2021 ජනවාරි 30 වන සෙනසුරාදා

’’නවාස්’’ගේ කුඩු ජාවාරම

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

ධීවරයන් හය දෙනකු රැගත් ෂෙනායා දුව බහුදින යාත්‍රාව මීගමුව වෙරළ සිට දියඹට යාත්‍රා කොට තිබුණේ නොවැම්බර් මාසයේ මුල දිනකය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හරහා ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු තොරතුරක් අනුව ඉන්දියාවට නුදුරැ මුහුදේ සිදුකෙරෙන හෙරොයින් ජාවාරමක් සම්බන්ධ තොරතුරක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වෙත දන්වා තිබිණ. එදා පටන් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් එරට මුහුදු සීමාවේ දැඩි ආවේෂණ රාජකාරියක නිරතව සිට තිබිණි.

එකදිගට දින හයක් පුරා සිදු කළ ආවේෂණ රාජකාරිය අතරමැද ඉන්දියාවේ තුත්තුකුඩියට දකුණු මුහුදේදී සැක කටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය කොට තිබිණ. ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාව ෂෙනායා දුව ලෙස නම්කර තිබූ එකකි. ධීවරයන් ලෙසින් පෙනී සිටි සැකකරැවන් හය දෙනකු සමඟ අත්අඩංගුවට ගනු ලැබූ එම යාත්‍රාව සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මහා පරිමාණ හෙරොයින් ප්‍රවාහන ජාවාරමක් පිළිබඳ තොරතුරැ අනාවරණය විය. 

ලොව හෙරොයින් නිෂ්පාදන ත්‍රිකෝණය වශයෙන් සැලකෙන පකිස්තානය, ඉරානය හා ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කොටගෙන මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව හා මැලේසියාව යන රටවලට හෙරොයින් බෙදාහැරීමේ ජාවාරම හෙළිකර ගැනීමට ඒ අනුව හැකි වී තිබේ. මෙම ජාවාරම මෙහෙයවන බව කියන පුද්ගලයන් දෙදෙනෙක් විමර්ශන අතරතුරදී කොටු කරගනු ලැබූහ. ඔවුන් දෙදෙනා නවාස් සහ අෆ්නාස් නමින් හඳුන්වන ලාංකිකයන් දෙදෙනකු බවටද ඉන්දීය පොලීසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ හඳුනාගෙන තිබේ.

පසුගිය නොවැම්බර් 24 වැනිදා අත්අඩංගුවට පත්වූ යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක්, ක්‍රිස්ටල් වර්ගයේ මත්ද්‍රව්‍ය අඩංගු කුඩා ඇසුරුම් 20ක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 5ක් සහ චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියා කරන නවීන දුරකථනයක් අත්අඩංගුවට ගෙන තිබිණ.

වැටලීමෙන් පසුව සැකකරැවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා කාලයක සිට ව්‍යාජ නම්වලින් ඉන්දියාවේ රැඳී සිට තිබෙන බව හෙළි වී ඇත. සැකකරුවන් දෙදෙනා නවාස් හා අෆ්නාස් නැමැත්තන් බව අනාවරණය කොටගෙන ඒ බව මෙරට ආරක්ෂක අංශ වෙත දැන්වීමෙන් අනතුරුව තහවුරු කර ගැනුණේ ඔවුන් මෙරට අධිකරණය මගහරිමින් රටින් පලාගොස් සැඟවී සිටින ප්‍රබල අපරාධකරැවන් බවටය.

