2021 ජනවාරි 30 වන සෙනසුරාදා

අශෝබන හැසිරීමට කසපහර සහ දඩයක්

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

කිසියම් පොදු ස්ථානයක හෝ ආසන්නයකදී බලවත් අශෝභන ක‍්‍රියාවක් කරන හෝ බලවත් අහෝභන ලෙස හැසිරෙමින් සිටියදී හමුවන යම්කිසි තැනැත්තෙකු යම්කිසි පොදු කොටුවක (ස්ථානයක), එකී කොටුව (ස්ථානය) පාලනය කිරීම සඳහා නියම කරමින් යම්කිසි පළාත් පාලන ආයතනයක් විසින් පළකරන ලද රීති හෝ රෙගුලාසිවලට පටහැනිව හෝ යම්කිසි රජයට අයත් පොදු ස්ථානයක එම ස්ථානය භාරව සිටින අයගේ අවසරයක් නොමැතිව හෝ යම්කිසි වාසස්ථානයකට සම්බන්ධ එකී නිවැසියාගේ අවසරයක් නොමැතිව හමුවන තැනැත්තෙකු ඔහුට නඩු පවරන අධිකරණයේදී, එම ස්ථානයේ සිටියේ නීතිවිරෝධී ක‍්‍රියාවකට නොවන බවට සෑහීමකට පත් නොකරන්නේ නම්, එසේ සිටියේ අශෝභන ක‍්‍රියාවක් කිරීමට බව අනුමාන කිරීම යුක්ති සහගත වන අතර, ඔහු වරදකරුවකු කිරීමේදී මාස 06කට නොඅඩු කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් 100/=කට නොඅඩු දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් විය යුතුය.

ඉහත සඳහන් වරදකට වරදකරු වූ තැනැත්තා පුරුෂයෙක් නම්, එම දඬුවමට අමතරව කස පහරින්ද දඬුවම් කළ යුතුය (මෙම කස පහරින් දඬුවම් දීම 2005 අංක 23 දරන පනතින් අහෝසි කර ඇත).

මෙම පනතේ ඉහත සඳහන් කරන ලද විධිවිධාන හෝ වෙනත් විධිවිධාන යටතේ වරදකරුවකු වූයේ කාන්තාවක නම් අධිකරණයේ අභිමතය පරිදි මුල් අවස්ථාවේදී, බන්ධනාගාරගත කිරීමකට හා නියම කරන ලද දඩය නොගෙවීම නිසා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙක වෙනුවට එම දඬුවම් කාලය අවසන් වනතුරු ඇයව රජයේ රැඳවුම් නිවස්නයක රඳවා ගැනීම සඳහා නියම කළ හැකිය.

යම්කිසි තැනැත්තෙකු දැන දැනම ගණිකා වෘත්තියේ යෙදීමෙන් සම්පූර්ණයෙන් හෝ අඩ වශයෙන් ලැබෙන ඉපැයීම්වලින් ජීවත් වන, නීති විරෝධී හෝ අස්වාභාවික ලිංගික සංසර්ගයන් සඳහා යම්කිසි තැනැත්තන් ක‍්‍රමානුකූලව ලබාගැනීමේදී, මෙම ආඥා පනතේ සැබෑ අර්ථය තුළ හික්මවිය නොහැකි පාදඩයෙක් ලෙස සැලකිය යුතු අතර, ලඝු නඩු විභාගයකින් පසුව වරදකරුවකු වීමේදී, මාස 06කට නොඅඩු කාලයක් සඳහා බන්ධනාගාර ගතකිරීමට හෝ රුපියල් 100/=කට නොඅඩු දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් විය යුතුය.

මෙම වරද සඳහා මහාධිකරණයේදී අධිචෝදනාවකදී වැරදිකරුවකු වීමේදී අවුරුදු 02කට නොඅඩු දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කිරීමකට සහ පුරුෂයෙක් වනවිට අධිකරණයේ අභිමතය පරිදි කස පහරින්ද දඬුවම් කළ යුතුය (මෙම කස පහරින් දඬුවම් දීම 2005 අංක 23 දරන පනතින් අහෝසි කර ඇත).

