් ලබාගැනීමේ අවස්ථාව උදාවුණේ මේ මගිනි. ඊට පෙර වර්ෂ 1870දී කොළඹ විශ්වවිද්‍යාලයට පසුව අනුබද්ධ කළ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර තිබුණි. කොළඹ විශ්වවිද්‍යාල කොලීජියේ උසස් පාඨමාලා පැවැත්වුණේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධවය. මේ නිසා මෙහි ඉගෙන ගන්නා සිසුන්ට හිමිවූයේ ලන්ඩන් උපාධියකි. මේ සඳහා 1920 දී එවකට රුජිණ වලව්ව ආණ්ඩුව මිලදී ගත් අතර එය පසුව කොලේජ් හවුස් බවට පත්විය.
එවකට ආණ්ඩුකාර විලියම් මැනිං විසින් විශ්වවිද්‍යාල කොලීජියේ ආරම්භය සටහන් කළේ විද්‍යාල මන්දිරය හෙවත් කොලේජ් හවුස් නම් එම සුවිශේෂී ගොඩනැගිල්ලේය. එය අදටත් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල ලෙස පවත්වාගෙන යයි. මුල් කාලයේ මෙහි පාලක සභාවට අග්‍ර විනිශ්චයකාරවරයා, සෞඛ්‍ය, අධ්‍යාපන හා කෘෂිකර්ම ක්ෂේත්‍රවල ප්‍රධාන පරිපාලකයන් ඇතුළත් වූ අතර එහි සභාපති වූයේ ආණ්ඩුකාර විලියම් මැනිංය. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, ඩබ්ලිව්.ඒ. ද සිල්වා, වෛද්‍ය එස්.සී. පෝල්, මහාචාර්ය එස්.ඒ. ජේක්මන් ඇතුළු පිරිසක්ද පාලක මණ්ඩලයට ඇතුළත්ව සිටියහ.

විද්‍යා අධ්‍යාපනයට අවශ්‍ය රසායනාගාරය 1921 ඔක්තෝබර් 1දා විවෘත කළේද ආණ්ඩුකාර මැනිං ය. විද්‍යා සිසුන් විසින් රසායනාගාරයේ ඔවුන් අතින් කැඩෙන උපකරණ වෙනුවෙන් අයකර ගැනීමට රු.30ක තැන්පතුවක්ද ලබාදිය යුතුව තිබුණි. කොලේජ් හවුස්හි කලා පන්ති පැවැත්වූ අතර, රාජකීය විද්‍යාලයේ පැරණි ගොඩනැගිල්ලක්ද විශ්වවිද්‍යාලයට ලබාගෙන තිබුණි. අදටත් මෙහි විශ්වවිද්‍යාල කොලීජියේ මුල් ගොඩනැගිල්ල දැකගත හැකිය.
1922-23 කාලයේ ශිෂ්‍යයන් සඳහා නේවාසිකාගාර තුනක් විවෘත කෙරිණි. ක්‍රිස්තියානි නේවාසිකාගාරය, යුනියන් නේවාසිකාගාරය සහ කතෝලික නේවාසිකාගාරය වශයෙනි. මේ කාලයේදී ඉතිහාසය, ගණිතය සහ රසායන විද්‍යාව විෂ්‍යයන්ගෙන් ගෞරව උපාධි පන්ති ඇරඹුණි.

ක්‍රමයෙන් කොළඹ විශ්වවිද්‍යාල කොලීජිය ශාස්ත්‍රවන්ත සිසුන්ගෙන් පිරී යන්නට විය. ඔවුන්ට ශිල්ප ලබාදීමට සිටියේ ලන්ඩනයේ සහ ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය ලැබූ ඇදුරු මඩුල්ලකි. 1935 වනවිට ශිෂ්‍ය සංඛ්‍යාව 540 දක්වා ඉහළ නැග තිබුණි. 1921 සිට 1935 දක්වා උපාධිධාරීන් 337ක් මින් බිහිවූ අතර ඒ අතර 25 දෙනෙක් කාන්තා උපාධිධාරීහු වූහ. මුල් කාලයේ විදුහල්පති වශයෙන් සිටියේ ආර්. මාර්ස්ය.
විශ්වවිද්‍යාල කොලීජියේ ඉගෙනගත හැකි වූයේ මුදල් ගෙවීමෙනි. ඇතුළත් වීමේ ගාස්තු වර්ෂයකට රු.10කි. එක් විෂයයක් සඳහා එක් වාරයකට රු.15ක් ගෙවිය යුතු විය. පූර්ව වෛද්‍ය සිසුවකුගේ වාරයක ගාස්තුව රු.50කි. විභාග ගාස්තු වශයෙන් ලන්ඩන් අන්තර් මධ්‍යම කලා සඳහා රු.108ක්ද විද්‍යා සඳහා රු.113ක්ද ලන්ඩන් බී.ඒ. සඳහා රු.108ක්ද ගෙවිය යුතු විය.