රුපියල් කෝටි ගණනක් වටිනා මත්කුඩු කිලෝග්‍රෑම් 100ක් සමඟ කොටු වූ යාත්‍රාවේ සැකකරැවන්ගෙන් ලද තොරතුරු අනුව අත්අඩංගුවට ගත් එම්.එම්. නවාස් නැමැත්තා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු වැටලීම් ප්‍රධානියා වූ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයාය. එවකට ඔහු මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකි. එම ප්‍රහාරයෙන් පසුව ඉන්දියාවට පලා ගිය නවාස් හා තවත් අයෙක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට පත් වූහ. නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් පිරිසක් උපක්‍රමශීලීව පිළියන්දල ප්‍රදේශයට ගෙන්වා වෙඩි ප්‍රහාරයට ලක් කර තිබුණි. එහිදී එක් නිලධාරියකු ජීවිතක්ෂයට පත්ව නියෝමාල් රංගජීව බරපතළ තුවාල ලැබීය. ප්‍රහාරය එල්ල කළ ස්ථානයේ තිබූ වෙළෙඳසලක සිටි දැරියක් ප්‍රහාරයට මැදිව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූවාය. මෙම සිදුවීම 2017 වසරේ සිදු කළ එකකි.

නවාස් කාලයක පටන් මාකඳුරේ මධූෂ්ගේ කුඩු ජාවාරමේ සගයෙකි. ඔහු 2016 වසරේදී කුඩු තොගයක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොටු විය. මාස ගණනක් රිමාන්ඩ් භාරයේ පසුවිය. අනතුරැව ඇප මත නිදහස් වූ දා පටන් නවාස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඔත්තුකරැවෙක් වශයෙන් කල් ගෙවීය. මේ අතරතුර මාකඳුරේ මධූෂ්, නවාස් සිය අදහසට එකඟ කරගෙන තිබුණේ දෙදෙනා අතර වූ පැරණි විරසක අමතක කරන බව කියමිනි.

මීගමුව පාතාලයේ කෙරැම්කරැවකුව සිටි මොහොමඩ් ෆේරෝස්, නවාස්ගේ ඥාති සහෝදරයෙකි. රුපියල් කෝටියකට අධික වටිනා කුඩු තොගයක් සමඟ නාකොටික් අත්අඩංගුවට පත්වූ නවාස් නිලධාරීන්ගේ හොඳ හිත දිනාගෙන සිටියේය. ඒ ඔහු විශ්වාසවන්ත ඔත්තු කිහිපයක් ලබා දී සිය වගකීම ඉටු කිරීමෙනි. එම හිතවත්කම දන්නා මධූෂ් නවාස් මාර්ගයෙන් රංගජීව ඝාතනය කිරීමට සැලසුම් කළේය. ඒ හෙරොයින් සම්බන්ධ ව්‍යාජ ඔත්තුවක් රංගජීවට ලබා දී පිටතට ගෙන්වා වෙඩි තබා ඝාතනය කිරීමය. ඒ සඳහා ගිනිඅවිය හා යතුරුපැදිය සපයා වෙඩික්කරුවන් සම්බන්ධ කර තිබුණේ මධූෂ් විසිනි. මේ සඳහා ව්‍යාජ ඔත්තුවක් සපයා අදාළ ස්ථානයට රංගජීව ගෙන්වා දී තිබුණේ නවාස්ය.

නවාස්ගේ පොරොන්දුව ටක්කෙටම ඉටු කරමින් ප්‍රහාරය එල්ල කර තිබුණේ 2017 මැයි 9 වැනිදාය. එහිදී මධූෂ්ගේ අරමුණ වී තිබුණේ ඔහුගේ හිතවත් ලාලිත හා කළු තුෂාර ඝාතනය කිරීමට එරෙහිව රංගජීවගෙන් පළිගැනීමය. ඊට ප්‍රති උපකාරයක් වශයෙන් නවාස් හා අෆ්නාස් මුහුදු මගින් ඉන්දියාවටත් අනතුරුවට ඩුබායි වෙතත් යවන බවට  මධූෂ් පොරොන්දු වී සිටියේය. ඒ අනුව පසුදිනම ඉන්දියාවට පලා ගිය නවාස් හා අෆ්නාස් මධූෂ් සමඟ ජාවාරමේ නිරත වූහ. පසු කලෙක මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට පත්වන තුරු හෙරොයින් ජාවාරම සිය අණසකට ගෙන ජාත්‍යන්තර වශයෙන් ජාවාරම මෙහෙයවමින් සිටියේය. පසුව සිදු කළ මෙහෙයුමක් අතරදී ඔහු වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

සමන්ත ප්‍රදීප් විල්තෙර