ගණිකාවක් සමග ජීවත්වන හෝ පුරුද්දක් ලෙස ගණිකාවන් සමග සමාගමක් පවත්වන බවට ඔප්පුවන සෑම තැනැත්තෙක්ම ස්ත‍්‍රී හෝ පුරුෂ වේවා එම තැනැත්තා හෝ වෙනත් තැනැත්තෙකු වේවා ගණිකා වෘත්තිය සඳහා ආධාර අනුබල දෙන හා ක‍්‍රියාවෙන් මග පෙන්වීමෙන් හෝ බලපෑම් කරමින් අධිකරණයේදී ඊට පටහැනි ලෙස සාක්‍ෂි මගින් ඔප්පු නොකරන්නේ නම්, දැන දැනම ගණිකා වෘත්තියෙන් ජීවත්වන බව සැලකිය යුතුය.

කැරලිකාර ලෙස හෝ අශෝභන ලෙස හැසිරෙන යම් කිසි තැනැත්තෙකුට ලිංගික සංසර්ගය සඳහා ඇවිටිලි කරන දැන දැනම ගණිකා වෘත්තියෙන් ඉපැයෙන මුදලින් ජීවත්වන අවුරුදු 12ත් 21ත් අතර යම්කිසි පුරුෂයෙකු මහේස්ත‍්‍රාත්වරයෙකු විසින් වරදකරු කළ විට සහ අපරාධකරුවන් හෝ දුරාචාර දුශ්ශීල තැනැත්තන් ඇසුරු කරන වීදිවල, මහා මාර්ගවල, ඇවිදිමින් දුරාචාරය පිණිස තැනැත්තන්ට කථා කරන ස්ථිර රැකියාවක් නොමැති, එහෙත් ඔහුව අවශ්‍ය කරන පුද්ගලයින්ට තාවකාලිකව තම සේවය සපයන තැනැත්තෙකු ඔහුගේ පෙර හැසිරීම හා ඔහුගේ අස්වාභාවික පුරුදුවලට ඇබ්බැහි වූ තැනැත්තෙකු ලෙස මහේස්ත‍්‍රාත්වරයා සෑහීමකට පත්වන්නේ නම්, මාස 12ක් නොඉක්මවන කාලයකට බැඳුම්කරයක් සහිතව හෝ රහිතව යහපත් ආකාරයන් හැසිරෙන බවට පොරොන්දුවක් ලබා ගැනීමෙන් පසුව සහ එම පොරොන්දුව කඩ කිරීමේදී මහේස්ත‍්‍රාත්වරයා තීරණය කරන පරිදි මාස 06කට නොඅඩු කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමටත්, බන්ධනාගාර නීතිය අනුව නියම කරන පරිදි ඵලදායී සේවයක යෙදවීම සඳහාත් හෝ නඩුවේ සියලු අවස්ථානුගත කරුණු විමර්ශනය කිරීමෙන් පසුව යහපත් හැසිරීමක් සඳහා බැඳුම්කරයක් තැබීම වෙනුවට ඔහු අවුරුදු 16ට වඩා අඩු නම්, ඔහුට වඩාත් සුදුසු අර්ථලාභී ලෙස හැසිරීමට යෞවනයින් සහ ළමයින් ආඥා පනත යටතේ අනුමත කරන ලද බාල අපරාධකරුවන් පුහුණු කරන ආයතනයකට අවුරුදු 03කට නොඅඩු කාලයක් සඳහා යොමුකළ හැකිය.

යම්කිසි තැනැත්තෙකු භාරයේ රුකරණයේ හෝ වගකීම් යටතේ සිටින ගැහැනු ළමයෙකු නීතිවිරෝධී කාමුක දැනුමක් ලබාදීමට දූෂණයට හෝ ගණිකා වෘත්තියට ලක්කිරීමට අනුබල දෙන සෑම තැනැත්තෙක්ම මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු විභාගයෙන් පසු වැරදිකරුවකු වූ විට රුපියල් 100/=කට නොඅඩු දඩයකට හෝ බරපතළ වැඩසහිතව හෝ රහිතව මාස 06කට නොඅඩු බන්ධනාගාරගත කිරීමකට යටත් විය යුතුය.

