මහරගම පමුණුව රෙදි වෙළෙඳාමට නම් දැරූ නගරයකි. අලුයම දෙකේ සිට හය දක්වා පමුණුව ප්‍රදේශයේ රෙදි වෙළෙඳාමේ නිරත වුණු වෙළෙන්දෝ කිසිදු ගැටලුවකින් තොරව රෙදි වෙළෙඳාමේ නිරත වූහ. අලුතින් රෙදි ව්‍යාපාරයට එකතු වන ස්වයං නිර්මාණකරුවන් බොහොමයක් තම රෙදි අලෙවි කිරීමට තෝරාගත්තේ මහරගම පමුණුවේ අලුයම කාලයයි. මෙම රෙදි මිලදී ගැනීමට තොග වෙළෙඳුන් මෙන්ම පාරිභෝගිකයන් බොහෝ පිරිසක් දිනපතා අලුයම් කාලයේදී මහරගම නගරයට පැමිණියහ.
“අපි මෙතන අවුරුදු තිහක හතළිහක කාලයක සිට අපේ ව්‍යාපාර කරගෙන ගියා. කිසි ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. ඕනෑම කෙනකුට කවුරුන් හෝ බඩු දාන්නේ නැති තැනක ඉටිකොළ කෑල්ලක් එළාගෙන හෝ රෙදි අලෙවි කළාට කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. පහුගිය කාලයේදී මහරගම බස් නැවතුම (තරුණසේවා සභාව ඉදිරිපිට) සම්පූර්ණයෙන්ම නාවින්න අලුතින් ඉදිවුණු බස් නැවතුමට අරගෙන ගියා. ඒ නිසා ඉඩ ලැබුණු ප්‍රමාණයෙත් අලුතින් සමහරු වෙළෙඳාම් කළා. එයිනුත් ගැටලුවක් මතු වුණේ නැහැ. නමුත් එක්තරා මන්ත්‍රීවරයෙක් ඉතා විශාල මුදලකට මේ නගර සභාවට අයත් කොටස කුලියට දෙන්න පටන් ගත්තා. පාරේ ඉරි ඇඳලා ඒ කොටස් වෙන් කළා.” යැයි අලුයම අලුත් පාර සංගමයේ සභාපති කුසුම්සිරි දසනායක මහතා දේශයට පැවසීය.
අදාළ මන්ත්‍රීවරයා ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට උදව් කළ හිතවතුන්ට මෙම කොටස් කුලියට දීමට සූදානම් වූ බවද කියති. මොවුන්ගෙන් බොහොමයක් දෙනා රෙදිපිළි වෙළෙඳාමේ නිරතවන්නෝ නොවෙති. ඔවුහු එය තවත් වැඩි මුදලකට රෙදිපිළි වෙළෙඳාමේ නිරතවන්නන්ට කුලියට දීමට තීරණය කළහ. මේ නිසාම දිනපතා අලුයම කාලයේදී ඒ අදාළ ස්ථානයේ වෙළෙඳාම් කරමින් සිටි වෙළෙඳුන් අතර නොසන්සුන්තාවක් ඇතිවිය. ඔවුන් අතර මේ පිළිබඳව යම් විරෝධතාවයක් මතු විය.
මේ අතර තවත් මන්ත්‍රීවරයෙක් මෙම මන්ත්‍රීවරයාට එකතු විය. සංගමයේ නිලධාරීන් පවසන්නේ එම අදාළ මන්ත්‍රීවරයාට කලක් පමුණුවේ කඩකාමරයක් තිබූ බවය. එයට ඇඳුම් දැමූ වෙළෙඳුන් කිහිප දෙනකුට අදාළ මන්ත්‍රීවරයා මුදල් දීමට නියමිතව තිබුණි. වෙළෙඳාමෙන් පාඩු සිදුවුණු ඔහු ණයකරුවෙක් විය. එයට හිලව් වීමට මෙම ඉඩ කොටස ලබාදීමට අදාළ මන්ත්‍රීවරයා ද උත්සාහ කර ඇතැයි කියති.
“මේ මන්ත්‍රීවරු දෙදෙනා එකතුවෙලා කල්ලියක් හදලා දෙසිය පනහක විතර කණ්ඩායමක් එකපාර මෙතනට ආවා. ඒ අය නම් ලැයිස්තු, ෆයිල් පවා හදලා තිබුණා. මේක නගර සභා ඉඩමක්. අවුරුදු තිහක හතළිහක තිස්සේ දුක් විඳලා, වැස්සට තෙමෙමින්, ඉටිකොළ එළාගෙන වෙළෙඳාම් කරපු වෙළෙඳුන්ව මේ අය එළියට ඇදලා දාන්න හැදුවා. අලුතින් ආපු අයට දේශපාලන රැකවරණයක් තිබුණට අපිට වැස්සට තෙමෙද්දි වහළ කෑල්ලක්වත් තිබුණේ නැහැ. ඒ නිසයි අපි මේකට විරුද්ධ වුණේ. මේක හරි අසාධාරණ තත්ත්වයක්. අපි නගරයට කරදරයක් කියල ඔවුන් කියනවා. පොලීසිය කියනවා. නමුත් රටේම ඉන්න තොග වෙළෙඳුන් රෙදිපිළි අරගෙන යන්න එන්නේ මහරගම පමුණුවටයි. මේකෙ මිල වුණත් හරිම සාධාරණයි.” දසනායක මහතා වැඩිදුරටත් පැවසීය.
අලුයම අලුත් පාර සංගමයේ නිලධාරීන් සරත් වීරසේකර ඇමැතිවරයා ද මුණගැසී මේ පිළිබඳව සාකච්ඡා කොට තිබුණි. නගර සභාවේ මන්ත්‍රීවරුන් මේ සඳහා අවසරය ලබා නොදෙන්නේ නම් බස් නැවතුම අසල ඇති අනිත් කොටසේ වෙළෙඳාම් කිරීමටද වෙළෙඳුන්ට අවසර නොදෙන ලෙස නගරාධිපතිවරයා බලපෑම් කර තිබේ.
“එක දවසක් රෑ බැකෝ එකකින් ඒ තාවකාලික ඉදිකිරීම් සියල්ලම කඩා ඉවත් කරන්න හැදුවා. වෙළෙඳුන් හැමෝම ඒකට විරෝධය පෑවා. එකපාරම කොහේවත් හිටපු නැති දෙසිය පනහක් වගේ පිරිසක් මේකට සම්බන්ධ වීම නිසා තමයි මේ වගේ තත්ත්වයක් මෙතනට ආවේ. හැමදාම මෙතන බිස්නස් කරපු වෙළෙඳුන්ව ඔවුන් පාරට ඇද දැම්මා. දැන් ඒ අයත් වෙළෙඳාම් කරනවා. අපේ අයත් කරනවා. නමුත් සාධාරණයක් වෙනුවෙන් තවමත් කවුරුවත් පියවරක් අරගෙන නැහැ. අවුරුදු ගණනාවක් තිස්සේ වෙළෙඳාම් කරපු අයට කිසිම සහනයක් ලැබුණේ නැහැ. කිසිම දැනුම් දීමකින් තොරව එක රැයකින් මුළු කඩ පේළියම ඒ අය ඩෝසර් කළා.”
දිශානි ජයමාලි කරුණාරත්න