කොළඹ විශ්වවිද්‍යාල කොලීජියට ඇතුළත් වූ මුල්ම භික්ෂුව වූයේ පසුව විශිෂ්ට ශාස්ත්‍රවන්තයකු බවට පත්වූ මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ වෙති. උන්වහන්සේ පසුව ඒ ගැන මෙසේ පවසා සිටියහ. මම ඉගෙන ගනිද්දී සල්ලිත් නෑ. මම තමයි පළමුවරට භික්ෂුවක් ලෙස විශ්වවිද්‍යාල කොලීජියට ඇතුළත් වුණේ. ඒකට ලොකු මිනිස්සු විරුද්ධ වුණා. හැබැයි මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්තය මේ සම්බන්ධයෙන් මට සහයෝගය දැක්වූවා. විශ්වවිද්‍යාලයේ මම හොඳට ඉගෙන ගත්තා. ඒකෙ යුනියන් එකේ සාමාජිකයෙක් විදිහට ශිෂ්‍ය කටයුතුවලටත් මං සහභාගී වුණා.
1942 දී විශ්වවිද්‍යාල කොලීජිය ලංකා විශ්වවිද්‍යාලය බවට පත් විය. එහි පළමු උපකුලපතිවරයා වූයේ ශ්‍රීමත් අයිවර් ජෙනිංස්ය.

ශාස්ත්‍ර පීඨය

කොළඹ සරසවියේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් ඉගෙන ගන්නේ ශාස්ත්‍ර පීඨයේය. එය මේ වනවිට අධ්‍යයන අංශ 11ක්, ඒකක 3ක් සහ මධ්‍යස්ථාන 3ක් සහිතය. සමාජ ප්‍රතිපත්ති විශ්ලේෂණ පර් යේෂණ මධ්‍යස්ථානය, බහු සංස්කෘතික කේන්ද්‍රය සහ ආබාධිකත්ව පර් යේෂණ අධ්‍යාපනය හා භාවිතය සඳහා වූ මධ්‍යස්ථානයද මීට අයත්ය. ශාස්ත්‍ර පීඨයෙන් උපාධි පාඨමාලා 573ක් පිරිනමයි. එහි ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 2458කි. ප්‍රථම උපාධියට සීමා නොවී පශ්චාත් උපාධි අධ්‍යයන හා පර්යේෂණද පැවැත්වීමෙන් අධ්‍යාපනය තවත් පුළුල් කිරීමට ශාස්ත්‍ර පීඨය කටයුතු කර ඇත.
මෙහි පශ්චාත් උපාධි ශිෂ්‍ය සංඛ්‍යාව 1200ක් තරම් ඉහළ අගයක් ගනී. ඔවුන් අතරින් සමහරු දර්ශනපති හෝ දර්ශනශූරී (ආචාර්ය) උපාධි සඳහා ඉගෙන ගනිති.
ශාස්ත්‍ර පීඨය ලංකාවට පමණක් සීමා නොවි ජාත්‍යන්තරය දක්වාද සිය සබඳතා විහිදුවා තිබේ. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිහිපයක් සමඟ සම්බන්ධතා පැවැත්වීමත්, පීඨ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීමද එහි අංගයකි.