එමෙන්ම, එවැනි ගැහැනු ළමයෙකු නීතිවිරෝධී ලිංගික සංසර්ගයකට හෝ ගණිකා වෘත්තියට යොමු කිරීම හෝ දුරාචාර චරිතයන් ඇති තැනැත්තන්ගේ ඇසුරට පත් කිරීමට හෝ රුකියාවක යෙදීමට දැන දැන ඉඩදෙන්නේ නම් වැරදිකරුවෙකු ලෙස සැලකිය යුතුය

කෙසේ වෙතත්, එම ගැහැනු ළමයාගේ දෙමාපියන් හෝ භාරකරුවෙකු එම ගැහැනු ළමයාව යම්කිසි පුරුෂයෙකු සමග බිරිඳ වශයෙන් ජීවත් වීමට අවසර දී ඇත්නම් වරදකට වරදකරු නොවිය යුතුය.

පරිවාස නිලධාරියෙකුගේ දැනීම මත පොලිස් නිලධාරියෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව දෙමාපියන්ගේ හෝ භාරකරුගේ දැනුම මත දූෂණයට හෝ ගණිකා වෘත්තියට අවධානමට ලක්කිරීමට ආවරණය කරන්නේ නම් හෝ ගණිකාවක් වශයෙන් ජීවත්වීමට ඉඩ හරින්නේ නම්, එම ගැහැනු ළමයාගේ ප‍්‍රමාණවත් ආරක්‍ෂාව සහ නිසි සැලකිල්ල සම්බන්ධයෙන් ඇපකරුවන් සහිතව හෝ රහිතව බැඳුම්කරයකට බැඳීමට අණ කළ යුතු අතර, එසේ බැඳුම්කරයට යටත් නොවන්නේ නම්, බරපතළ වැඩරහිතව බන්ධනාගාරගත කිරීමකට යටත් වේ.

දෙමාපියන්ගේ හෝ භාරකරුගේ යටතේ සිටින ගැහැනු ළමයෙකු ගණිකා වෘත්තිය සඳහා යොමුකර ඇති බවට හෝ නීති විරෝධී ලිංගික ඇසුරකට පත්කර ඇති බව හෝ විශ්වාස කිරීමට හේතු ඇති බවට පරිවාස නිලධාරියෙකු කරන ලද පැමිණිල්ලක් මත සාම නිලධරයෙකුට එම ගැහැනු ළමයා ආරක්‍ෂිත ස්ථානයකට ඉවත් කිරීමට හැකිය.

එසේ ඉවත් කරන ලද ගැහැනු ළමයෙකු එම ස්ථානයේ දින 07කට නොඅඩු කාලයක් රඳවා ගත හැකි අතර, භාරකරුට හෝ දෙමාපියන්ට නඩු නොපවරන්නේ නම්, එම ගැහැනු ළමයා මුදාහැරිය යුතුය.

නොඑසේ නම්, එම දවස් 07 ඉක්මවීමට පෙර අධිකරණයට ඉදිරිපත් කොට මහේස්ත‍්‍රාත්වරයා විසින් ගැහැනු ළමයාගේ සුභසිද්ධිය, රැකවරණය සඳහා එම ස්ථානයේ රඳවා ගැනීමට නියෝග කළ හැකිය.

එම කාලය තුළ දෙමාපියන්ට හෝ භාරකරුට නඩු පැවරිය හැකිය. භාරකරු හෝ දෙමාපියන් වරදකරුවන් වූ අවස්ථාවක එම ගැහැනු ළමයාගේ සුබසිද්ධිය හා රුකවරණය සඳහා එම භාරකාරත්වයෙන් ඉවත්කර එම ගැහැනු ළමයාගේ ආරක්‍ෂාව සඳහා අවුරුදු 16 වන තෙක් මහේස්ත‍්‍රාත්වරයා විසින් නම් කරන ලද ඥාතියෙකුට හෝ සමාජයේ වැදගත් යැයි සැලකෙන සුදුසු තැනැත්තෙකුට භාර දිය යුතුය.

එසේ ගැහැනු ළමයා භාරදීම සඳහා නියෝග දීමට පෙර එම ඥාතියාගේ හෝ වෙනත් තැනැත්තෙකුගේ හෝ සමාජයේ වෙනත් තැනැත්තෙකුගේ කැමැත්ත හා හැකියාව පිළිබඳව මහේස්ත‍්‍රාත්වරයා සෑහීමකට පත් විය යුතුය.

එවැනි නියෝගයක් දුන් මහේස්ත‍්‍රාත්වරයා හෝ එම අවස්ථාවේදී ගැහැනු ළමයා ජීවත්වන ප‍්‍රදේශයේ අධිකරණ බලය ඇති මහේස්ත‍්‍රාත්වරයා එම නියෝගය දීර්ඝ කිරීමට, වෙනස් කිරීමට හෝ අහෝසි කිරීමට ඔහුටම හෝ වෙනත් තැනැත්තෙකුගේ ඉල්ලීම මතුකළ හැකිය.

එම ගැහැණු ළමයාගේ දෙමාපියන් හෝ නිත්‍යානුකූල භාරකාරයන් එම ගැහැනු ළමයාගේ භාරකාරත්වය දීමේදී, ඔවුන් වරදකට වරදකරුවන් නොවූවන් විය යුතු අතර, කිසිම වරදකට පාර්ශවයක් හෝ සහභාගීත්වයක්ද නොතිබිය යුතුය.

අමාත්‍යවරයා විසින් එසේ භාර දෙනු ලැබූ තැනැත්තන්ගේ භාරයෙන් එම ගැහැනු ළමයා කොන්දේසි මත මුදාහැරිය හැකිය. එමෙන්ම, මේ සම්බන්ධව අමාත්‍යවරයා රෙගුලාසි සම්පාදනයද නිත්‍යානුකූලය.

මෙම පනතේ මුඛ්‍ය අරමුණ වන්නේ මහජනයා ගැවසෙන පොදු ස්ථාන, පාරවල්, මහාමාර්ග ආදී ස්ථානවල ඇවිදගෙන යමින් සිඟමන් යදින, අශෝභන ලෙස හැසිරෙන යාචකයන් සහ දුරාචාරය පිණිස මිනිසුන්ට ඇවිටිලි කරන ගැහැනු පිරිමි දෙපාර්ශවටම දඬුවම් පැමිණවීම මෙන්ම, තරුණ තැනැත්තන් රජයේ අනුමත නිවර්තන නිවාසවල රඳවා ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම සහ රැකියා කිරීමට පුහුණුවන් ලබාදීම වේ.

මෙම සිඟමන් යැදීමේ වෘත්තිය මේ වනවිට මහා පරිමාණයේ ව්‍යාපාරයක් ලෙස සමහර ව්‍යාපාරිකයින් පවත්වාගෙන යන අතර, ඔවුන්ගේ දෛනික ආදායම සිතා ගැනීමටද නොහැකි අති විශාල මුදලකි. එමෙන්ම, වීදිවල සැරිසරන ගණිකාවන්ට දඬුවම් දීමට ඇති එකම පනත මෙය වන අතර, ගණිකාවාස පනත යටතේ දඬුවම් දීමට හැකි වන්නේ එම ගණිකා නිවාසය හෝ ස්ථානය පාලනය කරන හෝ පාලනයේදී සහාය වන තැනැත්තන්ට පමණි.

මෙම ගණිකාවාස පනතේ දඩය 2005 අංක 12 දරන පනතින් වැඩි කරනු ලදුව, මුල් අවස්ථාවේදී රුපියල් 50,000/=කට නොඅඩු සහ රුපියල් 250,000/=කට නොවැඩි දඩයකටද, දෙවැනි සහ තදන්තර වරදකදී රුපියල් 75,000/= සිට රුපියල් 350,000/= දක්වා දඩයකටද යටත් වේ.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03