විද්‍යා පීඨය

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ විද්‍යාව පිළිබඳ විභාග සඳහා සහ ශුද්ධ විද්‍යා පිළිබඳ පළමු වසරේ වෛද්‍ය පරීක්ෂණය සඳහා පාඨමාලා පිරිනැමිමට මෙය මුලින්ම ඇරඹුණි. පළමු පීඨාධිපතිවරයා වූයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඒ.ඩබ්ලිව්. මයිල්වාගනම්ය. 1936 වනවිට එයට ශිෂ්‍යයන්, 560කට අධිකව බඳවාගෙන තිබුණි. විද්‍යා පීඨයේ විශ්වවිද්‍යාල කොලීජි සමයේ මුල්ම මහාචාර්යවරු වූයේ ඒ. කන්දයියා (රසායන විද්‍යාව), එන්.ජී. බෙල් (උද්භිද විද්‍යාව), ජේ.පී. ඇඩෲස් වෙති.
ලංකා විශ්වවිද්‍යාලයෙන් කොටසක් 1949දී පේරාදෙණියට රුගෙන යාම සිදුවිය. නමුත් විද්‍යාපීඨය තවදුරටත් කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේම පැවතුණි. 1967දී ශ්‍රී ලංකාවේ පළමු පරිගණක වැඩසටහන් පිළිබඳ පාඨමාලාව ඇරඹුණේද මෙහිය. වර්ෂ 1968දී සංඛ්‍යාත ඒකකයක් පිහිටුවන ලද අතර 1980දී පරිගණක මධ්‍යස්ථානය ආරම්භ විය. මේ සඳහා මූලිකත්වය ගත්තේ කොළඹ විද්‍යා පීඨයේම උගත් මහාචාර්ය වී.කේ. සමරනායකයි. එය මෙරට විශ්වවිද්‍යාලයක ආරම්භ වූ මුල්ම පරිගණක මධ්‍යස්ථානයයි. පසුව වර්ෂ 2002 දී කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල ආරම්භ කෙරුණි.
විද්‍යා පීඨයේ අධ්‍යයන අංශ හතකි. එයට සිසුන් 650කට අධිකව වාර්ෂිකව බඳවා ගැනෙති. පශ්චාත් උපාධි සඳහා ලියාපදිංචි වී සිටින සිසුන් සංඛ්‍යාව 400කට අධිකය. සියලුම අධ්‍යයන අංශ විදේශ සරසවි සමඟ සම්බන්ධතා පවත්වමින් අනාගත ලෝකයට පියමං කරමින් සිටී.

විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයද එහි සියවස සපුරයි. එමගින් පුස්තකාල විද්‍යා අධ්‍යාපනයද ලබාදේ.

අපි කරන්නේ උපාධි ලබාදීම පමණක් නොවේ

කොළඹ විශ්වවිද්‍යාලය අපේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැරණිතම ආයතනයයි. මුලින්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව ආරම්භ කෙරැණු මෙහි අද වනවිට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිසුන් අධ්‍යාපනය ලබනවා.
ලංකාවේ තිබෙන පැරණිම විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල ලෙස විද්‍යාල මන්දිරය සැලකිය හැකියි. කොළඹ නගරයේ පවතින විශ්වවිද්‍යාලයක් ලෙස අපට සතුටු වීමට පුළුවන්. නගරය තුළම පිහිටා තිබීම නිසා ගැටලුත් පැන නගිනවා. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී පවා අපි ඉහළ තලයකින් පිළිගන්නා බව පේනවා.

නීතිගරුක විනයගරුක සිසු පරපුරක් පවත්වාගෙන යාම අපගේ අරමුණක්. විශ්වවිද්‍යාලයක උපාධිය ලබාගැනීම පමණක් නොවේ අධ්‍යාපනය කියන්නේ. ඒක ඊට වඩා පුළුල් අදහසක් තිබෙන දෙයක්. පර්යේෂණ මගින් සිසුන්ගේ මනස දියුණු කරමින් ඉදිරියට යාම අපගේ එක් කාර්යයක්. හොඳ පර්යේෂණ මගින් ලබාගන්නා දත්ත තමයි රටක සංවර්ධනයට යොදාගත යුත්තේ. ශාස්ත්‍ර පීඨය, නීති පීඨය, කළමනාකරණ පීඨය පසුගිය කාලයේ ඉදිරියට ආවා. මහාචාර්ය සමරනායකගේ ඉදිරි දැක්ම මත රටේ මුල්මවරට පරිගණක අධ්‍යාපනය පටන් ගත්තේ අපියි.

අධ්‍යාපනය එක තැනක කේන්ද්‍රගත වෙලා පවතින්නේ නැහැ. ඒක පුළුල් වෙනවා. එක එක ක්ෂේත්‍රවලට අනුබද්ධ වෙමින් ගලා යනවා. සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර විෂයන්වලින් ශාස්ත්‍ර පීඨය ඉහළ තලයකට ගිහින් තිබෙනවා. පර්යේෂණ වුණත් රටේ ප්‍රතිපත්තිවලට සහයෝගය දක්වන කාර්යසාධක බළකා විදිහට කිරීමට අපි වැඩි උනන්දුවක් දක්වනවා. ඒ කටයුතු මේ වනවිට ලොකු දියුණුවක් ලබා තිබෙන බව මම ආඩම්බරයෙන් කියන්න කැමතියි. පිළිකා රෝග හඳනාගැනීම සම්බන්ධයෙන් විද්‍යා පීඨය, වෛද්‍ය පීඨය හා සම්බන්ධ වී මෑතකදී කළ පර්යේෂණයත් වැදගත් සන්ධිස්ථානයක්.

 කුසුම්සිරි විජයවර්ධන 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03